Featured

TNA අමු අමුවේ සංහිදියාව කඩද්දී මුණිවත රකින්නේ බලයට එන්න ඡන්දය දුන්න නිසාද?

දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රවරුන් අමු අමුවේ සංහිදියාව කඩද්දී මුණිවත රකින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී දැක්වූ සහයෝගයට ප‍්‍රති උපකාරයක් ලෙසදැයි ජනතාව තුළ සැක මතුව තිබේන බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු ප‍්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සදහන් කරයි.

2016.09.05
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රීක සමාජවාදී, ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය, කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කොටි ත‍්‍රස්තවාදය ශක්තිමත් කිරීමට විරෝධය පල කිරීම.

පසුගිය 29 වනදා යාපනය මහනුවර A9 මාර්ගයේ කනගරායන් කුලම ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබු බුදු පිළිම වහන්සේ දෙනමක් කිසියම් පිරිසක් කඩා බිද විනාශ කර තිබේ. මෙම විනාශය සිදුවන්නේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන හා බුදු පිළිම ඉවත් කළ යුතු බවට උතුරු පලාත් සභාව යෝජනා කීපයක් සම්මත කිරීමෙන් අනතුරුවය. මුලතිව් කෝකිලායි සම්බෝධි විහාරය ඉවත් කළ යුතු බවට පලාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් උතුරු පලාත් සභාවට යෝජනාවක් ගෙන ආ අතර සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා එය ස්ථීර කර තිබුණි. කිලිනොච්චිය මඩු ප‍්‍රදේශයේ තවත් බුදු පිළිම වහන්සේ නමක් ඉවත් කරන ලෙස යෝජනාවක් ගෙන ආවේ සුබ‍්‍රමනියම් පශුපතිපිල්ලේ පලාත් සභා මන්ත‍්‍රීවරයාය. කෙසේ වෙතත් මහනුවර ඒ-9 මාර්ගයේ කනගරායන්කුලම ප‍්‍රදේශයේ ස්ථාපනය කර තිබූ බුදු පිළිම වහන්සේලා දෙනම කිසියම් පිරිසක් විසින් විනාශ කිරීමෙන් පසුව එම ප‍්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා, කුරුසිට්ටිකුලම් අම්මාන් කෝවිලේ කුරුක්කල් තුමා සහ දෙමළ ජනතාව මැදිහත්ව බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයේ නැවත ස්ථාපිත කළ බව සඳහන්ය. ඒ සඳහා මැදිහත් වූ ආගමික නායකයන්ට හා ජනතාවට අපගේ ප‍්‍රසාදය පළ කරන අතරම බුදු පිලිම වහන්සේලා කඩා බිද දැමූ පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක නොවීම පිලිබදව කණගාටුව පල කරමු.

උතුරු පලාත් සභාව සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රවරු කොටි ත‍්‍රස්තවාදය පෝෂණය කරමින් සිටින බව ඔවුන්ගේම හැසිරීමෙන් සහ කි‍්‍රයා කලාපයන් තුලින් හොදින් පැහැදිලි වේ. උතුරු පලාත් සභාව මගින් පසුගිය කාලයේදී සම්මතකරගත් ඇතැම් යෝජනා බෙදුම්වාදය ශක්තිමත් කිරීම සදහා ඉවහල්ව තිබෙන බව රහසක් නොවේ. දෙමළ ජාතික සංධානය පසුගිය ජනාධිපතිවරණයේදී සෘජුවම පෙනී සිටියේ ඔබතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙනි. එලෙස ඔබතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයක් මෙලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණකි.

පසුගිය සතියේ ඔබතුමා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා තිබුණේ සංහිදියාව යන ප‍්‍රබුද්ධ වචනයට හානි නොකරන ලෙසය. සංහිදියාව ඇති විය යුත්තේ සංහිදියාව රැකගත යුත්තේ දකුණ පමනද. ඔබතුමාගේ ජයග‍්‍රහණය පිණිස කටයුතු කල දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රවරුන් අමු අමුවේ සංහිදියාව කඩද්දී මුණිවත රකින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී දැක්වූ සහයෝගයට ප‍්‍රති උපකාරයක් ලෙසදැයි ජනතාව තුළ සැක මතුවේ. සංහිදියාව රටතුල ඇතිකිරීමට ඔබතුමාට සැබෑ උවමනාවක් ඇත්නම් උතුරේ සිදුවන සංහිදියා විරෝධී කි‍්‍රයාදාමයන් නතර කිරීමට වහා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

එමෙන්ම පසුගියදා මැලේසියාවේ සංචාරයක නිරත වූ මහින්ද රාජපක්‍ෂ මහතා යාමට සිටි ක්වාලාලාම්පූර් සෙන්තුල් විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට කොටි ඩයස් පෝරාව පහර දී තර්ජනය කිරීමද මැලේසියානු තානාපතිවරයාට පහර දීමද අපි දැඩි ලෙස හෙලා දකිමු. රාජපක්‍ෂ මහතාට විරෝධය පල කිරීම මෙන්ම විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීමද තානාපතිවරයාට පහර දීමද සංවිධානාත්මකව සිදු කෙරුණකි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් පියවර ගත යුතුය.

කොටි ඩයස් පෝරාව පසුගිය කාලයේදී ජාත්‍යන්තර වශයෙන් වඩාත් ශක්තිමත් වෙමින් සිටින බව පැහැදිලිය. ඔවුහු ප‍්‍රභාකරන්ගේ ඡුායාරූප පෙන්වමින් අරමුදල් තර කරති. විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත වෙති. කණගාටුවට කරුණ වන්නේ ජාත්‍යන්තරය දිනාගත් බව පවසන ආණ්ඩුවක් බලයේ සිටියදී ජාත්‍යන්තර වශයෙන් කොටි ශක්තිමත් වෙමින් සිටීමය.

රටට එරෙහි තහනම් සංවිධානයක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් වෙමින් සිටින විට අපට මුනිවත රැකිය නොහැකිය. එබැවින් මේ පිලිබදව කඩිනම් අවධානය යොමුකර දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදුවෙමින් පවතින රටට අහිතකර කොටි කි‍්‍රයාකාරකම් නතර කිරීමට මැදිහත් වන්නැයි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට – විශ්වාසි

(ප‍්‍රසන්න රණතුංග)
ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර
එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු

Top