විශේෂාංග

සහරාන්ලාගේ පිටේ බෝම්බ ගැට ගැසූ රාජපක්ෂලා,සිරිසේනලා සහ වික්‍රමසිංහලා! Sri Lanka’s Easter Bombings: Dispatches -Video

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙතෙක් එහාට මෙහාට තොරොම්බල් කරමින් සිටි රාජපක්ෂලාගේ ඇඳිවත කඩා වැටුණේ පෙරෙයිදා රාත්‍රියේ චැනල් 4 නාලිකාව විකාශය කල Sri Lanka Easter Sunday Attack -Dispatches වීඩියෝව නිසාය. සහරාන් ඇතුළු කණ්ඩායමට ස්වර්ගයට යෑමට ඔවුන්ගේ පිටේ බෝම්බ ගැට ගැසූවේ රාජපක්ෂලා බව දැන් ඉතා හොඳින් පැහැදිලි ය. මෙම පාලකයන් බලය ලබා ගැනීම සඳහා කෙතරම් කුප්ප වැඩ කරනවාද කියා ඔබට දැන් තේරෙනවා ඇති. මෙවැනි පාලකයන්ගේ දරුවන්, මුණුපුරන් පවුල් පිටින් මේවාට වන්දි ගෙවිය යුතුය. තවදුරටත් මොවුන් සාන්තු වරයන් සේ ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ ඔබ ඔවුන් පිළිගන්නා නිසාය. මෙවැනි දුෂ්ඨ, ලේ පිපාසිත, පාපිෂ්ඨ පාලකයන් පලවා හැරීමට දැන් කාලය පැමිණ ඇත. කෙසේ වෙතත්, ඔබලා තවදුරටත් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ආරක්ෂකයන් වන වික්‍රමසිංහලා සහ සිරිසේනලා රටේ පාලනයට තෝරා ගන්නේ නම් මට කීමට ඇත්තේ ඔබලා සහ ඔවුන් අතර එතරම් වෙනසක් නැත කියාය.
Sri Lanka Easter Sunday Attack-Dispatches වීඩියෝව 

එවකට ජනාධිපති සිරිසේන මෙම ප්‍රහාරය ගැන වේලාසන දැනගෙන නොසිටියා කියා කිසිවෙකුට කිව නොහැක. මෙම ප්‍රහාරය සිදුවූ දිනවල ඔහු සිය පවුල පිටින්ම රජයේ බදු මුදල් වියදම් කරමින් සිංගප්පූරුවට ගොස් තරු හතේ හෝටල් වල සැපසේ දින කිහිපයක් ගත කොට සියල්ල සිදුවූ පසු හොර පූසෙක් ලෙස ලංකාවට ගොඩ බැස්සේ තමා මේ කිසිවක් දැන නොසිටි බව කියමිනි. මොහුද වික්‍රමසිංහට නොදෙවෙනි රාජපක්ෂලාගේ කපටි ආරක්ෂකයෙකි. ඉදිරියේදී මහජන රජයක් බලයට පත්වූ දාට මොවුන් සියළුම දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

