අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභා සභාවේ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා සමීප සම්බන්ධතාවක් පවත්වන ගුරුවරියක අනුරාධපුර, විජයපුර, පණ්ඩුකාභය මාවත, පළමු පටුමගේ පවතින අපජල කාණුවක් හරස් කර ඉදි කළ තාප්පය ඇතුළු අනවසර ඉදි කිරීම් ඉවත් කරන ලෙස සභාවෙන් ඉල්ලූ ගම්වාසීන්ට නිවසටම පැමිණ සභාපතිවරයා තර්ජන සිදු කරන බවට ගම්වාසීන් පවසති.
අනුරාධපුර, විජයපුර පණ්ඩුකාභය මාවත ඇතුළු මාර්ග කීපයක ගෙවතු වල අප ජලය ගලා යෑමට ස්වාභාවිකව සැකසුනු කාණු පද්ධතිය මෙලෙස ගුරුවරියක හා ඇගේ සොයුරා විසින් අවහිර කරමින් තාප්පයක් බැඳ ඇතැයි ගම්වාසීන් පවසති.අඩි 6*6 පමණ කාණුවක් ලෙස මෙය පුරාණයේ සිට පැවතියද, මේ වන විට අනවසර ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් අඩි 1 ½ කට පමණ සීමා වී ඇතැයිද, ඒ හේතුවෙන් කුඩා වර්ෂාවකදී පවා තම ගෙවතු ජලයෙන් යටවී නිවාස තුළටද ජලය පැමිණෙන බවට ගම්වාසීන් පවසති.
මේ සම්බන්ධයෙන් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව , උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු බළධාරින් නිළධාරීන් දැනුම්වත් කළද මෙතෙක් විසඳුමක් නොලැබුණ බව ගම්වාසීන් පවසති.මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණ සිදු කර අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස නිර්දේශ නිකුත් වූවද, වසරකට වැඩි කාළයක් ගත වූවත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අදාළ අනවසර ඉදි කිරීම කඩා දැමීමට ඉඩ නොදෙන්නේ ඔහු අදාළ අනවසර ඉදි කිරීම් සිදු කර ඇති කාන්තාව සමඟ පවතින සමීප සම්බන්ධයක් නිසාවෙන් බවට ගම්වාසීන් චෝදනා කරති.මේ සම්බන්ධව ආණ්ඩුකාරවරයා දැනුම්වත් කළ පසු අදාල ප්‍රාදේශීය සභා සභාපතිවරයා තමන්ට තර්ජන කළ බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිහාල් චන්ද්‍රසූරිය මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිහාල් චන්ද්‍රසූරිය..
අපේ නිවාස ආසන්නයෙන් තමයි නයා බැඳි ඇලේ අතු ශාඛාවක් යනවා.ඒක කිලෝ මීටරයකට එහා දුර ඉඳන් එන ඇළ මාර්ගයක්.මේක ස්වාභාවිකව නිර්මාණය වුණ ඇළ මාර්ගයක්, වැසි කාළයට නිවාස ගෙවතු වල එකතු වන වැසි ජලය මේ නයා බැඳි ඇලේ අතු ශාඛාව හරහා තමයි ගලාගෙන යන්නේ, පවුල් 150 ක පමණ ප්‍රමාණයක ඉඩම් වලින් එන ජලය බැසයාම අවහිර කරලා, කාන්තාවක් සහ ඇගේ සොයුරා අනවසර තාප්ප ඉදි කරලා අඩි 06 ක් තියෙන්න ඕන ඇළ, ඒ ගොල්ලන්ගේ වත්ත ඇතුලෙන් කාණු බැඳලා තියෙනවා අඩි 1 ½ කට විතර පොඩි කරලා.ඒ නිසා අවට පවුල් 10-15 කගේ ඉඩම් හා නිවාස වැහි කාළයට වතුරෙන් යට යනවා.ඒ නිසා අපි මේකට 2024 වර්ෂයේ 12 වැනි මාසයේ 17 වැනිදා ඉඳලා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලනවා විසඳුමක් දෙන්න කියලා.නමුත් ඒ අය මේ අනවසර ඉදි කිරීම් හිමිකරුවන්ට තියෙන හිතවත්කමක් නිසා මේක කරන්නේ නෑ,අපි තුන් වතාවක්ම ආණ්ඩුකාරතුමන්ට මේ ගැටලුව යොමු කළා.ආණ්ඩුකාරතුමාට යොමු කරලත් මාස 08 ක් වෙනවා.