Breaking
6 Feb 2025, Thu

අර්බුදය හමුවේ මර්ධනය ආයුධය කරගෙන …. පෙරටුගාමීන්ට එල්ල කල ප්‍රහාරය ගැන මංගලගෙන් නිවේදනයක්! වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර පිළිකුලෙන් හෙළා දකිමු!

Published on: Jun 10, 2020- අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා.

ඒ මහතා නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ….

වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර
පිළිකුලෙන් හෙළා දකිමු!

ඊයේ (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මිනිස් වර්ගවාදයට එරෙහිව සිදුකරන ලද උද්ඝෝෂණයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය නිල ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද අමානුෂික පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

මේ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපද පොලිසිය විසින්  ඉතා අමානුෂික වද දීම හරහා පසුගියදා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම හේතුකොට ගෙන ලොව පුරා වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ සාමාකාමී උද්ඝෝෂණ සිදුවෙමින් පවති. එසේම වර්ගවාදය පෝෂණය කරන හෝ මිනිස් වර්ගයාගේ සහජීවනය අගය නොකරන මිනිස් ප්‍රතිරූප එවැනි ප්‍රජාතාන්ත්‍රීක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට කටයුතු කරමින් ද සිටියි.

ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමකි. එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමකි. එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිලක්ෂණයක් බව පැහැදිලිය.

පසුගිය කාලය පුරා මේ රටේ නීතිය නැමීමක් පිළිබඳ මතවාදයක් සිය ප්‍රචාරණ ව්‍යපෘතියක් ලෙස භාවිත කළ රාජපක්ෂවරු බලයට පැමිණි පසු මේ රටේ නීතිය විහිළුවක් බවට පත්කර ඇත. රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් නීතිය යොදාගනිමින් සිටී. එය කොවිඩ් 19 වෛරසයට මුවා වෙමින් නීතිය භාවිත කළ ආකාරය විමසා බැලීමෙන් පමණක් වුව පැහැදිලි කරගත හැක.

එක් වරෙක පවුලේ කිසිවකුට සිය ඥාතියාගේ ‘මරණය‘ බලන්නවත් අවසර නොදුන් ආණ්ඩුව තවත් විටෙක උත්වශ්‍රීයෙන් රට පුරා ප්‍රදර්ශනය කරමින් ‘මරණය‘ නිර්ලජ්ජිත ලෙස මනාපකරණය කළ අයුරුද කියා පාන්නේ අද නීතිය ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බවය. එය මේ රටේ සියලු පුරවැසියන් ඉතා හොඳන් දනී.

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැත. වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද  පුරවැසි අයිතියක් බව මේ ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතු නැත.

අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බවත් අවධාරණය කරමු.

මංගල සමරවීර
2020-06-10

Mangala Samaraweera

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.