ලංකාවේ දේශපාලකයන් මේ වන විට සර්ව බලධාරීන්ට වඩා වෙනසක් නැත. දේශපාලනය හැර අන් සියල්ලම ඔවුන් විසින් කරමින් සිටියි. ඒ වෙනුවෙන් සෑම අතින්ම අවශ්‍ය බලය ඔවුන්ට ලැබී ඇත. ලැබී ඇතිවා පමණක් නොව ජනතාව විසින් ස්වකැමැත්තෙන්ම ඔවුන් වෙත ඒ අසීමිත බලය පූජා කොට තිබේ. ඒ බලයෙන් තමන්ගේ සුඛ විහරණය පමණක් නොව ජනතාව පීඩාවට පත් කිරීම, ජනතාව රැවටීම, නීතිය නැවීම පමණක් නොව නීතිය අවනීතිය බවට පත් කිරීම ද අද වන විට බොහෝ දේශපාලකයන්ගේ ප්‍රමුඛ කාර්යය බවට පත් වී තිබේ.
දේශපාලකයන් මෙසේ බලය අනිසි ලෙස භාවිතා කිරීම නිසා ඔවුන්ගේ අතවැසි බල පුළුවන්කාරයන් පිරිසක් ද රට තුළ නිර්මාණය වී ඇති බව දැන් කාටත් රහසක් නොවේ. දේශපාලකයන්ට අමතරව එවැනි බලපුළුවන්කාරයන් විසින් රටේ විවිධ රාජ්‍ය ආයතන තුළ සහ විවිධ ක්ෂේත්‍රයන් තුළ තම බල පරාක්‍රමය පැතිරවීම නිසා රටේ සමස්ත යාන්ත්‍රණයම පත් වී ඇත්තේ බරපතළ ව්‍යාකූලතාවයකටය. මේ කතාවේ ප්‍රධාන චරිතයට පණ පොවන පුද්ගලයාද එවැනි බලපුළුන්කාරයෙකි. නිකම්ම නිකම් බලපුළුවන්කාරයෙකු නොව ‘මහාචාර්ය’ බලපුළුවන්කාරයෙකි. ඔහු ඉදිරියේ ද නීතිය නැවෙන්නේ සර්ව බලධාරී දේශපාලකයන් ඉදිරියේ නීතිය නැවෙන පරිදිමය.
දරුවන් පාසල් වලට දැමීම, පොලිස් අත් අඩංගුවේ සිටින පුද්ගලයන් නිදහස් කිරීම, විවිධ රැකියා වලට ඇතුළු කර දීම, පොලිස් නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු සිදු කිරීම, දේපොළ බලෙන් අත්පත් කර ගැනීම පමණක් නොව අධිකරණයේ විභාග වන නඩු වලට බලපෑම් කිරීම දක්වා මොහුගේ බලය විහිදී තිබේ.
මේ පුද්ගලයා නමින් මංජුල ප්‍රසන්න ජයවර්ධන අත්තනායකය. නමට කලින් මහාචාර්ය පට්ටමක් ද තිබෙන මොහු ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කටයුතු අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස කටයුතු කරන බව ඔහු විසින් විවිධ ආයතන වෙත යවන ලිපි වල සඳහන් කර තිබේ. එසේම ඔහු ජනාධිපති උපදේශකයෙකු ලෙස හඳුන්වා ගන්නා අතර එක්සත් නිදහස් ස්වාධීන පක්ෂය නම් දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙසද හඳුන්වාගෙන තිබේ.
