Breaking
25 Feb 2025, Tue

අපේ ප්‍රශ්ණ සිරිසේනගේ දුවටත් කිව්වා,ජාතික සයිබර් වැඩ වර්ජනය අත ලඟ..

ශ්‍රී ලංකාවේ සජීවී ජාතික සයිබර් වැඩ වර්ජනයක් (National Online Cyber Strike) සිදු වුනෝතින් කුමකින් කුමක් සිදුවිය හැකිද? මෙහිදී සිදුවිය හැක්කේ සියළුම රජයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සේවයට වාර්ථා කලත් තම මෙහෙයුම් කටයුතු මන්දගාමීව සිදුකිරීම, අර්ධ වශයෙන් සිදුකිරීම හා අවසාන වශයෙන් සම්පූර්ණයෙන්ම සිදු නොකර සිටීමයි. මෙවැනි නවීන තාක්ෂණික වැඩ වර්ජනයකින් කුමන ප්‍රථිඵල අත්විය හැකිද? පූර්ණ හා අර්ධ වශයෙන් ජාලගත සියළුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ව්‍යුහයන් වල පරිඝණක පද්ධති වල ක්‍රියාකරීත්වය ඇණහිට සමස්ථ රාජ්‍ය පාලන හා සේවා යාන්ත්‍රණයම අඩාල විය හැකිය. රජයේ සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආරක්ෂක හමුදා, රෝහල්, පාසල්, විශ්ව විද්‍යාල, බැංකු, රේගු, ආගමන විගමන, වරාය, ගුවන් තොටුපල ආදී වශයෙන් මෙකී නොකී සියළුම තැන්හි කටයුතු අඩාල විය හැකිය. ඉහත ආකාරයේ සමස්ථ ඇණහිටීමකදී පැයක් තුල සිදුවිය හැකි ආර්ථික අලාභය කොපමණ විය හැකිද? අවුල් සහගත තත්වයන් මඟහරවා ගැනීමට කොපමණ කලක් ගත් වේවිද?

රජය, දේශපාලඟයන්, නිළධාරීන්, ලාංකේය සිවිල් සමාජය ආදී වශයෙන් වන සම්පාදකයන් හා කයිවාරුකාරයන් විසින් සහමුලින්ම අමතක කර දමා ඇති, වැඩ කරවා ගැනීමට පමණක් හරකුන් සේ භාවිතා කරනු ලබන ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත සිදු කර ඇති අසාධාරණය, අයුක්තිය, නොසලකා හැරීම, කෙණහිලි නිසා ඉහත කී ආකාරයේ වැඩ වර්ජනයක් නුදුරේදීම සිදු වීමට ඇති අවකාශය අහුරා දැමීමට, යහපාලන රජයට තවමත් අවස්ථාව ඇත. දැනට රජයේ සේවයේ නියුතු 2000කට ආසන්න තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හට සිදුව ඇති වෘත්තීය අසාධාරණකම් කීපයක් පහත දක්වා ඇත.’

1. රජය මගින් රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන් පිළිබඳව විටින් විට විවිධ සැලසුම් හා ප්‍රථිපත්ති සකස් කර චක්‍රලේඛණ නිකුත් කිරීමේ දී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගැන සඳහනක් හෝ නිසි සැලකීමක් දක්වා නොතිබීම.

2. රාජ්‍ය සේවකයන්ට හා රාජ්‍ය සේවාවේ නියුතු වෘත්තීයන්ට ලබා දෙන සහනදායී මෝටර් වාහන බලපත්‍රය (Duty Free Vehicle Permit) රජයේ සේවයේ නියුතු උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලබා නොදීම.

3. රජයේ සේවයේ නියුතු ඉංජිනේරු වෘත්තිකයන්ට ලබා දෙන 15000/- වෘත්තීය දීමනාව රජයේ සේවයේ නියුතු උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලබා නොදීම.

4. යහපාලන රජය මගින් ලබාදීම ආරම්භ කල විධායක ශ්‍රේණි දීමනාව රජයේ සේවයේ නියුතු උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලබා නොදීම.

5. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම.

6. තොරතුරු තාක්ෂණ නියෝජිතායනය හෙවත් ICTA ආයතනය ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙනුවෙන් සිදුකල යුතු කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම.

7. ශ්‍රී ලංකා පරිඝණක සංගමය හෙවත් CSSL ආයතනය හෝ අවම වශයෙන් තම සාමාජික තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙනුවෙන් හෝ කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ප්‍රධාන වශයෙන්ම දේශීය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා රජයේ සේවයට එක්වී ඇත. ඔවුන් තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධි, පරිඝණක විද්‍යා උපාධි, මෘදුකාංග, දෘඩාංග, ජාලකරණ වැනි උපාධි සුදුසුකම් ලබා ඇත. තම සමකාලීන සඟයන් පුද්ගලික අංශවල රැකියා කරමින් ලක්ෂ ගනන් මාසිකව උපයද්දී, රථ වාහන හා ඉන්දන දීමනා, විදේශ සංචාර වැඩමුළු ආදී දේට හිමිකම් ලබද්දී රජයේ සේවයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සියළු හිමිකම් හා වරප්‍රසාද නොලබාම සොච්චම් වැටුපකට කබුරති.

