Breaking
23 Feb 2025, Sun

ගෝඨාභයගේ ආණ්ඩුව දුර්වල කරන්නෝ මෙන්න… ගෝඨාභයට සම්පුර්ණ සහාය දෙන්නේ ශ්‍රී ල නි පය පමණයි.. ගෝඨාට එරෙහි පොහොට්ටුවේ කුමන්ත්‍රණය ගැන මහාචාර්ය නලින්ගේ විග්‍රහය..

Published on: Dec 18, 2019- අද ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව දුර්වල කෙරෙන ක්‍රියාවක් පැතිර යනවා. මෙයට බැසිල් සම්බන්ධයි. එහෙත් ඔහු රටේ නැති බවයි ආරංචිය. මේ ක්‍රියාව අනෙකක් නොව මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට කෙරෙන ඉල්ලීමයි. මෙය භයානක වැඩක් බව බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා මත ප්‍රසිද්ධ වේදිකාවල පොහොට්ටුවෙන් තරග කළ යුතු බව කියැවෙනවා. මේ ගැන මහින්ද මොකද කියන්නෙ.

අද ජාතික ව්‍යාපාරයේ ඉන්න අනෙක් අයගේ මත ප්‍රකාශ කරන භවතකුට අනුව ශ්‍රී ල නි පක්‍ෂය ඉවර කරන්න ඕන. ඔහු එක් එක් දින එක් එක් මත ප්‍රකාශ කරනවා. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් තිබුණා. එය කවන්ධයක් නො වෙයි. එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස 1952න් පසුව පෙළ ගැසුණා. ජාතිකත්වයක් ඇති පක්‍ෂයක් කවන්ධයක් නො වෙයි. ඊනියා ගැමි උගත් තරුණයන්ගෙන් ජාතිකත්වයක් බලාපොරොත්තු වූ අයකුට නම් හිසක් තිබේ ද කියා ප්‍රශ්න කරන්න පුළුවන්.

අද ලෝකයේ ජාතිකවාදී පක්‍ෂ ජයග්‍රහණය කරනවා. මා ඊයේත් පෙරේදාත් එංගලන්තය සම්බන්ධයෙන් ඒ බව ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බිරිතානි අගමැති ජොන්සන්ට සුබ පැතුම් පණිවුඩයක් යවමින් කියා ඇත්තේත් දේශීයත්වය මත පදනම් වූ පාලනයකට ඇති නැඹුරුතාව ගැනයි. අප ඒ සුබ පැතුම අගය කරන්න ඕන. එහෙත් එංගලන්තයේ ඊනියා ජාත්‍යන්තරවාදීන් ජොන්සන්ට විරුද්ධ ව පෙළපාලි ගිහින්. ඔවුන් ජොන්සන් අගමැති ලෙස පිළිගන්නෙ නැතිලු. ඒක ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න ඇති. නරක ද කෝබින්ට කිවුව නම් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්න ඉදිරිපත් වෙන්න කියල.

මා ඊයේත් කිවුවෙ සාමාන්‍යයෙන් ජාතිකවාදය දක්‍ෂිණාංශික දේශපාලන පක්‍ෂ මගින් ඇති වන්නක් කියල. මා එහි දී කිව යුතුව තිබුණා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැණෙන රටවල කියලා. චීනය රුසියාව වැනි රටවල ජාතිකත්ව පක්‍ෂ වන්නේ දක්‍ෂිණාංශික පක්‍ෂ නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයත් දක්‍ෂිණාංශික පක්‍ෂයක් නො වෙයි. එය ජාතිකත්ව පක්‍ෂයක් වූයේ වමට බර ලිබරල් පක්‍ෂයක් ලෙස සිටිමිනුයි.

ශ්‍රී ල නි පක්‍ෂය 2015 බරපතළ වරදක් කළා. ඒ එහි ලේකම් එ ජා පක්‍ෂයට තල්ලු කිරීමෙන්. එසේ තල්ලු කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් ම බැසිල් වග කියන්න ඕන. මා ඒ බව කිහිප වතාවක් කියා ඇති. මෙරට ජනයා ප්‍රතිචාර දක්වන්නේ ක්‍රියාවට නොව ප්‍රතික්‍රියාවට. ක්‍රියාව මෛත්‍රිපාල යැවීමට කටයුතු කිරීම. ප්‍රතික්‍රියාව එසේ යෑම. ජනතාව බලන්නේ යෑම මිස යැමට සැලැස්සීම නො වෙයි.

මෛත්‍රිපාල එසේ ගොස් ජනාධිපති වීම තදබල වරදක්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කළා. ශ්‍රී ල නි පක්‍ෂයට දක්‍ෂිණාංශික එ ජා ප සමග කිසිම සම්බන්ධයක් තිබිය යුතු නැහැ. එහෙත් එසේ මරා දැමුණු පක්‍ෂය යළි උපදවන්න පිරිසක් කටයුතු කළා. එසේ නොකර රනිල් ඉවත් කරන්න බැරි බව අප තේරුම් ගත්තා. 2015 නුගේගොඩ රැස්වීමටත් කලින් ජාතික බලය කියන සංවිධානය මහින්ද නැති රට යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා.

රනිල් ඉවත් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට අප මුහුණ දුන්නා. එය කළ හැකි ව තිබුණේ මෛත්‍රිපාලට පමණයි. ඒ සඳහා මහින්ද මෛත්‍රිපලට ශක්තිය ලබා දිය යුතු බව අප කියා සිටියා. අපහාස මැද ගෙන ගිය ඒ සටන කෙළවර වූයේ 2018 ඔක්තෝම්බර 26 මහින්ද අගමැති කිරීමෙන්. එයට බටහිර බලවේග විරුද්ධ වුණා. පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට බටහිර තානාපතිවරුන් නැටූ නාඩගම අප හොඳාකාරව දැක්කා. මහින්ද දැන් කියන විධියට ස්විට්සර්ලන්ත තානාපතිත් එදා මහින්ද අගමැති කිරීමට විරුද්ධ වූ අයෙක්. ඔවුන් ගෝඨාභය ජනාධිපති වීමට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි.

