Breaking
6 Feb 2025, Thu

JVP අනුර දිසානායකගේ නායකත්වයෙන් යළි නොඑනා ගමනක් ගොස් ඇත

තමා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව සෝමවංශ අමරසිංහ කියා ඇත. එහෙත් ජ වි පෙ ඒ ඉල්ලා අස්වීම භාරගෙන ඇති බවක් නො පෙනෙයි. විජිත හේරත්ට අනුව ජ වි පෙ පක්‍ෂයෙන් ඉල්ලා අස්නොවන ලෙසට සෝමවංශගෙන් ඉල්ලා ඇත. සෝමවංශ ඒ ඉල්ලීම පිළිගෙන ඇති බවක් ද වාර්තා නො වෙයි. සෝමවංශ කියා ඇත්තේ තමා ජ වි පෙරමුණෙන් අස් වූ අය ද වෙනත් අය ද එක්කරගෙන අලුත් පක්‍ෂයක් සංවිධානය කරන බව ය.

සෝමවංශ ඉල්ලා අස්වීමෙන් ජ වි පෙරමුණටවත් සෝමවංශටවත් වෙනසක් සිදු නො වෙයි. දේශපාලන වශයෙන් පක්‍ෂය ද පුද්ගලයා ද මියගොස් තරමක කලක් ගත වෙයි. සෝමවංශගේ ඉල්ලා අස්වීම අවසානයේ දී පිළිගනු ලැබී ක්‍රියාත්මක වුවත් නැතත් එය රටේ දේශපාලනයට අබමල් රේණුවක තරමින් බල නො පායි. එසේ නම් අප ඒ ගැන ලියන්නේ ඇයි? 

ඒ වෙන කිසිවකට නොව ජ වි පෙරමුණේ බංකොළොත්බව තවදුරත් කියා පෑමට ය.  ජ වි පෙරමුණට වයස අවුරුදු පනහකට වැඩි ය. සෝමවංශ එහි ආරම්භක සාමාජිකයකු යැයි කියැවෙයි. ඒ කුමක් වුවත් ජ වි පෙරමුණට අවුරුදු පනහක් දේශපාලන වශයෙන් පැවතීමට නොහැකි විය. අද එය ඇවිදින මළ මිනියක් පමණකි. එහි අවතාරය පවත්වාගෙන යනු ලබන්නේ ජනමාධ්‍ය විසිනි. එවැනි පක්‍ෂ බොහොමයක් මෙරට ඇත. නව සමසමාජ පක්‍ෂය, සිරිතුංගගේ දේශපාලන පක්‍ෂය ආදිය පමණක් නොව අද වන විට ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය, පෙරටුගාමී පක්‍ෂය ආදී පක්‍ෂ ද ජනමාධ්‍යට පින් සිදුවන්නට පැවැත්වෙයි.

සෝමවංශ ඉල්ලා අස්වෙමින් කියා ඇත්තේ රට සමාජවාදය කරා ගෙන යෑමට ජ වි පෙරමුණට තිබූ අවස්ථා මගහැරී ගොස් ඇති බව ය. ජ වි පෙරමුණ ඊනියා කේඩර් පක්‍ෂයකින් ජනතාව මත පදනම් වූ පක්‍ෂයක් බවට පත්විය යුතුව තිබී යැයි සෝමවංශ කියයි. එහෙත් ජ වි පෙරමුණට එවැන්නක් කිරීමට නොහැකි බව සෝමවංශට නො තේරෙයි. ජ වි පෙරමුණ ආරම්භයේ සිට ම සකස් වී ඇත්තේ කිහිප දෙනකු එකතු වී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට  කැපවීමෙන් වැඩ කළ වහල් සාමාජිකයන්ගේ පක්‍ෂයක් ලෙස ය. ඒ අච්චුවෙන් පිට දේශපාලනයක් ජ වි පෙරමුණට නැත.  

ජ වි පෙරමුණ මූලික වශයෙන් චීන කොමියුනිස්ට් පක්‍ෂය අනුකරණය කළේ ය. විජේවීර කැඩී වෙන් වූයේ ශන්මුගදාසන්ගේ  චීන හිතවාදී කොමියුනිස්ට් පක්‍ෂයෙනි. දෙමළ ජනවර්ගයට අයත් වූ ශන්මුගදාසන්ට මෙරට බලයට පැමිණීමට නොහැකි බව විජේවීර තේරුම් ගත්තේ ය. ස්ටැලින්වාදී පක්‍ෂ ආකෘතියේ චීන කොමියුනිස්ට් පක්‍ෂය ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවලට වඩා ජාතිකවාදී විය. නැතහොත් ට්‍රොට්ස්කිවාදී පක්‍ෂ තරමට ඊනියා ජා ත්‍යන්තරවාදී නො වී ය. 

මේ ඓතිහාසික තත්ත්වයන් යටතේ  ජ වි පෙරමුණ මුල සිට ම මාක්ස්වාදය හා ජතිවාදය අතර දෝලනය විය. එහෙත් එහි වැඩි බර තිබුණේ මාක්ස්වාදය දෙසට ය. එහි සාමාජිකයන්ගෙන් අති මහත් බහුතරය රැකියා විරහිත ගැමි තරුණයන්ගෙන් සමන්විත විය. ඒ හේතුවෙන් ම විජේවීර ඊනියා කම්කරු පංතියට නිර්ධන යන තේරුමෙන් රැකියා විරහිත ගැමි තරුණයන් ද ඇතුළත් වන ආකාරයෙන් නිර්වචනයක් සැපයී ය. එය සම්මත මාක්ස්වාදීන්ගේ ගැරහුමට ලක්වුව ද ජ වි පෙරමුණට තම පක්‍ෂ සාමාජිකත්වය යුක්තියුක්ත කර ගැනීමේ අවස්ථාව ඉන් ලැබිණි.   

ජ වි පෙරමුණ  දෙවතාවක් ම ආයුධ අතට ගත්තේ කේඩර පක්‍ෂයක් ලෙස මිස ජනතා පක්‍ෂයක් ලෙස නො වේ. ඒ අවස්ථා දෙකෙහි ම සෝමවංශ පක්‍ෂයේ සාමාජිකයෙක් විය. මා දන්නා පරිදි ඔහු ඒ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වූ බවක් කිසි තැනක සඳහන් නො වේ. තම නිර්වචනවලට අනුව මාක්ස්වාදී වූ ජ වි පෙරමුණ අවස්ථාවාදීව ජාතිකත්වය දෙසට ද දෝලනය විය. ඒ අවස්ථාවාදී ජාතිකත්වය ජ වි පෙරමුණෙන් බිඳී ගිය ජාතික හෙළ උරුමයට ද උරුම වෙයි. අද වන විට ජ වි පෙරමුණ අනුර දිසානායකගේ නායකත්වයෙන් යළි නොඑනා ගමනක් ගොස් ඇත. ඒ ගමන යෑම සඳහා සෝමවංශ නායකත්වයෙන් ඉවත් කෙරිණි. අද ජ වි පෙරමුණට ඊනියා සමාජවාදයක් හෝ ජාතිකත්වයක් හෝ නැත. අද එය එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය  වෙයි. සෝමවංශගේ අස්වීමෙන් එ ජා පක්‍ෂයට වන හානිය කුමක් ද? 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 16

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.