අතීතයේ සිටම රාජ්‍ය සේවකයන් හට කිසියම් දීමනාවකට හෝ පහසු කමකට අදාලව චක්‍රලේඛණ සකස් කිරීමේ දී රජයේ සේවයේ නියුතු වෙද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වාස්තු විද්‍යා, නීති වැනි වෘත්තිකයන්ට එය අදාල වන ආකාරය වෙනම සඳහන් කරනු ලැබේ. මෙම වෘත්තීය ලැයිස්තුවට තොරතුරු තාක්ෂණ වෘත්තිය ඇතුළු කිරීම 21වන සියවසේදීත් සිදු නොකරන්නේ ඇයි. කෙටුම්පත් සම්පාදකයන් තවමත් 20 වන සියවසේ ජීවත් වන අතීතකාමී හනමිට්ටන් වීම නිසාද, එසේත් නැතිනම් ඔවුන්ගේ නොදන්නා කමද? එසේත් නොමැති නම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හිතා මතාම ආණ්ඩුව විසින් නොතකා හරිනවාද?

ඇමතිගේ සිට ප්‍රාදේශීය සභා සභාපති දක්වාත්, අමාත්‍යාංශ ලේකම්ගේ සිට විදුහල්පති දක්වාත්, තොරතුරු තාක්ෂණ හැර රාජ්‍ය සේවයේ නියුතු සියළුම වෘත්තිකයන්ටත් ලැබන සහනදායී මෝටර් වාහන බලපත්‍රය රාජ්‍ය සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට නැත. කොටින්ම අදාල චක්‍රලේඛණ වල සියලු වෘත්තිකයන් ඇතුලත්ව ඇතත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගැන සඳහනක් හෝ නොමැත.

2012 අයවැයේ සිට රජයේ සේවයේ නියුතු ඉංජිනේරුවන්ට ලබා දුන් ක්ෂේත්‍ර ඉංජිනේරු දීමනාව (15,000) සියළුම ඉංජිනේරුමය කාර්යන් වල මුල, මැද, අග නොවෙනස්ව මෘදුකාංග, දෘඩාංග, ජාලකරණ ඉංජිනේරු ශිල්පය සපයන රජයේ සේවයේ නියුතු උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලබා දී නොමැත.

මෙම වෘත්තිකයන් මෘදුකාංග, දෘඩාංග හා ජාලකරණ ඉංජිනේරුවන් වුවත් ලංකාවේ තොරතුරු තක්ෂණ උපාධි සහතික වල ඉංජිනේරු ලෙස සටහන් නොවීම හේතුවෙන් 15000/- ඉංජිනේරු දීමනාවත්, සහනදායී මෝටර් වාහන බලපත්‍රයත් මොවුනට අහිමි කර තිබීම කොතරම් අසාධාරනද? දිගින් දිගටම මෙම වෘත්තිකයන් නොසලකා හැරීම නිසා, ජාතික සයිබර් වැඩ වර්ජනයක් (National Online Cyber Strike) උද්ගත වු මොහොතක මොවුන් සැබෑවටම ඉංජිනේරුවන්ද ටයිකාරයන් පමණක්ද යන්නත් තොරතුරු තාක්ෂණය ඉංජිනේරු ශිල්පයක්ද නොවේද යන්නත් බලධාරීන්ට තේරුම් ගැනීමට හැකිවනු ඇත.

රජයේ සේවයේ නිසි වෘත්තීය ශ්‍රේණියක පිහිටුවා නොමැති ගන්ධබ්බයන් කොටසක් බවට පත්ව ඇති මෙම වෘත්තිකයන් හට ඒ හේතුවෙන්ම යහපාලන ආණ්ඩුව හඳුන්වා දුන් රජයේ විධායක ශ්‍රේණි දීමනාවද නොලැබේ. නමුත් සමාන උපාධිධාරී රජයේ සමාන්තර වෙනත් සේවාවන්හි වෘත්තිකයාන්ට එම දීමනාව ගෙවනු ලැබේ. පුද්ගලික අංශ වලට එක්වු සමකාලීනයන් සේවයේ වසර 03ක් සම්පූර්ණ කල පසු විධායක නිළධාරීන් බවට පත්ව, තම වෘත්තීය තත්වයට හා වෘත්තීය අභිමානයට ඇවැසි සියලු විධායක වරප්‍රසාද ලබති.
ඉංජිනේරු සේවය්, ගුරු සේවය, පරිපාලන සේවය ආදී වශයෙන් පරිපාලනය යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවයක්ද ඇතත් එය ක්‍රියාකාරී නැත.ඇත්තේ බඳවා ගැනීමේ ගැසට් නිවේදනය පමනි. ආරක්ෂක හමුදා, රාජ්‍ය සංස්ථා, මණ්ඩල වැනි සුවිශේෂී සේවා හා ආයතන සේවයේ නියුතු වෘත්තිකයන් ඒ සඳහා අන්තර්ග්‍රහණය කරනු ලබන නිසි ක්‍රියාදාමයක් හෝ ක්‍රමවේදයක් නොමැත.

