LNN SPY

ජනතාව සුරා කෑ ETI හතරදෙනාම සූරයන්ට රටෙන් පිටවිම තහනම්…. ඩයස්පොරාවට විකුණා දැමුවද තවමත් ජනතාවට මුදල් නෑ

Published on: Jul 7, 2018- ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් ඊ.ටී.අයි (ETI)එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය (06) වැනිදා නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජිවක හේමාල් ඒදිරිසිංහ, අන්ජලී දීපා ඒදිරිසිංහ, නාලක ප්‍රේමාල් ඒදිරිසිංහ,අසංක ශ්‍රිමාල් ඒදිරිසිංහ යන අය සදහා විදේශගත විම තහනම් කර තිබේන අතර ඊට හෙතු වි ඇත්තේ මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධා සිදුවන බැවින් මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කර නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමයි.

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන් පසුගිය (30) දිනයේත් සිය තැන්පත් මුදල් නැවත ලබාගැනීම සඳහා එම ආයතනයට රැස්වූ අවස්ථාවේ එහි නොසන්සුන් තත්වයක් හට ගත් අතර ඊට හේතු වුයේ බලධාරීන් අදාල මුදල අගෝස්තු මසදී ගෙවන බව සදහන් කිරිමයි.

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන් හට බොරැල්ලේ පිහිටි එහි කාර්යාලය වෙත පැමිණෙන ලෙසත් තම තැන්පතුවලින් සියයට දහයක මුදලක් නැවතත් ලබා දෙන බවට ආයතනයේ බලධාරීන් කලින් පොරොන්දුවක් ලබාදි තිබු අතර පසුව ඊ.ටී.අයි ආයතනය වෙනුවෙන් පැමිණ සිටි නියෝජිතයන් එහිදී කියා සිටියේ තැන්පතුකරුවන්ට ලබාදෙන සියයට දහයක මුදල ලබන අගෝස්තු මසදී ලබා දීමට පියවර ගන්නා බවයි.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් මහ බැංකුව තීරණය කරන ලදි. තව ද, එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දි තිබුන අතර ඒ අනුව එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් සිය මැලේසියානු නියෝජිත ජේ. සුධීර් ජෙයරාම් හට විකුණා දමා තිබේ.

සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා මෙම ව්‍යාපාර මිලදි ගැනිම පසුපස සිටින අතර ඩයස්පොරාවේ හුරතලෙකු වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල පින්සිරි සමරවීර සහ මංගලගේ උපදේශක මනෝ තිත්තවැල්ල උතුර සහ දකුණ ඩයස්පොරාකරණයේ මහ මොළකරුවන් ලෙස කටයුතු කරමින් සිටින අතර මේ දක්වා අහිංසක ජනතාවගේ මුදල් ගෙවිම්ට ETI සමත් වි නැති අතර දින ගණනක් ජනතාවට පොරොන්දු දුන්නද අවසානයේ සිය මුදල් ලබා ගැනිමට පැමිණි ජනතාවට සිදුවුයෙ හිස් අතින් ගෙදර යැමටය.

වාර්තා වන අන්දමට ඊ ටී අයි ආයතනය අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මුදලින් ඩොලර් දශ ලක්ෂ 32ක මුදලක් දැනට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දශ ලක්ෂ 5,017.6ක් ලෙස ඊ ටී අයි ආයතනය වෙත ලැබී ඇත.

තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව එ සේ ලැබී ඇති මුදලින් ඊ ටී අයි ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක මුදලක්, එ නම් ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 3,350ක මුදලක් සහ 2018 මැයි මාසය අවසානය වන විට ගෙවිය යුතු වන පොලී මුදල්, ආසන්න වශයෙන් රුපියල් දශ ලක්ෂ 1,400 ක් පමණ, තැන්පත්කරුවන් වෙත ගෙවීමට මහා බැංකුව උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙම ගෙවීම 2018.06.05 දින ආරම්භ කිරිමට නියමිතව තිබුනද මේ දක්වා එය සිදු වි නෑ.එ මෙන් ම එම ආයතනයේ තැන්පතු වගකීම්වලින් තවත් සියයට 10ක මුදලක් ඉහත කී වත්කම් විකිණීමෙන් ලැබෙන ඉතිරි මුදලින් (එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 43) ගෙවීමටත් මහා බැංකුව ඊ ටී අයි ආයතනය වෙත උපදෙස් ලබා දී තිබේ.