අප එදත් ප්‍රකාශ කලේ දඩයම කරේ තබාගෙන යන්නා ගෙන් ප්‍රවේසම් වන ලෙස ය

පල්ලියේ දෙවියන් යදිමින් සිටි බැතිමතුන්, ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක සිටි දෙස් විදේස් සංචාරකයන් ඇතුළු 269 දෙනෙකු පමණ පන පිටින් ඝාතනය කොට තවත් කතෝලික බැතිමතුන් සහ අනෙකුත් අහිංසක මිනිසුන් 560 කට ආසන්න පිරිසකට මාරාන්තික තුවාල සිදුකොට පුපුරා ගිය බෝම්බ මාලාවේ මහ මොලකරු ප්‍රහාරය සිදුවී දින කිහිපයකට පසු අමෙරිකාවේ සිට ලංකාවට ගොඩ බසින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කොට වැරදි කරුවන්ට දඬුවම් දෙන බව ජනයා ඉදිරියේ සපත කරමිනි. ඔහු විශ්වාස කල රටේ ජනයා ආගම්, ජාති, වර්ණ භේදයකින් තොරව ඔහුට අසීමිත බලයක් ලබා දෙමින් ජනාධිපති කරගන්නේ යුක්තිය ඉෂ්ඨ කරගැනීමට ය. එහෙත් අපරාධය කල පුද්ගලයාගෙන්ම යුක්තිය ඉල්ලන බව බොහෝ ජනයා ඒ වන විට දැන නොසිටියහ. රාජපක්ෂලා ගැන හොඳින්ම දන්නා අප එදත් ප්‍රකාශ කලේ දඩයම කරේ තබාගෙන යන්නා ගෙන් ප්‍රවේසම් වන ලෙස ය. එහෙත් රටේ ජනයාට එය එදා නොතේරුණි. දෛවයේ සරදම, අපරාධය සිදු කල ප්‍රධාන වගඋත්තර කරු හට වැඩි කල් නොගොස් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නේ ඔහු වත් නොසිතූ මොහොතකය. 2022 ජූලි 09 වන දා ජනාධිපති නිල නිවසේ රහස් දොරටුවක් නොතිබෙන්නට ඔහුටද දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ අග්‍රඵලය භුක්ති විඳීමට එදා බොහෝ දුරට ඉඩ තිබුණි.

“සොනික්” “සොනික්” කවුරුන් වන්නට පුළුවන් ද ?

මෙම ප්‍රහාරය සැලැසුම් කල පුද්ගලයන්, ඊට අනුබල දුන් පිරිස් සහ ඉන් ප්‍රයෝජන ගත් පිරිස් සියල්ලෝම මේ වන විට හෙළිදරව් වී හමාරය. සුරේෂ් සලේ අදටත් රජයේ බුද්ධි අංශ ප්‍රධානියා ය. පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකි. රාජපක්ෂලා කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේ අදටත් සිටිති. වියත්මගේ පතාකයන් වූ කමල් ගුණරත්නලා මේ සැලසුම් නොදැන සිටියා වන්නට බැරිය . පාස්කුවේ මහ මොලකරු ගෝඨාභය රාජපක්ෂ බලය අහිමි වුවත් අදටත් රජයේ නඩත්තුවෙන් කොළඹ 07 සුවිසල් මාලිගාවක දැඩි ආරක්ෂාව යටතේ සිටී. තාත්තාගේ අනතුරු හැඟවීම නිසා පල්ලි නොගිය හරීන්ලා අදත් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමැති වරුය. පාස්කුව ගැන එදා බෙරිහන් දුන් මනුෂ නානායක්කාරල කියූ “සොනික්” “සොනික්” කවුරුන් වන්නට පුළුවන් ද ?

එදා අගමැති රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති ය. එදා මෙන්ම අදත් ඔහු රාජපක්ෂලා ආරක්ෂා කරයි. එසේ නම් කිසිවෙකුට තවත් සැක සංකා තිබිය නොහැක. මොවුන් සියල්ලෝම පාස්කු ප්‍රහාරයට අඩු වැඩි වශයෙන් වගකිව යුතු ය. ඔවුන්ට දඬුවම් දීමට ඔබට ලැබෙන අවස්ථාව එළඹෙන මැතිවරණයයි. ඔවුන්ගේ බලය අහෝසි කොට මහජන රජයක් පිහිටුවා ගැනීමට ඔබ අදිටන් කරගත යුතු ය. එවැනි රජයක් මොවුන්ට නිසි දඬුවම් දෙනු ඇත. රාජපක්ෂලා, වික්‍රමසිංහලා, සිරිසේනලා ඒ බව දන්නා නිසා පිස්සු විකාරයෙන් වේදිකාවේ බෙරිහන් දෙනවා ඔබ මේ දිනවල දකිනවා ඇති.

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් කවුද යන්නත් දැන් පැහැදිලි ය. මෙතෙක් වැලි තලාවේ සැඟවී තිබෙන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට පිල්ලෙයාන්ගේ ට්‍රිපොලී ප්ලැටූනයේ සම්බන්ධයක් තිබිය නොහැකි ද? කීර්තිමත් පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන් කී දෙනෙකු රාජපක්ෂලාගේ පැරා මිලිටරි කණ්ඩායම් විසින් ඝාතනයට ලක්වූවාද? කවදා හෝ ඔවුන්ගේ පවුල් වලට යුක්තිය හා සාධාරණත්වය ඉටුවිය යුතු ය.