තොරතුරු තාක්ෂණය පිළිබඳව ජාතික ආයතනය වන ICTA ආයතනය දේශපාලන අනාතයන්ගේ හා කයිවාරු කාරයන්ගේ අම්බලමක් මිස එතනින් එහාට ක්ෂේත්‍රය වෙනුවෙන් කරපු හෝ ඉදිරියට කරනු ඇතැයි සිතිය හැකි කෙරුවාවක් නොමැත.ඉණැනසල නමින් රටපුරා කොමියුනිකේෂන් ඇරියාට අමතර ක්ෂේත්‍රය හා එහි නියුතු වෘත්තිකයන් වෙනුවෙන් අසවල් ජාතික මට්ටමේ වැඩක් ICTA විසින් කලා කියා පෙන්වීමට තිබේද? අවම වශයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තියන් ප්‍රමාණයන් පිලිබ්ඳව නාමලේඛණයක් හෝ ICTA සතුව නැත. ප්‍රාථමික මට්ටමෙන් හෝ එවැනි ලේඛණයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකා පරිඝණක සංගමයද CSSL තම සාමාජිකයන් වන රාජ්‍ය හා පුද්ගලික තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ වෘත්තීයමය තත්වය ආරක්ෂා කර ගැනීමට පෙනී සිටින්නේද නැත. ඔවුන්ගේ කෙරුවාවන් සාමාජික ගාස්තු එකතු කිරීම, ටී ෂර්ට් එකක්, කැප් එකක්, කුඩයක් මුද්‍රණය කිරීම, අවුරුද්දකට වරක් දෙවරක් බාල් නැටුමක් නැටීම, ඇපයෙන් ගැලවීමට වැඩ මුළුවක් දේශණයක් සංවිධානය කර ගානක් කපා ගැනීම ආදී කටයුතු වලට සීමා වී ඇත.
ඉහත දක්වා ඇත්තේ නව තාක්ෂණය සමඟ අනාගතයට පියමන් කිරීමට අපේක්ෂා කරන ලංකාවේ, එම ගමන යාමට සිටින පෙර ගමන්කරුවන් පත්ව ඇති ඛේදයයි. මෙම තත්වයෙන් රජයේ උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මුදවා ගන්නා ලෙස පසුගිය ආණ්ඩුවේ මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, සියඹලාපිටිය, ජෝන් සෙනවිරත්න, ලලිත් වීරතුංග, පී.බී. ජයසුන්දර වැනි සියලු බලධාරීන්ගෙන් අනේක වර අපි ඉල්ලා සිටියෙමු. එහෙත් විසඳුමක් නොලැබුනි. දින සියයේ ආණ්ඩු බලධාරීන්ට ලියා යැවුවෙමු. විසඳුමක් නොලැබුනි. වර්ථමාන යහපාලන රජයේ ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, මලික්, හරීන්, අඛිල විරාජ්, මද්දුම බණ්ඩාර යන ගරු ඇමතිතුමන්ලාට ලියා යැවුවෙමු. විසඳුම් ලැබී නැත.වෙනකක් තබා මෙම ලියුම් කරුගේ සමකාලීන, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ, තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධිධාරී, ජනපති දියනී චතුරිකා සිරිසේන මහත්මියටද දන්වා යැවීමු. අපේ ප්‍රශ්ණය වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස තවත් කීමට ඉතුරු වී සිටින්නේ මතුගම මංත්‍රී පාලිත තෙවරප්පෙරුම පමණි.

කෙසේ නමුත් වගකිව යුත්තන්ගේ මැදිහත්වීමක් නොමැති නම්, මෙම ඛේදනීය තත්වයෙට විසඳුමක් නොමැත්තේ නම්, රජයේ හා ආශ්‍රිත සේවා වල උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් පෙර නොවූ විරූ ජාතික සජීවී සයිබර් වැඩ වර්ජනයකට (National Online Cyber Strike) යාමට රජයේ උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අකමැත්තෙන් වුවද තවත් නම් පසුබට නොවනු ඇත. ප්‍රශ්න නොසලකා හැර විසඳුම් පමා කරන්නේ යම් සේද, වර්ජන හා වෘත්තීය අරගල ඉක්මන් වන්නේද ඒ නිසාවෙන්ම බව වගකිවයුත්තන් තරයේ සිහි තබාගත යුතුය.

රජයේ උපාධිධාරී තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.