LNN SPY

මහින්දගේ පත්විම කතානායක අවලංගු කරයි… ජනපති ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අයෙක්.. කතානායක නිළ නිවේදනය මෙන්න

Published on: Nov 5, 2018 – පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කිරිමත් සමග පසුගියදා ජනාධිපතිවරය ඉදිරියේ අග්‍රාමාත්‍ය වරයා වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පත්විම තවදුරටත් වලංගු නොවන බව නීති විශාරදයන් පෙන්ව දෙනවා.

කල නිවේදනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිවිරෝධීව පත්කල ඇමති මණ්ඩලය සහ කැබිනෙට්ටුවද අක්‍රීය වන බවයි ඔහුන්ගේ අදහස වන්නේ.

ඒ අනුව තවදුරටත් නව අගමැතිවරය පත්කිරිමට පෙර පැවැති තත්ත්වයම පවතින් අතර 14 වැනිද පාර්ලිමේන්තුව විවෘතව කිරිමෙන් පසුව ව්‍යවස්ථානුකූලව කටයුතු කරමින් බහුතරය පෙන්වා මහින්දට අගමැති ලෙස පත්විම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

කතානායක වරයා නිකුත් කල නිළ නිවේදනය පහතින් දක්වා ඇත.

අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.

එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.

මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.

එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.

අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.

අවසානවශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවියයුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.

කරු ජයසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Loading…

Top