Breaking
7 Mar 2025, Fri

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති,මන්ත්‍රීවරුන්, නිලදාරින් එකට ගේම ගහලා… රුපියල් කෝටි 06ක් පිල්ලි ගසා අතේ මාට්ටු

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සිදුකර ඇති අක්‍රමිකතා පිළිබඳ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැමිණිලි අංක ACC/FC/2016/564 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගිවිසුම් ප්‍රකාරව නියමිත දිනට ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වීම මත අදාල කොන්ත්‍රාත්තුකරු විසින් නගර සභාවට ගෙවිය යුතු රුපියල් කෝටි 06කට අධික ප්‍රමාද ගාස්තු අය කරගැනීමට එම සභාව කටයුතු නොකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇති බව සඳහන් කරමින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

රුපියල් මිලියන 869කට ඇස්තමේන්තු කරන ලද කොළඹ නගර සභාවේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ගිවිසුම් ගත දිනට (2015.10.31) අවසන් කර භාරදීමට නොහැකිවීම මත ගිවිසුමට අනුව කොන්ත්‍රාත්තුකරු ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට රුපියල් තුන්ලක්ෂ පනස් හයදහස් එකසිය හැත්තෑ හයයි සත නවයක් (රු. 356,176.09) බැගින් පැමිණිල්ල සිදු කරන කාල සීමාව වනවිට රුපියල් කෝටි 06කට අධික මුදලක් සභාවට ගෙවිය යුතුව තිබියදී ඒ මුදල අය කර ගෙන නොමැති බව සහ එම ටෙන්ඩරය මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා සභිකයින්ගේ යෝජනා ස්ථිරත්වයක් මත සිදුවූ බවට පැමිණිල්ල මගින් දැක්වේ.

කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාද ගාස්තු අයකරගැනීමේ අවශ්‍යතාවය නගරාධිපතිට හා නාගරික මන්ත්‍රීවරුන්ට පෙන්වා දීමට නාගරික කොමසාරිස් හා අදාල නිලධාරින් නිසි පියවර ගෙන නොමැති අතර නාගරික භාණ්ඩාගාරික විසින් පෙන්වා දෙන ලද කරුණුද නගරාධිපතිවරයා හා සභිකයින්ගේ යෝජනා සම්මතයේදී සැලකිල්ලට ගෙන නොමැත.

එතරම් පාඩුවක් සිදුවෙමින් තිබියදීද මෙම ඉදිකිරීම සඳහා තවදුරටත් කල්දීම නොකළ යුතු බවට 2016.02.19 දිනැති නාහ/පාලන/නව.ගො/2016 යන ලිපියෙන් නගර සභාවේ භාණ්ඩාගාරික දක්වා ඇති කරණු කිසිදු නිලධාරියෙකු විසින් සැලකිල්ලට ගෙන නැති බව පෙනේ.

එම කල්දීම එකම කල් දීම නොවන අතර 2015.12.31 දක්වාත් 2016.01.31 දක්වාත් 2016.02.12 දක්වාත් 2016.05.18 දක්වාත් සහ පැමිණිල්ල සිදුකරන කාල සීමාව වනවිටත් ඉදිකිරීම සඳහා කල් දීම් කර ඇති අතර ඒ කල් දීම්වලට සාධාරණ හේතු නොතිබූ බවට පැමිණිල්ලෙහි දැක්වේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව රජයේ අමාත්‍යංශ ඇතුළු වෙනත් ආයතනවලට ඉදිකිරීම්වලදී නියමිත මූල්‍ය සීමාව රුපියල් මිලියන 500ක් වන අතර ඉන් ඉහළට බලය ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරෙන ප්‍රසම්පාදන කමිටුවකටය. එබැවින් රුපියල් මිලියන 869ක් වන මෙම ඉදිකිරීම මහ නගර සභාවේම සම්මතය අනුව ඉටු කිරීමට මහ නගර සභාවට බලතල නොමැති බව පෙනේ. 1989.01.20 දිනැති ගැසට් පත්‍රයේ V කොටසේ දැක්වෙන පරිදි “සෑම කොන්ත්‍රාත්තුවක්ම ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල විය යුතුය” යනුවෙන් දක්වා තිබීම අනුව මෙහි ශ්‍රී ලංකාවේ නීතිය ලෙස සලකනු ලබන්නේ රජයේ ප්‍රසම්පාදන උපදෙස්ය. එසේ වුවත් ඒ ගැන නොසලකා මහ නගර සභාවට අසීමිත බලයක් ඇති සේ සලකා ක්‍රියා කර ඇති බව පැමිණිල්ල අනුව පෙනී යන බව දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය උක්ත ලිපිගොනුව මගින් දක්වා ඇත.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශනවලට අනුව මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වටිනාකම අනුව සලකනවිට සැලසුම් කිරීම, ප්‍රමාණ බිල්පත් සැකසීම, ටෙන්ඩර්කරුවන්ගේ පූර්ව සුදුසුකම් පරික්ෂා කිරීම ආදියට සති 40ක්ද, ටෙන්ඩර් ලියවිලි ඉදිරිපත් කිරීම හා තෝරා ගැනීමට සති 52ක්ද දිය යුතු අතර ඉදිකිරීම සඳහා පමණක් සති 80ක් ලබා දිය යුතුය. එහෙත් මෙහිදී එම පූර්ව ප්‍රදාන කටයුතුවලට කුමන කාලයක් තිබුනේද යන්න පැහැදිලි නැති අතර ඉදි කිරීමට දී ඇති කාලය සති 28කි. මෙය අසාමාන්‍ය තත්වයක් වන අතර කඩිනමින් ඉදිකිරීමට මිළ ගණන් ඉදිරිපත් කිරීමේදී අධික රේට් මත ටෙන්ඩර් ඉදිරිපත් වන නිසා ඒ අනුව අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එක් අතකින් කෙටි කාල සීමාවකදී නිම කිරීමට වැඩි රේට් මත කොන්ත්‍රාත්තුව භාරගනිමින්ද අනෙක් අතට එම කෙටි කාල සීමාව ඉක්මවා ගොස් සාමාන්‍යයෙන් ගත වන කාලයටත් වඩා වැඩි කාලයක් ගනිමින්ද ක්‍රියා කර ඇති නිසා නගර සභාවට විශාල පාඩුවක් සිදු කර ඇති බවත් කොළඹ මහ නගර සභාව මෙම වංචාවට හසුවී ඇති බවත් එසේම ඒ සඳහා ඉඩ සැලැස්වීමෙන් නගර සභාවේ නගරාධිපති හා අනෙකුත් මන්ත්‍රීවරුන්ද මෙම වංචාවට හවුල් වී ඇති බවත් පැමිණිල්ල සම්බන්ධ මූලික විමර්ශනවලදී දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය නිරීක්ෂණය කර තිබේ.

මෙමගින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, සභිකයින් හා නිලදාරින් විසින් සිදුකර ඇති වංචා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සහ යම් අයථා මුදල් ඉපයීමක් හෝ මූල්‍ය විශුද්ධිකරණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකිරීමට මෙම පැමිණිල්ල දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත 2016.12.26 වන දින යොමු කර තිබුනද මේ දක්වා සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය වාර්තා නොවේ.

ලංකා ටෘත්

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.