පහත දැක්වෙන්නේ දිනී ජයසේකර විසින් රාවයට තබන ලද සටහනකී…

මේ හොරකම් කරලා, මිනී මරලා හම්බ කරපු සල්ලි නෙමෙයි. අවුරුදු 22ක් තිස්සේ දුක් විඳලා හම්බ කරපු සල්ලි. මේකේ සල්ලි දානවට අපිට 15%ක පොලියක් දෙනවා කිව්වා. මුලදී අපිට 15% ලැබුණා. ඒ පොලිය නිසාම තමයි අපි මෙතන සල්ලි දැම්මේ. ඒත් දැන් අපි අනාථ වෙලා. පොලිය කෙසේ වෙතත් අපිට අපේ සල්ලිත් ලැබෙන්නේ නැති තත්ත්වයක් උදාවෙලා. මේක දැනුණු වෙලේ ඉඳලා අපි ඉල්ලීම් කරනවා, අපේ සල්ලි ඉල්ලලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ අවුරුද්දේ ජුනි මාසේ අපිට තැන්පත් මුදලින් 10%ක් ලැබුණා. දැන් ඒක දීලා මේ අය මගහරිනවා. අපිට ඒකෙන් වැඩක් නැහැ. අපිට අපේ සල්ලි ඕනෑ. පොලිය නැතත් කමක් නැහැ. අපේ දුක බලලා ආණ්ඩුව මැදිහත් වෙලා හරි අපේ සල්ලි අරගෙන දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.”

මේ එක් අයකුගේ අඳෝනාවක් වුවත් මෙය බොහෝ අයට පොදු කතාවක් වෙලා. මේ ඉල්ලීම ඉල්ලන දහස් ගණන් මිනිස්සු මේ කතාවම අපිට කියනවා. පාර්ලිමේන්තුවෙත් කතා වෙවී තියෙන ඊටීඅයි වංචාවට හසුවූවන්ගේ තමයි මේ කතාව. ඔවුහු මහන්සියෙන් හම්බ කළ මුදල් වැඩි පොලියට තැන්පත් කළ වරදට අද ඔවුන්ට පොලියත් මුදලත් දෙකම අහිමි වෙලා. එයට වැරදිකරුවෝ දඬුවම් විඳින්නෝ ඔවුහු පමණද? එසේ කියා සැහැල්ලුවට මේ මිනිසුන්ගේ ප්‍රශ්නය ඉවත දැමිය හැකිද?

ඊටීඅයි කුමක්ද?

බොහෝ අය ඊටීඅයි කියූ විට නොදනිති. එහෙත් මීට අයත් සෙසු ආයතන ගැන ඉතා හොඳට දනිති. ඒ ස්වර්ණවාහිනිය සහ ශ්‍රී එෆ්.එම්. නාලිකාවය. අපි අහන්නේ ‘ශ්‍රී’ යැයි සුළු මුදලකට මිනිස්සු උජාරුවට කියති. මේ වංචාවට මේ රූපවාහිනී නාලිකාවත් එෆ්.එම්. නාලිකාවත් හොඳහැටි උපකාරී වූවා මතකය. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන හොටු පෙරාගෙන එම පුවත් රටට කියන ස්වර්ණවාහිනියට මේ තම ආයතනය උකස් කරගෙන ඇති මිනිසුන්ගේ දුක දුකක් නොවේද?
මුලින් මෙම ආයතනය පොහොසත් වූයේ අහිංසක මිනිසුන් හදිසියට තියන රන් බඩු නිසාය. ඒවා බොහොමයක් සින්න වූ කල ඒවා ඔවුන්ට ඉල්ලමක් විය. ඒ මුදල්වලින් රූපවාහිනී නාලිකා මෙන්ම, එෆ්.එම්. නාලිකාද පටන් ගෙන මොවුන් රටේ ජනතාවම ගොනාට අන්දන තැනට තල්ලු විණි. අද ඒ උගුලට බොහෝ අය හසුවී ඇත. එනම් මාධ්‍ය ජනප්‍රියකම ඔස්සේ මූල්‍ය සමාගම් පටන් ගැනීමත් මොවුන් ආරම්භ කළ නිසාය. ජනප්‍රිය නළු නිළියෝ මෙය ප්‍රචාරය කිරීමට අනේක පුරසාරම් මුදලට ඇද බෑහ. අද මෙහි මුදල් දැමූ අය නඟන අඳෝනාවත් ඒ අයට ඇසෙන්නේ නැද්ද?