මොහු විසින් තම නම සහ මහාචාර්ය පට්ටම යොදා ගනිමින් කර ඇති බලපෑම් ගණන එක දෙකක් නොවේ. ඒ සඳහා පැවති ආණ්ඩුවේත් වර්තමාන ආණ්ඩුවේත් ලොකු ලොකු අතු වලින් රැකවරණය ඔහුල ලැබී ඇති බව පෙනී යන්නේ 2007 වසරේදී අත්තනගල්ල ප්‍රදේශයේ අක්කර දහසයක ඉඩමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් එවකට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අත්තනගල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් නිසාය. එසේ අත්පත් කරගෙන ඇති ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකකි. පැමිණිල්ලෙන් පසුව මොහු පොලිස් අත්අඩංගුවට පත් වුවද එතනින් එහා කටයුතු වැඩි දුර නොගොස්ම අවසන් කර ගැනීමට මේ හොර මහාචාර්යවරයා සමත් වී තිබේ. විවිධ ව්‍යාජ තනතුරු වල තමන් කටයුතු කරමින් සිටින්නේ යයි කියාගනිමින් මෙවැනි දේ සිදුකරන මොහු නිකම්ම නිකම් වංචාකාරයෙකු හෝ මොළේ අමාරුකාරයෙකු ලෙස හඳුන්වන්නට ඇතැමුන් සිතාමතාම උත්සාහ කළ ද එය එසේ නොවේ යයි මොහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග එකට සිට ගත් ඡායාරූපයක් පමණටත් වඩා සාක්ෂි සපයයි. ජනාධිපති උපදේශකයෙකු, අමාත්‍යාංශ ලේකම්වරයෙකු පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් ද පෙනී සිටීමටත්, එසේ පෙනී සිට එය ව්‍යාජයක් බව හෙළිදරව් වූ විට යහතින් තවත් එවැනිම කටයුතු කරගෙන යාමටත් හැකියාව ලැබුණේ ඒ දේශපාලන බලපුළුවන්කාරකම නිසාය. නීතියේ රැහැණට හසු විය යුතු පුද්ගලයෙක් වුවද මොහු ගමන් බිමන් ගියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේය.
ඒ නිසාම මේ මහාචාර්ය මංජුල ප්‍රසන්න අත්තනායක නැමැත්තා රටේ නම ගිය ගිහි පැවිදි පුද්ගලයන් අතර මෙන්ම තරමක් බර ඇති තැන් වල නම කියූ පමණින් හඳුනන තැනැත්තෙකි. එසේ බර ඇත්තවුන්ගේ පමණක් නොව ඇතැම් විනිසුරන්ගේ දරුවන් පවා පාසල් වලට ඇතුළත් කර ඇත්තේ මේ පුද්ගලයා විසින් බව කියවේ.
2009 වසරේදී ඇහැලියගොඩ පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙනී සිටිමින් ජනතාව පමණක් නොව පොලිසිය ද රැවටීම නිසාය. එසේ අත්අඩංගුවට පත් වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ව්‍යාජ නිල මුද්‍රාවක් ඇතුළුව කූට ලෙස සැකසූ ලිපි ලේඛන ද ඔහු සන්තකයේ තිබී ඇත. මාධ්‍ය මගින් ද ඒ සිදුවීම් වාර්තා කර තිබුණි.
එහෙත් එතනින් ද ගැලවීමට ඔහු සමත් විය. ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකුගේ ලිපියක් සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදා ගනිමින් මොරවක නාථ දේවාලයේ භාරකාර තනතුර ලබා ගැනීමට උත්සාහ කිරීමේදී නැවත අත්අඩංගුවට පත්වන මොහු එවකට කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර ඇති අතර රුපියල් එක් ලක්ෂ දස දහසක මුදල් සහ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බිරිඳ වන එලීනා ජයවර්ධන සතු වූ ඉඩමක් වංචා කර අත්පත් කර ගැනීම නිසා තවත් වරක් පොලිස් අත්අඩංගුවට පත්වන මොහු ඊට වරදකරු වී වසර දෙකක සිර දඩුවමකට යටත් කරනු ලබයි. එහෙත් තමන්ට නීතිය අල්ලේ නැටවිය හැකි බව නැවත වරක් සනාථ කරමින් ඉතාමත් කෙටි කාලයකින් විශේෂ සමාවක් ලබා නිදහස් වීමට මොහු සමත් වෙයි.
