LNN SPY

ගේම් පිට ගේම් අස්සේ කරු ජනපති සටනින් පසුබසී……. ජනපති අපේක්ෂකත්වය අතහැරීමට කරු සූදානම්……..

Sep 20, 2019 – එළඹෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකත්වය අත හැරීමට තීරණය කොට තිබෙනවා.

කරු ජයසූරිය ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් විය යුතුය යන මතය මහා සංඝරත්නය හා සිවිල් සමාජ හරහා කරලියට ගෙන එමින් ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයම වන අතර එය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් අබරනු ලැබු බාල වර්ගයේ ගුලියක් බවට මේ වන විට පත් ව තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනට අවතීර්ණ වීම වැළැක්වීමට තමන් සතු සෑම තුරුම්පුවක්ම ගසමින් සිටින එජාප නායකත්වය හා නඩය ඊයේ (19) හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා සිය බලගතු තුරුම්පුව යැයි විශ්වාස කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එය අනුමත කර ගැනීම අපේක්ෂා කළ අතර ඒ සියල්ල කනපිට පෙරළුණේ එක්සත් ජාතික පෙරමුණේ සියළුම පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ බහුතර අමාත්‍යවරුන් එයට සිය විරෝධය ප්‍රකාශ කිරීම සමඟය.

එම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රාවුෆ් හකීම් හා මනෝ ගනේෂන් වැනි අමාත්‍යවරුන්ගෙන්ද අගමැතිවරයාට හිමි වුණේ සුළු පටු දෝෂාරෝපණයක් නොවේ. සිය දේශපාලන ජීවිතයේ ඔහු එක් රැස් කරගත් සියළු ගෞරවයන් ඊයේ ක්ෂණිකයෙන් අගමැතිවරයාට අහිමි කිරීමට තරම් ඔහුගේ එම කුහක, අශීලාචාර, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා කලාපය හේතු වූ බව නොරහසකි.

තත්ත්වය මෙසේ වෙද්දි මේ සියල්ල පිටුපස ඇත්තේ තමන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම කෙරෙහි වන අප්‍රසාදය බවත් අගමැති තමන් ලවා කොස් ඇට බාවා ගැනීමට ක්‍රියා කරන බවත් අවබෝධ කරගනිමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉදිරිපත් නොවන බවට කරු ජයසූරිය තීරණය කොට ඇති අතරම ජනතාව තුළින් එල්ල වන ප්‍රතිකේෂ්පයට ගරු නොකරන්නේ නම් ඇපත් අහිමි වන බවට වන යථාර්ථයද ඔහු තේරුම් ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට කතානායකවරයා සිය ස්ථාවරය අගමැතිවරයා වෙත දන්වා ඇති අතරම ඉදිරියේදි එය නිලවශයෙන් ජනතාව වෙත ප්‍රකාශ කිරීමට සූදානම් වන බව ද අපගේ දේශපාලන වාර්තාකරු සඳහන් කොට සිටියා.

Top