Political

දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා භාරත තෙන්නකොන් මානව හිමිකම් කොමිෂන් සභාවට ලියයි….

Published on: Dec 17, 2019

2019 ක් වූ දෙසැම්බර් මස 16 දින දී ය
ටී. එම්.බී. එම්. පී. තෙන්නකෝන්
අංක 322, ස්වර්ණමාලි,
වැල්ලෑව, පොල්ගහවෙල’
කොමසාරිස්තුමා,
මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
කොමසාරිස්තුමනි,

දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා සිටීම,

1. අංක 322 ස්වර්ණමාලි වැල්ලෑව පොල්ගහවෙල ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ භාරත මාලින්ද ප්‍රභාෂණ තෙන්නකෝන් වන මා මාධ්‍ය වෘත්තිකයෙකු වන අතර නීතිවේදී උපාධිදාරියෙකි. එසේම දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාදරයෙකි.

මේ වන විට මහජන බැංකුවේ මාධ්‍ය කළමණාකරු ලෙස ස්ථීර සේවයේ නියැලී සිටින මා ඉන් පූර්ණ කාලීනව නිදහස් වී 2018 මැයි මස 30 වැනිදා සිට 2019 නොවැම්බර් 22 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළෙමි. ඊට පෙර මාධ්‍ය ආයතන හා වෙනත් ආයතන ගණනාවකම මාධ්‍ය සම්බන්ධ රැකියාවන්හි නියැලී සිටි මා, වසර දහ තුනක පමණ කාලයක් ලිපි රචකයකු, තීරු ලිපි රචකයකු, පූරකයෙකු හා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිෂ්පාදකයකු ලෙස අඛණ්ඩව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලමෙින් සිටිමි.

2. 2019 නොවැම්බර් 16 වැනිදා මෙරට පැවැත්වූ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීමේ මැතිවරණයේ දී, මෙරට පුරවැසියකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් මා වෙත හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් වන කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය අනුව, නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සහාය දැක්වීමි.

එහිදී මා ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රචාරණ ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ වෙමින්, ඩිජිටල් මාධ්‍ය කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් ද තරුණ හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වල කතිකයකු ලෙස කටයුතු කරමින් ද සමාජ මාධ්‍ය සදහා ලිපි සකස් කරමින් ද මාධ්‍ය සාකච්ඡා සංවිධාන කරමින් ද රූපවාහිනී වැඩසටහන් පූරකයකු ලෙස කටයුතු කරමින් ද මත හා අදහස් නිර්පාකයකු ලෙස ද මාගේ දායකත්වය ලබා දුන්නෙමි.

මැතිවරණය අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් වීය.

3. ජනාධිපතිවරණය අවසන් වීමෙන් සති තුනකට පසු, එනම් 2019 දෙසැම්බර් මස 11 වැනිදා සිංහලේ නම් ස්වයං ප්‍රකාශිත ජාතික සංවිධානයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පුද්ගලිකව මාගේ ජීවිතයට, ජීවත් වීමේ අයිතියට, පුරවැසියකු ලෙස කැමති තැනක වාසය කිරීමේ අයිතියට, කැමති රැකියාවක් කිරීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, සිතීමේ නිදහසට හා කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතියට දැඩි බලපෑමක් එල්ල කරමින් මා කෙරෙහි සමාජ වෛරය ඇති කිරීමේ, මා කෘෘර හා අවමන් සහගත සැලකීමකට පෙළඹවීමට සමත් හා මට විරුද්ධව අපරාධමය කටයුත්තක් සිදු කිරීමට යමෙක් පෙළඹවිය හැකි ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය.
එකි අදහස් දැක්වීමට පදනම් වී තිබුණේ කිසිදු සත්‍යතාවක්, පදනමක් හෝ හරයාත්මක ගැලපීමක් නොමැති කරුණකි. ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසු එම කරුණු අනාවරණ කරගත් බවයි.

කෙසේ නමුත්, එවැනි සංවිධානයකට නීතිමය වටිනාකමක් ගෙන දෙන හෝ ප්‍රත්‍යක්ෂ සත්‍යයක් යැයි කියා සිටිය හැකි නිගමනයක් ඉදිරිපත් කළ හැකි මට්ටමේ පරීක්ෂණ සිදු කිරීමට ඇති නීතිමය හෝ අධිකාරීමය බලය කුමක්දැයි ප්‍රශ්න සහගතය. බැලූ බැල්මටම පෙනී යන්නේ එම ප්‍රකාශය කිසි පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කරන්නක් නොව, හුදෙක්ම සිය දේශපාලන පසමිතුරකු වන්චනික ලෙස වරදක පටලා අත්තඩංගුවට පත් කර සිර කර පීඩනයට ලක් කිරීමේ කූඨ වුවමනාව මතම පමණක් සිදු කරන්නක් බවයි.

