LNN SPY

TRC ලොක්කා මෛත්‍රී.. මාධ්‍යයට සීල් තියලා නවත්වන්න හදන්න එපා … ඇමති හර්ෂ ජනපතිට රිදෙන්න කියයි…

Published on: Jun 6, 2018- ජන මාධ්‍යයට තිබෙන අයිතිය මේ ආකාරයට සීල් තියලා නවත්වන්න හොඳ නැහැ. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි. ජනාධිපතිතුමාට මං මේ ගැන මතක් කරන්න කැමතියි. මොකද ඔහු යටතේයි විදුලි සංදේශ නියාමන කොමිසම තියෙන්නේ.. යැයි නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගු ප්‍රශ්නයකට ඇතිවු සංවාදයකදි නී.අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදි  ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවට අයත් සංඥා කුලුනකට විදුලි සංදේශ නියාමන කොමිසම මුද්‍රා තැබිම පිළිබඳව තමන් කණගාටු වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කර සිටියා.

‍පොල්ගහවෙල පිහිටි මෙම සංඥා කුලුනට ඊයේ දිනයේ මුද්‍රා තැබිමේ සිද්ධිය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියාගෙන් තමන් ඊයේ තොරතුරු විමසීමක් කළ බවද කීවේය.

විමල් වීරවංශ මහතා – අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් ටී.එන්.එල් රූපවාහිනී නාලිකාවේ ‍පොල්ගහවෙල පිහිටි සංඥා කුලුනකට ඊයේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මුද්‍රා තබා තිබෙනවා. මේ නාලිකාව මටත් මහින්ද රාජපක්ෂ මහතාටත් නිතරම ප්‍රහාර එල්ල කළ ආයතනයක්. නමුත් මාධ්‍ය නිදහස ගැන රස මසවුළු කතා කියමින් බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ මෙහෙම වෙන්නේ කොහොමද මේ ගැන ජනමාධ්‍ය ඇමැතිතුමා පිළිතුරු දෙයි කියා හිතනවා. මේ කටයුත්ත විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියාට පමණක් කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. ඊට ඉහළ කව්රු හරි මේකට නියෝගයක් දෙන්න ඕනා.

ඇමැති මංගල සමරවීර මහතා – මේ අවාසනාවන්ත සිද්ධිය ගැන මං දැන ගත්තේ මීට පැයකට පමණ කලින්. සැබෑ තොරතුරු නොදැන මේ ගැන කතා කරන්න බැහැ. ඒත් සිද්ධිය පිළිබඳව කනගාටුයි. තමන්ගේ සතුරාගේ අදහස් කොතරම් අමිහිරි වුවත් ඒවා ප්‍රචාරය කරන්න අයිතියක් තිබෙන්න ඕනා.

නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා – ජනමාධ්‍යයට තිබෙන අයිතිය මේ ආකාරයට සීල් තියලා නවත්වන්න හොඳ නැහැ. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි. ජනාධිපතිතුමාට මං මේ ගැන මතක් කරන්න කැමතියි. මොකද ඔහු යටතේයි විදුලි සංදේශ නියාමන කොමිසම තියෙන්නේ.

ඇමැති මංගල සමරවීර මහතා – සිරස රූපවාහිනී ආයතනය අපේ පක්ෂයට ඇති තරම් මඩ ගහනවා. අපේ නායකතුමාට මඩ ගහනවා. මට කොටළුවා කියනවා. අපට පුළුවන් වෙන්න ඕනා විවේචන විඳ දරා ගන්න. අපට මෙහෙම ගැහැව්වා කියලා අපි සිරස අයිතිකාරයා එක්ක තරහා නැහැ. අපේ මිත්‍රත්වය එහෙම්මම තියෙනවා.

විමල් වීරවංශ මහතා – ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතර තියෙන ගැටුමක ප්‍රතිඵලයක් මේ විදිහට එළියට එන්නේ කියලා අපට මේ දේවල්වලින් හිතෙනවා. එහෙම නම් ආණ්ඩුව කරගෙන යන්නේ අපිද කියලා හිතෙනවා.

මේ අතර අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාද සිය Facebook හි පහත සටහන තබා තිබුනා.

Top