Anonymous Reporter

ITN අවසන් ගමනේ-පේ‍්‍රක්ෂක දර්ශකය 8% ට වැටේ

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයම දිනෙන් දින අගාධයට යන බව සේවකයෝ පවසති. යහපාලනයෙන් මෙවන් තත්ත්වයක් අපේක්ෂා නොකල බව පවසන සේවකයෝ පෙන්වා දෙන්නේ අඛණ්ඩව වසර 05ක් සෑම දෙනාගේ උපරිම කැපවීම මත ලංකාවේ අංක 1 නාලිකාව ලෙස වැජඹුණු ITN අද අංක 4 ට වැටී ඇති බවයි. මෙය ආයතනයේ කීර්තිනාමයට පමණක් නොව වාර්ෂික ආදායමටද සෘජුවම බලපා ඇති බව සේවකයෝ පවසති. මේ තත්ත්වය විෂයභාර අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයාටද පෙන්වා දී ඇතත් මේ වන තෙක් කිසිඳු යහපත් ප‍්‍රතිචාරයක් ඊට දක්වා නැත.

පසුගියදා ආයතනයට විෂයභාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැමිණියත් එම උත්සවයට සහභාගී වූයේ ආයතන සේවකයින් 80-100 ක් පමණ ඉතා සුළු පිරිසකි. එක් සේවා මුරයකදී ආයතනයේ සේවකයින් 400 ක් පමණ සේවය කරයි. එදින උත්සවයට සහභාගීවන ලෙස ප‍්‍රධාන ඇමතුම් පද්ධතියෙන් නිවේදන 5 ක් නිකුත් කළද ඒ සඳහා සේවකයන් ප‍්‍රතිචාර දක්වා නැත. ආයතනයේ පවතින තත්ත්වයට කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් අමාත්‍යවරයාද ආයතන සේවකයින්ගේ අප‍්‍රසාදයට ලක්වී ඇතැයි සේවකයින් පෙන්වා දෙයි. ITN ඉතිහාසයේ විෂයභාර අමාත්‍යවරයෙකු පැමිණි උත්සවයකට සහභාගී වූ අඩුම සේවක සංඛ්‍යාව මෙය බවද ඔවුන් පවසයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මහාචාර්ය ධම්මික ගංගානාත් ITN  සභාපතිත්වයට පත්වූ අතර ඔහු ජපන් තානාපති වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි ප‍්‍රනාන්දු ෂඔභ වැඩබලන සභාපති ලෙස පත්කරන ලදි. රටේ ප‍්‍රබල රාජ්‍ය ආයතන දෙකක් පරිපාලනය කිරීම එතරම්ම පහසු කාර්යයක් නොවේ. මීට පිළියමක් ලෙස සිදුවූයේ ස්වාධීන රූපවාහිනියට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට උපදේශකවරුන් දෙනෙකු සහ විධායක සම්බන්ධීකාරකවරයෙකු පත්කිරීමයි. පත්කළ එක් උපදේශකයෙකු සඳහා රු. ලක්ෂ දෙකක දීමනා සහ පහසුකම් සපයන බව වාර්තා වෙයි. විධායක සම්බන්ධීකාරකවරයාට හිමි දීමනාව රු. ලක්ෂයකි.

මෙම උපදේශකයන් පත්කර ඇත්තේ වැඩසටහන්, අළෙවි, ඉංජිනේරු සහ ලක්හඩ ගුවන්විදුලියටයි. සේවකයින් පවසන අන්දමට ඉතා හොඳ මට්ටමේ පවත්වාගෙන ගිය සියළු අංශ උපදේශකයින්ගේ මෙහෙයවීමත් සමඟ දිනෙන් දින පරිහානියට ලක්වන බවයි. ඒ හේතුවෙන් ආයතනයේ එම අංශ භාර නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරුන්ටත් සිට රාජකාරී කටයුතු කරගෙන යෑමේ අපහසුතාවක් උදාවී ඇත.

2015 වසරේ මුල භාගයේදී අංක 01 නාලිකාව ලෙසට ITN ඔසවා තැබීමට වැඩසටහන් අංශය කටයුතු කළත් 2015 ඔක්තෝම්බර් සිට ක‍්‍රියාත්මක වූ නව වැඩසටහන් උපදේශක අසංක මහගෙදර ගමගේ ක‍්‍රියාත්මක කළ නව සැළැස්හේතුවෙන් පසුගිය දෙසැම්බර් වන විට නාලිකාව අංක 02 ට කඩා වැටිණ. ජනාවාරි වන විට සමස්ථ නාලිකා අතරින් 15% ක්ව පැවති ITN පේ‍්‍රක්ෂක දර්ශකයද දෙසැම්බර් වන විට 12% ට පහත වැටිණ. වර්තමානය වන විට ITN පේ‍්‍රක්ෂක දර්ශකය 8% ට පහත වැටී නාලිකාවද අංක 04 ස්ථානයට ඇද වැටී ඇත.