මෙතරම් තොරතුරු තිබියදී නීතිය බලගන්වන ලංකාවේ පොලීසිය තවත් බලා සිටින්නේ මොනවාද? පැමිණිල්ලක් එනතුරු නොසිට වසා තිබෙන විමර්ශන ලිපි ගොනු නැවත විවෘත කල යුතුය. එසේ ඔවුන් කටයුතු නොකරන්නේ නම් කවදා හෝ එම නිළධාරීන් හටත් මේවාට උත්තර බැඳීමට සිදුවනු ඇත. සමහර විට වගකීම පැහැර හැරිය බවට චෝදනා ඔවුන්ටද එල්ල වනු ඇත.

චැනල් 4 එංගලන්තයේ රජයට අයිති රූපවාහිනී සේවයක්

චැනල් 4 නාලිකාව පිළිබඳව ලංකාවේ සමහර ජනයා අතර එතරම් ප්‍රසාදයක් නැත. එයට හේතුව රාජපක්ෂලා චැනල් 4 සම්බන්ධව ජනයා අතර ඇති කොට තිබෙන ආකල්පය යි. යුද්ධය පැවති සමයේ ඔවුන් විකාශය කල වීඩියෝ පට කිහිපයක් නිසා බහුතර සිංහල ජනයා එසේ සිතනවා වන්නට පිළිවන. කෙසේ වෙතත් , චැනල් 4 එංගලන්තයේ රජයට අයිති රූපවාහිනී සේවයක් බව කිව යුතුය. වෙනසකට තිබෙන්නේ, එම නාලිකාවට රජයේ අරමුදල් නොලැබීමයි. 2022 අප්‍රේල් 4 වන දා එවකට බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ලේකම් නඩීන් ඩොරිස් (Nadine Dorris) මෙම නාලිකාවේ අයිතිය වෙනස් කොට අනෙකුත් නාලිකා සමග තරඟකිරීමට එය පෞද්ගලීකරණය කිරීම සුදුසු බවට යෝජනාවක් ගෙන ආවේය. එහෙත් රටේ ජනයාගේ විරෝධය නිසා එම තීරණය පසුව වෙනස් කරගැනීමට රාජ්‍ය ලේකම් වරයාට සිදුවිය. අදටත් එය රජයේ ආයතනයක් හැටියට කටයුතු කරයි. https://commonslibrary.parliament.uk/research-briefings/cbp-9280/

පෙරෙයිදා නිකුත් වූ Dispatches වීඩියෝවේ අන්තර් ගතය බැහැර කල නොහැක. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට සැබෑ ලෙසම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය නම් රාජපක්ෂලාට විරුද්ධව ඇති වසා තිබෙන විමර්ශන ලිපි ගොනු නැවත විවෘත කොට නීතිය ක්‍රියාත්මක කල යුතු ය. සුරේෂ් සලේ ඔහුගේ තනතුරින් ඉවත් කොට ඔහුට ඇති චෝදනා සම්බන්ධව නිසි විමර්ශනයක් ආරම්භ කල යුතු ය. පිල්ලෙයාන්ට විරුද්ධව පැවති නඩු නැවත සක්‍රීය කල යුතු ය. ඔහුට විරුද්ධව කෙරෙමින් පැවති විමර්ශන නැවත ආරම්භ කල යුතු ය. එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහගේ සුපුරුදු කමිටු පත්කිරීම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ගන්නවා වැනිය. රනිල් වික්‍රමසිංහ කවරදාකවත් රාජපක්ෂලාට විරුද්ධවත් රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාට විරුද්ධවත් කිසිවක් නොකරන බව නම් කිව යුතුය. රන්ජන් රාමනායක වරෙක කියූ පරිදි ” ඔවුන් ඔක්කොම යාළුවෝ , මල්ලී” බව පැහැදිලි ය. එසේනම් අප එකතු වී මොවුන් කල වැරැදි සියල්ලටම දඬුවම් දීමට හැකියාව සහිත මහජන රජයක් බලයට පත්කර ගැනීමට කටයුතු කරමු. යුක්තිය හා සාධාරණත්වය රජයන විනය ගරුක රටක් ගොඩ නගමු.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
7.9.2023

Top