Anonymous Reporter

SITP- IT වනසන ETCA උගුල

මෙරට ඉතා ඉහළ වර්ධනයකට අවශ්‍ය ස්වාභාවික විභවයක් ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉන්දියාවට විවෘත්ත කිරීම හරහා එහි වර්ධනයට බලපාන සාධක අහිමිවීම නිසා අනාගතයේ දරුණු කඩා වැටීමට ලක් වනු ඇති බවත් , ඒ හරහා දැනට මෙරටට ලැබිය හැකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පවා ඉන්දියාවට ගලා යාමේ දැඩි අවධානමක් ඇති බවත් තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ සංසදය පෙන්වා දෙයි.

IT වනසන ETCA යන මැයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එහි වෙමින් එහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දෙයි.

මීට පෙර නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබුණේ මේ ගිවිසුම හරහා මැදපෙරදිග කාන්තා ශ්‍රමිකයන්ගෙන් යැපීම නවතා ගත හැකි වනු ඇති බවයි. නමුත් තොරතුරු තාක්ෂණික වෘත්තිකයන් වෙනුවෙන් ලසන්ත වික්‍රමසිංහ මහතා මේ මාධ්‍ය හමුවේදී පෙන්වා දෙන්නේ එහි සත්‍යතාවයක් නොමැති බවත් සැබෑවටම සිදු වෙමින් යන්නේ එහි විලෝමය බවයි. මේ ගිවිසුම හරහා අපට අනාගතයේ දිනක මැද පෙරදිග වහල් සේවයෙන් යැපෙනවා වෙනුවට තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයෙන් ලැබෙන වර්ධනය හරහා මැදපෙරදිග වහල් සේවය නවතා ගැනීමට පවා ඇති අනගි අවස්ථාව නැති වෙමින් ඇති බවයි ඔහු සාධක සහිතව අවධාරණය කරන්නේ..

ඒ මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ ලසන්ත වික්‍රමසිංහ මහතා …

තොරතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රය ETCA ගිවිසුම සඳහා මුලින්ම තෝරා ගැනීම පිටිපස ප්‍රබල හේතුවක් තිබෙනවා. එය අපගේ රැකියා ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනිමට ලඝු කොට නොතැකිය යුතුයි. මෙරට සිටිනා මෙම ගිවිසුමට සහය පළ කරන අසාර්ථක ආර්ථික උපදේශකයනට එම කූඨෝපාය ගැන අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නෑ.ඔවුන් වෙළඳ ගිවිසුම් ගැන දන්න අය වෙන්න පුළුවන්, නමුත් ඔවුන් මේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රය ගැන තියෙන අවබෝධය ඉතා අඩු බව පේනවා.

ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ වත්මන් තත්වය ගැන අවබෝධයක් අප මුලින්ම ලබා ගත යුතුයි. ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පසුවන්නේ සීග්‍රයෙන් වර්ධනය වන තත්වයක. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාලව සැළකුවහොත්;

2007 දී අපනයන ආදායම ඇ. ඩො. මිලියන 200යි. 2103 වෙනකොට එය ඇ. ඩො. මිලියන 700 ඉක්මවා තිබෙනවා. වසර 6ක් ඇතුලත තුන්ගුණයකට වඩා අපනයන ආදායම වැඩි වී තිබෙනවා.

· 2007 දී ,මෙම ක්ෂේත්‍ර්යේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් විතර. 2013 වසර වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා යනවා. වසර 6ක් තුළ තුන් ගුණයකට වඩා වර්ධනය වී තිබෙනවා.

· 2007 දී මෙම ක්ෂේත්‍ර්යේ රැකියා 33,000 ක් පමණ වුනා. 2013 වන විට රැකියා අවස්තා 75,000 ඉක්මවනවා. වසර 6ක් ඇතුලත රැකියා ප්‍රමණය දෙගුණයකට වඩා වර්ධනය වී තිබෙනවා..

ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 25 තුළට ලංකාව ඇතුලත් වෙලා තියෙනවා.

· 2013 වසරේදී එක්සත් රාජධානියේ National Outsourcing Association විසින් Outsourcing Destination of the Year ලෙස ලංකාව හඳුනා ගත්තා.

අප විසින් ලංකාවේ නිපදවන ම්රුදුකාංග ලෝකයේ දැවැන්ත සමාගම් විසින් භාවිතා කරනවා . ඒ අතර ලන්ඩන් කොටස් වෙළදපල, මයික්‍රොසොෆ්ට්, එමිරේට්ස්, කටාර් එයාවේස්, ජේපී මෝගන් සහ ගූගල් වැනි ලෝ පතළ සමාගම් තිබෙනවා.

ඒ නිසා මේ කරුණු ස්වල්පය සලකා බැලුවත් පේන්න ඕනා ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉතා දිගු ගමනක් යා හැකි තවමත් වර්ධනය වෙමින් පවතින ඉහළ විභවයක් ඇති ක්ෂේත්‍ර්යක් බව.

SLASSCOM සංවිධානය සිය වාර්තාවකින් 2014 දි කියනවා මෙම ක්ෂේත්‍ර්යේ පාර්ශව කරුවන්, රජය සහ අධ්‍යාපනඥයින් එක්ව යා යුතු ගමනක පැහැදිලි ඉලක්ක තුනක් ගැන.

1. 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක්. 2013 වනකොට තිබ්බේ මිලියන 700ක්. ඒක බිලියන 5 දක්වා යන්න තමයි ඉලක්කය.

2. සෘජු රැකියා ලක්ෂ 2 ක්

3. අළුතෙන් ආයතන 1000 ක් ආරම්භ කරන්න.

ඒකෙන් පේනවා මේ ක්ෂේත්‍රයේ තියෙන විභවය. මේ රටේ ව්‍යවසාකයන්ට සහ අනාගත රැකියා ලබා ගන්න ඉන්නත තරුණ තරුණියන්ට තිබෙන සුවිශාල අවස්ථා ප්‍රමාණය.

· SLASSCOM සංවිධානය සිය වාර්තාවකින් 2014 දි කියනවා 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් දක්වා ඉලක්කගත කළ යුතුයි කියලා

· ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 25 තුළට ලංකාව ඇතුලත් වෙලා තියෙනවා.

වර්ධනයට හේතුව

පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙම වෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ නව ආයෝජනයන් සිද්ධ වෙන නිසා. විශාල ඉන්දියාව ආසන්නයේ තමයි මේ පුංචි අපේ ලංකාව පිහිටලා තිබෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය කරන ආයෝජකයෙක් අර විශාල ඉන්දියාවට නොගොස් මේ පුංචි ලංකාවට එන්නේ ඇයි කියලා. එහෙම එනවා දැන්. හේතුව තමයි ලංකාවේ උසස් කුසලතාව සහ සාපේක්ෂව අඩු පිරිවැය. දැන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් වැටුප්. එතකොට අපට පේනවා දැන් ඔහුගේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ කෙරෙන්වා. ඉහළ කුසලතාවය සහ අඩු පිරිවැය. වැටුප කියන සාධකය නිෂ්පාදන පිරිවැයට සහ මේ ක්ෂේත්‍රය තුල ඉහළ කුසලතාවයක් රදවා ගන්නවා. දැන් මේ වැටුප හරියට සමතුලිත වෙලා තියෙන්නේ. ආයොජකයා කියනවා නිෂ්පාදන පිරිවැය අඩුයි කියලා. ලංකාවේ තරුණ තරුණියන්ව ක්ෂේත්‍ර්යට ආකර්ෂණය කරන්නත් මේ වැටුපටම පුලුවන් වෙලා තියෙනවා. එතකොට ආයෝජකයෙකු ඉන්දියාවට නොගොස් ලංකාවට එන්න හේතුව තමයි පිරිවැය සහ කුසලතාවය අතර සමතුලිතතාවක් ඇති කරන්න මේ වැටුප සමත් වෙලා තියෙනවා.