මෙ තත්ත්වය ආයතයේ ආදායමට අද වන විට සෘජුවම බලපා ඇත. 2016 මුල් කාර්තුවේ ITN ආදායම රු. මිලියන 520 කි. මෙය 2015 දී රු. මිලියන 620 ක් මෙන්ම 2014 දී රු. මිලියන 590 කි. පෙරට සාපේක්ෂව දළ වශයෙන් රු. මිලියන 85 ක ආදායම් හිඟයක් මේ වන විට පවතී. අළෙවි උපදේශක නලින් ආටිගල මහතා අවුරුදු නිවාඩුවට පෙර ආයතන සේවකයන්ට ප‍්‍රකාශ කර සිටියේ ඉතිහාසයේ වැඩිම ආදායම මෙවර අළුත් අවුරුදු සමයේදී ITN උපයා ඇති බවයි. ඊට අනුව උපයාගත යුතු මුදල රු. මිලියන 90 ක් වුවත් අවරුදු වෙළෙඳ දැන්වීම් සහ අවුරුදු උත්සවයේ ආදායම ලෙස ආයතනයට හිමි වී ඇත්තේ රු. මිලියන 42 ක් පමණි.

කෙසේ වෙතත් අවුරුදු නිවාඩුවෙන් පසු වැඩසටහන් සහ අළෙවි උපදේශකවරුන් දෙදෙනා අද වන විටත් සේවයට වාර්තා කර නැතැයි සේවකයින් පවසයි. එහෙත් ආයතනය සපයන පහසුකම් පාලනාධිකාරිය විසින් අඛණ්ඩව ඔවුන් වෙත අදටත් ලබාදෙයි.

උපදේශකයෙකු පත්වීමෙන් හෝ පසු ආයතනයේ ඉංජිනේරු අංශයට කිසිඳු සෙතක් නැතැයි සේවකයින් පවසයි. නාවික හමුදාවේ විශ‍්‍රාමික අද්මිරාල්වරයෙකු වන අරුණ ගුණවර්ධන උපදේශක ඉංජිනේරු වශයෙන් සේවය කරන අතර ඔහුට සන්නිවේදන ඉංජිනේරු තාක්ෂණය හෝ විකාශන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ කිසිඳු අවබෝධයක් නැතැයි එම අංශයේ ඉංජිනේරුවන් පෙන්වා දෙයි. 2011 වසරේ සිට සාධන ITN ජංගම විකාශනාගාරය අදටත් සම්පූර්ණ කර ගැනීමට හැකිවී නැත. නව උපදේශකගේ පැමිණිමත් සමඟ එහි වියදම තවත් මිලියන 05 කින් ඉහළ ගොස් ඇතැයි එහි සේවකයෝ පවසති. තවද, 2011 සහ 2012 වසරවලදී ඉදි කිරීමට ආරම්භ කළ නව පටිගත කිරීමේ සංකීර්ණය සහ පරිපාලන ගොඩනැගිල්ල අදටත් ඉදිවෙමින් පවතින දිනෙන් දින ඉදිකිරීම් සැළසුම් වෙනස්වන ඉදිකර අවසන් වන දිනයක් කවරෙකු හෝ නොදන්නා ගොඩනැගිලි දෙකක් බවට පත්වී ඇත.

සේවකයින් 100 කට වැඩි ප‍්‍රමාණයක් සහිතව ක‍්‍රියාත්මක ලක්හඩ ගුවන්විදුලිය ස්වාධීන රූපවාහිනියට වැඩිම මූල්‍ය හානියක් කරන ආයතනය බවට පත් වී ඇත. 2010 වන තෙක් අංක 05 ගුවන්විදුලි නාලිකාව ලෙස ලාභ උපයන තත්ත්වයේ පැවතියත් ඉන්පසු ක‍්‍රමයෙන් නාලිකා ස්ථානය සහ ආදායමද පහත වැටී ඇත. පසුගිය වසරේ අංක 10 පැවති නාලිකාව මේ වන විට අංක 14 ට ඇද වැටී ඇත. පසුගිය වසර 05 තුළ ලක්හ`ඩ ලබා ඇති පාඩුව රු. මිලියන 200 ඉක්මවයි. අදටත් එම තත්ත්වය වැළැක්වීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව සේවකයින් පෙන්වා දෙයි. ලක්හ`ඩ ගුවන්විදුලිය සඳහාද නව උපදේශකවරයෙකු පත්කර ඇත. ඔහු පුවත්පත් මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාවා යි.

මේ තත්ත්වයට කඩිනම් විසඳුමක් හිමි නොවුණහොත් මේ වර්ෂ අවසානයේ සේවකයන්ට හිමි වාර්ෂික දීමනාවද අහිමිවීමේ තත්ත්වයක් පවතී. 2014 වර්ෂයේ එක් සේවකයෙකුට හිමි වූ වාර්ෂික දීමනාව රු. 75000.00 කි. එය 2015 දී රු. 45000.00 ට සීමා විය.

රජයේ වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස කටයුතු කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අත්ව ඇති මෙම ඉරණම ඉතා කණගාටුදායක වන අතර වඩා යහපත් මාධ්‍ය සංස්කෘතියක් උදෙසා ගමන්කිරීම වෙනුවෙන්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පත්ව ඇති මෙම තත්වයෙන් මුදවා ගැනීමට වගකිව යුතු බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව සේවකයෝ පෙන්වා දෙති.

ITN ගැන කලින් කල අනාවරණය කියවන්න-ITN මාධ්‍ය ජාලයට කෙළවෙන දවස වැඩි ඈතකනම් නොවේ

Top