නමුත් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ගැටලුවට වගකිව යුතු ආයතන ආණ්ඩුකාරතුමන්ටවත් කිසිදු ගරුත්වයක් කීකරුකමක් දක්වන්නේ නැතිව එතුමා කියන දේවත් අහන්නේ නැතිව මේ රාජකාරිය දිනෙන් දින පැහැර හරිනවා.මේ ඉදිරියේ එන වැසි කාළයට පෙර අපිට මේකට විසඳුමක් අවශ්‍යය වනවා නැත්නම් අපි තව දුරටත් පීඩනයට ලක් වෙලා වැසි ජලයෙන් අපේ ගෙවල් යට යනවා. විශාල ඉඩම් ප්‍රමාණයක වතුර ගලාගෙන ඇවිත් එක තැනකින් අවහිර වෙනවා.ඒ නිසා පොඩි වැස්සටත් අපේ ගෙවල් යටවෙනවා.මේ අවහිර කරපු තැනට කලින් අඩි 06 ක් පමණ ලොකු ඇලක්, වත්ත ඇතුලෙන් තියෙන්නේ අඩි 1 ½ යි.එයාලාගේ වතු වලින් පිට වෙන පැත්තත් අඩි 6 කට වඩා තියෙනවා.මේ ඇළ මාර්ගය හරස් කරලා තාප්ප බැඳලා තියෙන නිසා තමයි මේ පවුල් 15 ක විතර ඉඩම් නිවාස ජලයෙන් යට යන්නේ.ඒ නිසයි මේ අනවසර ඉදි කිරීම් ඉවත් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිළධාරීන් අවස්ථා කීපයකදීම ඒකාබද්ධ පරීක්ෂණ කරලා සභාපතිවරයාට හා සභාවේ ලේකම්වරයාට නිර්දේශ ලබා දීලා තියෙනවා හැකි ඉක්මනින් මේ අනවසර ඉදි කිරීම අයින් කරන්න කියලා.නමුත් මේ අනවසරකරුවන් එක්ක තියෙන සමීප සම්බන්ධතාවය නිසා මේ අනවසර ඉදි කිරීම අයින් කරන්නේ නෑ, නාගරික සංවර්ධන අධිකාරියෙන් දීලා තියෙනවා රිපෝට් එකක් අයින් කරන්න කියලා, ග්‍රාම නිළධාරී, ප්‍රාදේශීය ලේකම් බැලුවා, කමිටු වලට දාලා නිර්දේශ ලබා දිලා තියෙනවා, ප්‍රාදේශීය සභාවේම තාක්ෂණ නිළධාරීවරයා නර්දේශ කරලා තියෙනවා මේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්න කියලා.නමුත් මේ සභාපතිවරයා හා ලේකම්වරයා ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැති එක තියෙන්නේ.වර්ථමානයේ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ පවුලත් එක්ක ඉතාම සමීප සම්බන්ධතාවක් තියෙනවා.ඒක තමයි මේ සියලු දේ යටපත් කරන්නේ.
රජයේ නිළධාරීන් ඉස්සරහා මට බැනලා තර්ජනය කරලා යනවා
නාගරික සංවර්ධන අධිකාරියෙන් නිර්දේශ කරලා තියෙනවා මේ නිවසේ තාප්පය දෙපස දාලා තියෙන කැලි කසල, ග්‍රෙවල් ඉවත් කරලා වතුර බැස යන්න ඉඩකඩ සලසන්න කියලා, ඊට අමතරව කියලා තියෙනවා මේ ගොල්ල ඇළ මාර්ගය අවහිර කරලා තියෙනවා ඇලට නිසි පළල ලබා දෙන්න මේක කඩා ඉවත් කළ යුතුයි කියලා.මේ නිර්දේශ ලබා දීලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට හා ලේකම්වරයාට, නමුත් ඒ ගොල්ල ඒක ක්‍රියාත්මක කරන්නේ නෑ,මේ සම්බන්ධයෙන් මේ ඉඩම් හිමිකරුවන් එක්ක කථා කරන්න ගියහම පහර දෙන්න එනවා, බැනලා එළවා ගන්නවා.පුලුවන්නම් කඩලා පෙන්වන්න, ප්‍රාදේශීය සභාවේ හයිය අපිට තියෙනකල් කඩන්න දෙන්නේ නෑ කියනවා.අපි ආණ්ඩුකාරතුමා හම්බෙන්න ගිහින් මේ ගැටලුව කිව්වා, ඊට පස්සේ සතියකට පස්සේ සභාපතිතුමා ඇවිත් මගේ ගෙදර ග්‍රාම නිළධාරී ඒ කියන්නේ සාම නිළධාරී ඇතුළු රජයේ නිළධාරීන් ඉස්සරහා මට බැනලා තර්ජනය කරලා යනවා උඹ මොකා වුණත් කමක් නෑ, උඹ ආණ්ඩුකාරයා ලඟින්ම ගිහින් කර ගනින්.මම මේක කරන්නේ නෑ, උඹ මොකා වුණත් මට කමක් නෑ කියලා.කුමුදු ගුණවර්ධන සභාපති ඉන්නේ. ජාතික ජන බලවේගයේ සභාපතිවරයෙක්.
