LNN SPY

මහින්දගේ හිතුවක්කාර වැඩ වලින් මැතිවරණ කොමිසම අවුල්! ඇල්පිටිය ඡන්දය, ITN තහනම තනි තින්දුවට! මහින්ද නටන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුවයි!

Published on: Nov 6, 2019- ජාතික මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයාගේ හිතුවක්කාර ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය තර්ක සහිතව මාධ්‍යවේදී හා දේශපාලන විචාරක කුසල් පෙරේරා කොමිසමට ලිපියක් යොමුකර තිබේ.

 

2019 නොවැම්බර 05 වන දින

සභාපති,

ජාතික මැතිවරණ කොමිසම

මැතිවරණ ලේකම් කාර්යාලයය

රාජගිරිය.

සභාපති තුමනි,

මැතිවරණ කොමිසම සහ ඔබ පක්ෂග්‍රාහි යැයි වන චෝදනා සඳහා ඔබෙන් පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි

  ඊයේ දින “බිරං බැක් ගෝඨා” නමින් වන “ට්විට” පණිවුඩයක් මගින් මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් නොවේ යැයි විවෘතව චෝදනාකර තිබිණ. එම ට්විට ගිණුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය ජාල කලමනාකරණ කණ්ඩායම විසින් පවත්වා ගනු ලබන්නක් යැයි පිළිගැනෙන අතර, එහි මැතිවරණ කොමිසම් සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඉලක්ක කර තිබූ ජාතිවාදී ස්වරූපය නිසාද එය එසේ යැයි සිතමි. එහි තිරයේ ඡායාරූපයක් මේ සමග යා කර ඇත.

කෙසේ නමුත් මහාචාර්ය හූල් එසේ ඉලක්ක වන්නේ ඔබ ස්වාධීන රූපවාහිනි නාලිකාවේ (ITN) දේශපාලන සාකච්ඡා සහ මැතිවරණ වැඩසටහන් පිළිබඳව ලිඛිතව පැනවූ වාරණය, කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් නොවන්නේ යැයි ඔහු පසුගිය ඉරිදා මාධ්‍යයට පැවසූ පසුවය. ඔහුට අනුව, එයට අදාල කිසිවක් කොමිසමෙහි සාකච්ඡා නොවුනු අතර, එම වාරණ ලිපිය ඔබගේ හිතුවක්කාරී පියවරකි. ඊට එරෙහිව නැගුණු දෝසාරෝපණ හමුවේ ඔබට ඔබගේ වාරණ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට සිදු වූවත්, හිතුවක්කාර තනි තීන්දු ගන්නේ යැයි ඔබට එරෙහිව නැගෙන චෝදනාවෙන් ඔබ නිදහස් වන්නේ නැත.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඒකමතිකව තීන්දු ගත නොහැක්කේ නම් කොමිසම විසින් තීන්දු ගත යුත්තේ වැඩි ඡන්දයෙනි. එහෙත් ඔබ කොමිසමෙහි කිසිදු සාකච්ඡාවක් නොකර තීන්දු ගත් පළමු අවස්ථාවද ස්වාධීන රූපවාහිනි නාලිකාවට එරෙහිව ගත් පියවර නොවන්නේ ය. මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින තීන්දු කරනු ලැබුවේද කොමිසමෙහි සාකච්ඡා නොකර යැයි චෝදනා නැගිණ.

එවගේම, ඔබ විශේෂයෙන් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය වෙත කිසිදු අවධානයක් යොමු නොකොට, ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීමට කොමිසම සතු බලයක් නැති ලෙස හැසිරෙන්නේද ඔබගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව යැයි මම චෝදනා කරමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි ගේ ප්‍රකාශයක් අමු අමුවේ විකෘතකර ඔහු සමාජය හමුවේ සිංහල බෞද්ධ විරෝධයකටද නතු වන අයුරින් “හිරු” රූපවාහිනි නාලිකාව විකාශනය කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඔබ කිසිදු පියවරක් ගෙන නැත.

එනිසා මැතිවරණ කොමිසම විසින් මාධ්‍ය සඳහා නිකුත් කර ඇති අවුල් සහගත සහ ප්‍රමාණවත් නොවන උපමාන සකස්කර ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදනය වෙත ඔබගේ අවධානය නැවත යොමු කරන්නට කැමැත්තෙමි.

“23(5)(අ) ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම විෂයෙහි ලා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සඳහා අවශ්‍ය යයි කොමිෂන් සභාව විසින් සලකනු ලබන උපමාන, අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාව විසින් උචිත යයි සලකනු ලබන යම් ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවයක් පවත්වා ගෙන යන්නකු හෝ යම් ප්‍රවෘත්ති පත්‍රයක අයිතිකරුවකු හෝ ප්‍රකාශකයකු වෙත කලින් කල නිකුත් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබිය යුත්තේ ය.

කිසිම අයුරකින් මෙම ප්‍රතිපාදනය රාජ්‍ය මාධ්‍යයට සීමා වන්නේ යැයි හෝ පෞද්ගලික මාධ්‍යයට අදාල නොවන්නේ යැයි හෝ ඇඟවීමක් මෙහි නැත. එහි කියවෙන්නේ මාධ්‍ය අයිතිකරුවන් පිළිබඳව ය. නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීම සහතික කිරීම වෙනුවෙන් අවශ්‍ය ලෙස සියලු මාධ්‍ය නියාමනය කිරීමට කොමිසමට බලය ඇත. එවැනි නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමේ වගකීම පවරා ඇති මහජන මුදලින් නඩත්තු කෙරෙන ජාතික කොමිසමක සභාපතිට එරෙහිව හේතු සාධක සහිත මෙවැනි චෝදනා දිගින් දිගටම එල්ලවීම අවසානයේ මැතිවරණ ප්‍රතිපල පිළිබඳවද බරපතල සැකයක් මතු කරන්නට හේතු වන්නේ යැයි මම ඉකුත් ඔක්තෝම්බර 20 වන දින ඔබ වෙත යොමු කළ ලිපියෙහිද සඳහන් කළෙමි.

එබැවින් (1) ස්වාධීන රූපවාහිනි නාලිකාව (ITN) වෙත ලිඛිතව පැනවූ වාරණය ඔබගේ හිතුවක්කාර තනි තීන්දුවක් යැයි වන බරපතල චෝදනාවටත් (2) රාජ්‍ය මාධ්‍ය වෙත ඔබ පනවන තහංචි සහ බලපෑම් පෞද්ගලික මාධ්‍ය සඳහා අදාල නොකර ගන්නේ මන්දැයි යන්නටත් වහා පිළිතුරු දෙන මෙන් මෙයින් ඉල්ලමි.

එහිදී පැමිණිලි ලැබෙන්නේ නම් පමණක් කටයුතු කළ හැකිය වැනි වගකීම් විරහිත පිළිතුරු බාර ගැනීමට සූදානම් නොමැති බවද කාරුණිකව මෙහි සටහන් කරමි.

ස්තුතියි.

මෙයට විශ්වාසී,

මාධ්‍යවේදී හා දේශපාලන විචාරක

කුසල් පෙරේරා

Top