LNN SPY

එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති සටනට “සජිත්” … පෙරමුණ සමග සාකච්ඡාවට කමිටුවක්! .. උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක්- සජිත් 

Published on: Sep 11, 2019 – එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී10.00ට පමණ ආරම්භවූ සාකච්ජාව සාර්ථකව නිමාවු අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ. ඒ සදහා රනිල් වික්‍රමසිංහ කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර එනම් තමන් (රනිල්) අගමැතිවරයා ලෙස පත්කරන බව ප්‍රසිද්ධ කරන ලෙසයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂ සමග එකඟත්වයක් ඇති කරගැනීමට කමිටුවක් පත කිරිමට අගමැතිවරයා තින්දු කර තිබේන අතර මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න හා අගමැතිවරයාගේ නියෝජිතයකු එම කමිටුව වෙනුවෙන් පත්කර තිබේ.

එම පක්ෂ වල අනුමැතිය මත මෙම සති අන්තයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක්- සජිත් 

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක් බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩි දුරටත් සාකච්ජා වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.

Top