ඒ මහාචාර්ය මංජුල ප්‍රසන්නගේ ඉතිහාස කියුම් කෙරුම්ය. ආණ්ඩු මාරු වනවාත් සමගම ඒ පැත්තෙන් මේ පැත්තට හිටි පිණුමක් ගැසූ මංජුලට දැන් රැකවරණය දෙන්නේ වර්තමාන ආණ්ඩුවයි. ආණ්ඩුවේත් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමයි. දැන් මොහු විසින් පිහිටුවාගෙන ඇති සාමවිනිසුරුවරුන්ගේ සංගමයක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රබලයන් රැසක් උපදේශකයන්ය. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙක් ද ඒ අතර වෙති.
එසේ සිය සලුපිලි මාරු කර ගන්නා මොහු බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා ඇතුළු පුද්ගලයන් වෙත ලිඛිත බලපෑම් සිදු කරමින් නැවතත් සිය සුපුරුදු කටයුතු ආරම්භ කර තිබේ. එම ලිපි වල ස්ථීර ලිපිනයක්, ස්ථාවරය දුරකථන අංක පවා ඇතුළත් වන අතර නීතිය ක්‍රියාවට නගන්නේනම් ඒ සඳහා ඕනෑවටත් වඩා තොරතුරු ප්‍රමාණවත්ය. දෙහිවල ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයා විසින් ගල්කිස්ස පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිඛෙන්නේ 2017 වසරේ මාර්තු මාසයේදීය.
මේ ව්‍යාජ මහාචාර්ය මංජුල ප්‍රසන්නගේ අලුත්ම ජවනිකාව වාර්තා වන්නේ මේ ගෙවී යන අප්‍රේල් මාසයේදීය. අප්‍රේල් මාසයේ 6 වන දින හෝ ඊට ආසන්න දිනයක ගල්කිස්ස පොලිස් වසමේ අංක 307/25/ඒ/1/1 දරන නිවස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධ පොලිස් පැමිණිල්ලක් සටහන් වන අතර ඒ සම්බන්ධයෙන් මේ ව්‍යාජ මහාචාර්යවරයා අත්අඩංගුවට ගනු ලබයි. එසේ අත්අඩංගුවට ගනු ලබන්නේ අප්‍රේල් මස 17 වන දිනයේදීය. ඉන් පසු බී.608/2028 දරන බී වාර්තාව යටතේ මොහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දැන් ඒ සම්බන්ධයෙන් ද සිටින්නේ ඇප පිටය.
ඕනෑම වරදකට ඕනෑම අධිකරණයකින් ලේසියෙන් ගැලවෙන්නට හැකියාවක් මොහු සතු වී ඇත්තේ කුමන බලයක් නිසාද? ඔහුගේ දෙමව්පියන්ම පවසන පරිදි සාමාන්‍යපෙළ දක්වා හෝ පාසල් නොගිය මොහු මහාචාර්යවරයෙකු ලෙස පෙනී සිටින්නේ කෙසේද?
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවට නැගීමට පොලිස් දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට අප විසින් නීතිය කියා දිය යුතු නැත. එහෙත් ආණ්ඩුවේ ප්‍රබල නිලතල අයථා ලෙස යොදා ගැනීම, එම නිලතල සඳහා කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාවට නැගීමට ආණ්ඩුවේ පැත්තෙන් සහයෝගය ලබා දිය යුතු බව සිහිපත් කර දිය යුතුය. ඒ එවැනි සහයෝගයක් ලබා දීම වෙනුවට මෙවැනි වංචාකාරයන් ආරක්ෂා කිරීමට රටේ මුල් පුටුවේ සිට පහළ දක්වාම ක්‍රියා කරමින් සිටින බව මේ ව්‍යාජ මහාචාර්යවරයාගේ සිදුවීම් පෙළ දෙස බලන විට පෙනෙන්නට තිබෙන නිසාය.
චතුර දිසානායක