ගිවිසුමෙන් පසුව ඇතිවන තත්වය.

මේ ගිවිසුමෙන් පසු අර පිරිවැය සහ කුසලතාව අතර සම්තුලිතතාවය බෙදෙනවා. කොහොමද ඒක වෙන්නේ?
මේ ගිවිසුමෙන් පසු ලංකාවේ රැකියාවෙළදපල ඉන්දියානුවන්ට විවෘත්ත වීම තුළ ලංකාවේ වැටුප් පහල යනවා. එතකොට අර තරුණයන්ගේ මේ ක්ෂේත්‍ර්යට තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. දක්ෂයින් එන්නේ නෑ මේ ක්ෂේත්‍ර්යට. තරුණයන්ගේ දායකත්වය වැඩියෙන්ම වැදගත් අංශයක් තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්ය. මොකද මේ දැනුම නිතර අළුත් විය යුතු නිසා. දැන් මේ ආකර්ෂණය අඩුවීම තුල අර ආයොජකයා කලින් දැක්ක කුසලතාවය කියන සාධකය ඉක්මණින්ම මිය යනවා. ඔහුට ඉන්දියාවට නොගොස් ලංකාවට පැමිණීමට තිබුනු සුවිශේෂී හේතුව තව දුරටත් වලංගු වෙන්නේ නෑ. ඔහු පුංචි ලංකාව වෙනුවට ඕනෑ තරම් විරැකියාවෙන් පෙළෙන තරුණයන් සිටින ඉන්දියාවටම යනවා.

මේකෙන් වෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ තිබුනු සීග්‍ර වර්ධනය සහමුලින්ම ඇණහිටීමයි. එවිට අර ඉහළ විභවය වෙත ළඟා වීමක් සිදු වන්නේ නෑ. ලක්ෂ සංඛ්යාත වශයෙන් දැයේ දරුවන්ට ලබා ගත හැකිව තිබූ රැකියා ප්‍රමාණය නැතිවෙනවා. මේ ක්ෂේත්‍ර්ය ලංකාව තුළ එක තැන පල්වෙවි තිබෙන ක්ෂේත්‍ර්යක් බවට පත්වෙනවා.

අප බොහෝ දෙනා දුක් වෙනවා මැදපෙරදිගට යන කාන්තා සේවිකාවන් ගැන. අපට එය එකවර නවතා ගත නොහැක්කේ අපේ රටට බලපා ඇති ගෙවුම් හිඟයේ ප්‍රශ්නය නිසා කියලනේ කියන්නේ. හැබැයි ඒ හිඟය පියවන්න පුළුවන් ඉතාම ඉහළ විභවයක් තියෙන ක්ෂේත්‍රය තමයි මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් යැපෙනවා වෙනුවට අනාගතයේදී මේ හරහා අපට රටක් ලෙස නැගිටීමට තිබෙන අවස්ථාවයි මේ යෝජිත ගිවිසුම හරහා අහොසි වෙමින් යන්නේ.

එනිසා ඉතාම පැහැදිලියි මේ ගිවිසුම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජකයා ලංකාවෙන් ඉන්දියාවටම රැගෙන යන්න ඉදිකරන පාලමක්. මේක රටට අහිතකරයි. රටේ ආර්ථිකයට අහිතකරයි. අනාගත දුවා දරුවන්ට අහිතකරයි. වත්මන් වෘත්තිකයට අහිතකරයි. අපි කියන්නේ ඔය ගිවිසුමේ වගන්තියක් දෙකක් වෙනස් කළා කියලා මේ උවදුරෙන් ගැලවෙන්න බෑ. ඕක අත්සන් කරන්න එපා කියලා.

සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය

Top