අපිත් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ මේ දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි
අපිත් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ මේ දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි.ජනාධිපතිතුමා කියනවා නීතියට ඉහළින් කිසිවකුට ඉන්න බෑ කියලා, ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා දකින්න තමයි අපි එතුමාට ඡන්දය දුන්නේ.මගේ ගෙදර මම දුන්නා දේශපාලන කටයුතු වලට රැස්වීම් වලට, මම ජනාධිපතිවරණයේ අනුරාධපුර පොලීසියේ ප්‍රවාහන අංශයේ පක්ෂ නියෝජිතයා, මහ මැතිවරණයේ නැ.නු.ප ප්‍රාදේශීය සභාවේ පක්ෂ නියෝජිතයා, පළාත් පාලන මැතිවරණයේදී ඔය සභාවට අල්ලපු තැන පන්සලේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ජාතික ජන බලවේගයේ නියෝජිතයා.අපි වාසි බලාගෙන ලාභ ප්‍රයෝජන බලාගෙන මේවා කරා නෙමෙයි.අපි මේ රටේ 76 වසරක ශාපය නිමා කරලා දූෂණයෙන් තොර රටක් දකින්න ආසාවට තමයි අපි මේක කරේ, නමුත් මේකේ වෙලා තියෙන්නේ අනෙක් පැත්ත, සභාපතිවරයා ඇවිත් මට තර්ජනය කරනවා.ඒ සභාවේම උපසභාපතිවරයා, ලේකම්වරයා, තාක්ෂණ නිළධාරී, ග්‍රාම සේවක ඉද්දී මගේ මිදුලේ ඉඳන් උඹ කවුරු වුණත් මට කමක් නෑ, උඹ ඉහළට පැමිණිලි කරා නම් ආණ්ඩුකාරතුමා ලඟින් කර ගණින් , උඹේ ඡන්දෙත් මට එපා, පස්සේ බලා ගන්නම් කියලා ගියා.
මේ කාණුව අවහිර කරලා තියෙන්නේ තරුණ පාසල් ගුරුවරියක්, ඇය එක්ක සභාපතිවරයා දැඩි සම්බන්ධයක් තියෙනවා කියලා අපි වගේම මේ ගමේ හැම කෙනක්ම දන්නවා.එයා වෙනුවෙන් එයාගේ අයියත් ආරක්ෂා කරනවා සභාපතිවරයා විසින්, මේ කාණුව අවහිර වෙලා ගෙවල් යට වෙන අපි වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ,අපෙන් දැන් පලි ගනිමින් සිටිනවා යැයි පැවසීය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ තවත් ගම්වාසීන් කීපදෙනෙකුද කියා සිටියේ වැසි කාළයට අප ජලය ගලා නොයෑම හේතුවෙන් තම නිවාස හා ගෙවතු ජලයෙන් පිරී යන බවයි.මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව දැනුම්වත් කළද ඒ සඳහා විසඳුමක් නොලැබුණ බවද ගම්වාසීන් පවසති.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර නැගෙනිහර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමුදු ප්‍රියන්ත මහතා සම්බන්ධකර ගෙන විමසීමක් කිරීමට උත්සහ කළද ඒ මහතාගේ 071-8155491 යන දුරකථනයට ඒ මහතා ප්‍රතිචාර නොදැක්වීය.
අනතුරුව අප මේ සම්බන්ධයෙන් එම සභාවේ ලේකම් උදයසිරි මහතා 071-4428735 ඔස්සේ සම්බන්ධ කර ගත් අතර ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මැයි මස 22 වැනි දින මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පළමු වරට නඩුවක් විභාග වීමට නියමිත බවයි.