මාගේ ඒ විනිශ්චය තවදුරටත් සනාථ කරනුයේ, අදාල සංවිධානය එනම් සිංහලේ සංවිධානය වර්තමාන ජනාධිපතිවරයාට ඉතාම සමීපතාවක් දක්වන සංවිධානයක් වීම නිසාය.

4. එහිදී සිංහලේ නම් සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් භික්ෂුවක් වන මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි හා ප්‍රදීප් සංජීය නැමැත්තෙකු කියා සිටියේ, මා මෙරට සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදාල සිදු වීමට පෙර කරුණු දැන සිට ඇති බවයි. එසේම, ඊට අදාලව මා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවත් කියා සිටියේය. තොරතුරු දැන අනාවරණ නොකිරීමේ චෝදනාව මත මා කෙරෙහි මිනිමැරීමේ චෝදනාව ආරෝපණය කළ යුතු බවද කියා සිටියි. මේ වන විටත් අත්අඩංගුවේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ද ආරෝපණය කර ඇත්තේ එකී වරදමය. මෙම කරුණුම පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා මගින් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එකී මාධ්‍ය සාකච්ඡාව ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු ටීවී නාලිකාව 2019-12-11 දින පැය 1855 හා පැය 2155 යන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වලදී විකාශය කළේය. එම සත්‍ය නොවූ උපකල්පන මත පිහිටා කළ ප්‍රකාශය ප්‍රවෘත්තියක් ලෙස විකාශය වීමෙන් පසු එය පුද්ගලයින් තුළ මා කෙරෙහි කෝපයත් වෛරයත් ඇති කළ මගේ ජීවිතයට අවධානමක් ඇති කරන්නට තරම් ප්‍රබල විය.

5. එම අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවට පදනම් කරගෙන තිබුණේ 2019 අප්‍රේල් මාසයේ වෙනත් රටක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මා දැරූ පසු අදහසකි. එය නිරීක්ෂණික නිගමනයකි. සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලික නිගමනික මට්ටමේ අදහස් පලකිරීමේ මාධ්‍ය වෘත්තිකයින් විසින් නිරන්තරයෙන් සිදු කරන්නකි. එම සිදුවීමට අදාලව මා මෙන්ම ලෝකයේ බොහෝ මාධ්‍ය වෘත්තිකයින් ද ඒ සමාන අදහසක් දරා තිබිණි. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් ඒ ඒ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින්ගේ මත හා අදහස් ගෝලීයව ඉහළ අගයක් සහිතව පිළිගැනීමට ලක්වේ. ඒවා කිසි විටක අධිකරණ හමුවේ ප්‍රශ්නගත නොකරයි. නිදසුනක් ලෙස, නීතිවේදීන්ට නීතිය සම්බන්ධයෙන් ඇති ධනාත්මක විවේචන නීතිවේදීන්ගේ මත ලෙස සැලකෙනවා විනා අධිකරණයට අපහාස කිරීම මත කටයුතු නොකෙරේ. මාධ්‍යෙව්දීන්ද යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දක්වන අදහස් සැලකෙනුයේ එලෙසමය.

කෙසේනමුත්, මාගේ අදාල විෂයගත ප්‍රකාශය (ෆේස්බුක් ස්ටේටස්) හා මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධයක් ඇති දැයි 2019 මැයි / ජූනි මාස වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා, එකී විෂයගත ප්‍රකාශය හා සිද්ධිය යනු දෙකක් මිස එකක් නොවන බව වටහා ගැනීමෙන් හා සොයා ගැනීමෙන් පසු අදාල ගොනුව අවසන් කර තිබේ. ඒ සදහා පැය පහක පමණ දීර්ඝ ප්‍රකාශයක් මා වෙතින් ලබා ගත් අතර මාගේ දුරකතන හා වෙනත් තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. මා කෙරෙහි කිසි සැකයක් හෝ ආරෝපණය නොකර ගොනුව අවසන් කරන්නේ ඉන් පසුවය.