එදා ඔක්තෝම්බර් ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැසිල් උපකාර කෙළේ නැහැ. ඉන් පසු අප මතවාදයක් සකස් කෙළේ ශ්‍රී ල නි පක්‍ෂය හා පොහොට්ටුව හා අනෙක් පක්‍ෂ සමග සංධානයක් ඇති කරන්න. අපට ජනමාධ්‍ය සහායක් නැති නිසා ඒ උත්සාහය ජනතාවට නොපෙනෙන්න ඇති. එහෙත් අවසානයේ දී අපේ උත්සාහය ජයගත්තා. පසුගිය දා ශ්‍රී ල නි ප පොහොට්ටුව ඇතුළු පක්‍ෂ හා සංවිධාන දහතතක් ගෝඨාභය රාජපක්‍ෂගේ සභාපතිත්වයෙන් ගිවිසුමක් මගින් ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය තනා ගත්තා. ඒ ගිවිසුමෙහි අනෙක් අංගය වූයේ ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවෙන් ජනාධිපති ධුරයට තරග කිරීමයි. ඒ ගිවිසුම් දෙකක් නොව එක ම ගිවිසුමක පැති කඩ දෙකක්. එකක් පිළිගෙන ඒ මත ක්‍රියාත්මක වී අනෙක ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. අද ඇතැම් පොහොට්ටු අමෙතිවරු මන්ත්‍රීවරු කතා කරන්නේ සංධානයක් නැති විධියට.

ඔවුන් හිතා ගෙන ඉන්නවා නම් පොහොට්ටුවෙන් ඉල්ලා දිනිය හැකිය කියා ඒ “මිථ්‍යාවක්”. පළාත් පාලන මැතිවරණයේ දී ඔවුන්ට ලැබුණේ 40%ක ඡන්ද ප්‍රමාණයක්. මහා මැතිවරණය ජය ගැනීමට ඒ ප්‍රමාණවත් නැහැ. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂ හා එ ජ නි ස ඡන්දත් එකතු කළොත් එය 56%ක් පමණ වේවි. ඒ සමගිය මත උත්සාහ කළොත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන් වේවි. එහෙත් ශ්‍රී ල නි ප නැතිව තරග කළහොත් 113 ගැනීමත් අසීරු කටයුත්තක්. එහෙම වුනොත් ආණ්ඩුවක් හදන්න ශ්‍රී ල නි ප සහාය ඉල්ලනවා ද? ඇතැම් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ශ්‍රී ල නි ප සහාය ලබා ගත්බව ඇතැම් පොහොට්ටු උද්ධච්ඡයනට අමතක වෙනවා.

ගෝඨාභයට සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් බව කියා ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීමට අප කටයුතු කළා. ඒ වෙනත් අය අසිංහල ඡන්ද ගැනීමට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරද්දී.

පොහොට්ටුව හා ශ්‍රී ල නි ප එකතු වීමෙන් 70%ක් රටෙන් ලබා ගන්න බැහැ. හැම ව්‍යාපාරිකයකුට ම අංක ගණිතය පුළුවන් කියා හිතන්න බැහැ. අප ජනාධිපතිවරණයෙන් පසු පෙන්නා දුනේනේ සිංහල ජනතාව 70%ක් පමණ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට ඡන්දය දී ඇති බවයි. රටෙන් ම ගත් විට එය 52.25%ක් වුනා. පෞද්ගලික කෝන්තර මත ජනාධිපතිවරණයේ් දී ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කියා වේදිකාවෙන් එළවා ඡන්ද අඩු කර ගත් ව්‍යාපාරිකයන්ට අප සවන් දිය යුතු නැහැ. එසේ නොවන්නට එය 56%ක් වීමට තිබුණා.

මේ අතර මට තවත් භයානක ආරංචියක් දැන ගැනීමට ලැබුණා. එක්තරා ප්‍රාදේශීය වාර්තාකරුවකු දේශපාලනඥයන් ළඟට ගොස් දැන් රැල්ල තියෙන්නේ පොහොට්ටවුට බව කියමින් තරග කළ යුත්තේ පොහොට්ටුවෙන් බවට ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරනවා. මේ වාර්තාකරුවන්ට අවශ්‍ය තම ප්‍රවෘත්තිය පළ කර ගෙන කියක් හරි උපයා ගැනීම ද? නැත්නම් ගෝඨභය ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට ඉඩ නොතැබීම ද?

අද ගෝඨාභය රාජපක්‍ෂට සම්පුර්ණ සහාය දෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මිස පොහොට්ටුව නොවෙයි. පොහොට්ටුවේ ඇතැමුන් ගෝඨාභය ආණ්ඩුව තුනෙන් දෙකක් ලබා ගැනීම වළක්වනවා. ශ්‍රී ල නි පක්‍ෂය නැවතත් තම ජාතිකත්ව භූමිකාව අරඹලා. පොහොට්ටුව තවමත් පක්‍ෂයක් ලෙස ජාතිකත්වයට පැමිණ නැහැ. මේ අවස්ථාවේ දී කළ යුත්තේ ශ්‍රී ල නි ප ඉවර කිරීම නොව ශක්තිමත් කිරීමයි.

උපුටා ගැන්ම -මහාචාර්ය නලින්ද සිල්වාගේ කාළය බ්ලොග් අඩවිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.