6. සිංහලේ නම් සංවිධානය විසින් අවසන් කරනු ලැබූ කටයුත්තක් සම්බන්ධයෙන් ජනාධිපතිවරණය අවසන් වූ පසු හදිසියේම පදනම් විරහිත ලෙස චෝදනා එල්ල කරනුයේ එවැනි පසුබිමකය. අදාල සංවිධානය අවසන් වූ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ, දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහාය හා ආශිර්වාදය මැද හැදී වැඩුණු සංවිධානයකි. ඉතිහාසය පුරාම රාජපක්ෂවරුන් ප්‍රශ්න කරන කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ සංවිධානයකි.

තවද, වර්තමාන අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතාගේ සමීපතමයින් වන අදාල සංවිධාන සාමාජිකයින් සදහා විමල් වීරවංශ මහතා විසින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනු දක්නට ලැබේ. සංශිප්තව කියන්නේ නම් සිංහලේ සංවිධානය යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට අනුබද්ධිත සංවිධානයකි.

7. මා ඉලක්ක කර මෙවැනි කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් දියත් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වූ පසුව ද ඔහුගේ ප්‍රතිපත්ති, වැඩපිළිවල හා ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයන් පිළිබද විවේචන එල්ල කළ යුතු තැන්වලදී අඛණ්ඩව විවේචනය කරමින් සිටීම නිසා බැව් වැටහේ. මට පමණක් නොව, එලෙස අඛණ්ඩ විචාරයේ නියැලෙන සියලු දෙනා පාහේ විවිධ ස්වරූපයන්ගෙන් හීලෑ කිරීමට ඔවුහු කුමන්ත්‍රණය කරමින් සිටිති.

මෙම සංවිධානය මා ඉලක්ක කරමින් මෙලෙස අභූත චෝදනා නගමින් මා වෛරීසහගත ලෙස අත්තඩංගුවට ගෙන මා කෙරෙහි මිනී මැරීමේ වරද ආරෝපණය කළ යුතු යැයි පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමේ රාජපක්ෂවරුන්ගේ උවමනාව සාක්ෂාත් කිරීම පිණිස බව පෙණේ. එමගින්, වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව සම්බන්ධයෙන් මා හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන විරෝධය හෝ විවේචන සම්පූර්ණයෙන්ම පාහේ නවතා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ සදහා සමාජයීය වශයෙන් බලපෑමක් කළ හැකි ශක්‍යතාවක් ඇති පුද්ගලයින් අසත්‍ය හා පදනම් විරහිත නඩුහබ වල හෝ වෙනත් අර්බුදවල පටලවා වෙහෙස ගැන්වීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

8. එකී පුද්ගලයින්ගේ මෙකී තර්ජනාත්මක හැසිරීම හේතුවෙන් ගැබිණියක් වන මාගේ බිරිද මහත් කම්පාවට හා පීඩාවට පත්ව තිබේ. එසේම, ඇගේ ජීවිතයට ද නූපන් දරුවාගේ ජීවිතයට ද විශාල තර්ජනයක් එල්ල වී තිබේ. බිරිදට රැකියාව කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඇය වෘත්තීමය සීමාව තුළින් පීඩාකාරීභාවයට ලක් කරමින් සිටියි. එම පීඩාව දරා ගැනීමට නොහැකි මගේ බිරිද මේ වන විට රැකියාවට යාමට ද නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. මෙම භීතිය හා කම්පනික බව යළි යළිත් මාගේ නූපන් දරුවාගේ ජීවිතයට එල්ල කරන බලපෑම කොතෙක්දැයි මට කියා සිටිය නොහැක.

නිල ඇදුමෙන් සැරසී සිටින පොලීස් නිලධාරීන් හා පොලීසිය යැයි කියා ගන්නා පුද්ගලයින් වරින් වර මාගේ නිවසට ගොස් අප සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ. එමගින් මගේ දෙමව්පියන් හා පවුල්වල සාමාජිකයින් දැඩි භීතියට පත්ව සිටියි. වත්මන් ආණ්ඩුව තමන්ට හිතවත් සංවිධාන හා තමන්ට හිතවත් මාධ්‍ය භාවිත කරමින් පීඩාවට හා තර්ජනයට පත් කරමින් සිටින්නේ ස්වකීය ඍජු දේශපාලන එදිරිවාදීන් පමණක් නොව, ඔවුනොවුන්ගේ සියලු ඥාතී හිතමිත්‍රාදීන් ද ඔවුන්ගේ පළිගැනීමට ලක්වන බවට මෙය කදිම නිදසුනකි.

9. මහජනයා වෙත යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවක් වන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මාගේ පූර්ණ විශ්වාසය තබමින් මම මාගේ දුක්ගැනවිල්ල, පැමිණිල්ලක් හා යුක්තිය පැතීමක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමි.

මෙතැනින් නොනැවතී තවදුරටත් මා කෙරෙහි මර්ධනය මුදා හැරීම සදහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි බවත් විශ්වසනීය ආරංචි අනුව මට හැගේ. එය මට මෙන්ම සියලු විවේචකයින්ට පොදු ඉරණමක් වීම වැලැක්විය හැක්කේ ඔබ කොමිෂන් සභාවට පමණක්ම බැව් විශ්වාසයයි

10. ඒ අනුව මාගේ මේ පැමිණිල්ල සලකා බලා විධිමත් පරීක්ෂණයක් පවත්වා,

අ. වර්තමාන පාලනයට ඉතා සමීප හා නිරන්තරයෙන් එම පාලකයින්ගේ ආශිර්වාදයට හා අනුග්‍රහායට පාත්‍රවන සංවිධානයක් වන සිංහලේ නම් සංවිධානයක් විසින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උවමනාව මත මා කෙරෙහි ජීවිත තර්ජනය ඇතුළු තවත් අගතිගාමී හානීන් ගණනාවක් ඇති කිරීමට සමත් ආණ්ඩුවේ මෙම හැසිරීම සම්බන්ධයෙන් වහාම මා කෙරෙහි සාධාරණයක් ඉටු කරන ලෙස ද

ආ. ආණ්ඩුවේ අනුග්‍රහාය ඇති සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන මෙවැනි කූඨ කටයුතු හේතුවෙන් අගතියක් සිදු විය හැකි මා හා මගේ පවුලේ සාමාජිකයින් කෙරෙහි ආරක්ෂාව සලසන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ද

ඇ. අසත්‍ය තොරතුරු ලබා දෙමින් පුද්ගලයින් කෝපයටත් කලහයටත් යොමු කරන මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස ඊට අදාල අධිකාරීන්ට නියෝග කර ලෙස ද

ඈ. මා ගරු කරන හෝ විශ්වාස කරන දේශාපලන මතයක් දැරීම හේතුවෙන් අසත්‍ය හා පදනම් විරහිත කරුණු මූලික කරගත් පොලිස් පැමිණිලි ඉදිරිපත් කර මා අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගෙන මා කෙරෙහි සාවද්‍ය ලෙස, මිනී මැරීම වැනි වරදක් ආරෝපණය කර මරණීය දණ්ඩනය හෝ ඒ හා සමාන වෙනත් යම් දඩුවමක් ලබා දෙමින් දේශපාලනිකව මා කෙරෙන් පළිගැනීමට දරණ ප්‍රයත්නය වහාම වලක්වාලන්නට අවශ්‍ය කටයුතු සලස්වන ලෙස ද

ඉ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගොලීය සංවිධාන විසින් පිළිගෙන ඇති නමුත්, යට කී දුක්ගැනවිල්ල සලකා බැලීමේ දී මා කෙරෙන් අහිමි වී ඇතැයි හෝ එසේ වීමට ආසන්න වී ඇතැයි කොමිෂන් සභාව විසින් නිශ්චය කරන දේ සම්බන්ධයෙන් මා කෙරෙහි යුක්තිය ඉටු කරන ලෙස ද

ඊ. මට හා මගේ පවුලේ සාමාජිකයින්ට සිදු වූ මානසික කම්පනයන් සදහා සුදුසු වන්දියක් ගෙවන ලෙස නිසි ආයතනයන්ට නියෝග කරන ලෙස ද

උ. මෙකී තර්ජනය හේතුවෙන් මා හා මගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිදු වූ රැකියා අහිමි වීම ඇතුළු ආර්ථිකමය හා සමාජයීය හානි යළි පූර්ණය කරන ලෙස ඒ ඒ අධිකාරීන්ට විවෘත නියෝගයක් කරන ලෙස ද

මම, මෙම කොමිෂන් සභාවෙන් ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටිමි.මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහාය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි,

අත්සන් කළේ
ටී.එම්.බී.එම්.පී. තෙන්නකෝන්

පිටපත් –
1. පොලිස්පති – අවශ්‍ය කටයුතු සදහා
2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම – දැ.ගැ.පි. (පරිවර්තනය)
3. සියලු තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් – දැ.ගැ.පි. (පරිවර්තනය)

Top