අයාලේ යෑම

මේවා මහ බැංකුවේ අධීක්ෂණයට හසුනොවී නිදහසේ වැඩුණු බව කිව යුතුය. ඔවුන්ද මේ ආයතන හොඳ ගණයෙහිලා සැලකූ බවද කිව යුතුය. දැන් ඔවුහු ව්‍යාජ කතා පතුරුවති. සෝමා එදිරිසිංහගේ ඇවෑමෙන් මෙහි පාලනය යන්නේ සෝමා එදිරිසිංහගේ දරුවන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දුව දීපා එදිරිසිංහ යන සතර කට්ටුවටය. සතරදෙනාගේ අතට පත්වන මෙය අයාලේ යන්නේ මහජනයාගේ මුදල් ගැන කිසිදු තැකීමක් නැතිවය. දිනෙන් දින ආයතනය බංකොළොත් වන ලකුණු පෙනුණු මුත් මේ සතර කට්ටුවට නම් කිසිදු හෙණයක් නොවීය. එසේ නම් මිනිසුන් තැන්පත් කළ මුදල් මොවුන් ආයෝජනය කළේ කොහිද?

“මේක අද ඊයේ නෙමෙයි කඩා වැටෙන්න පටන් ගත්තේ. 2012 ඉඳලා මේ තත්ත්වය ආවා. ඒත් මොන මොන ගැට ගහලා හරි හිටපු නිලධාරීන් ගනුදෙනුකරුවන් අල්ලගෙන ගියා.” එහෙම කියන්නේ තැන්පත්කාරිණියක වන දමයන්තිය. ඇය ඒ යටගියාවේ තතු අපට මෙසේ පැහැදිලි කළාය.

“මේ කඩා වැටීම සැලැස්මකට වන දෙයක්. එහෙම නැතිව එකපාර වෙන්න බැහැනේ. 2012 ඉඳලා මේ ප්‍රශ්නයත් ඇවිස්සුණා. 2012දී අපට මුලින්ම ලිපියක් ආවා මූල්‍ය ආයතනය පාඩු ලබනවා කියලා. 2011 සහ 2012 බැලන්ස් ෂීට් පවා අපට එවලා තිබුණා. ඒත් අද තමයි තේරෙන්නේ මොවුන් සිදුකළේ ලොකු මුලාවක්. මොවුන් මේ හැමදේම කළේ තැන්පත්කරුවන්ව මුලා කරන්න. 2012 ඉඳලා පාඩුයි පාඩුයි කිව්වට ඒ මුකුත් පිටට පෙන්නුවේ නැහැ. 2015දීත් පාඩු ලබමින් තැන්පත්කරුවන්ව හොඳට ඇන්දුවා. ඒ වෙනකොට මහ බැංකුව මගින් ඊටීඅයි මූල්‍ය ආයතනයට තැන්පත් භාර නොගන්නා ලෙස කොපමණ අවවාද කළත් ඒ මුකුත්ම ගණන් ගන්නේ නැතිව 2017-12-30 සෙනසුරාදා ප.ව. 5.00 දක්වාම නව තැන්පත් සියල්ලක්ම ඊටීඅයි ආයතනය භාර ගත්තා. එහෙනම් මේ කාවද රවට්ටන්නේ.”එහෙම කියන්නේ ඊට රැවටුණු දමයන්තිය.

“මහ බැංකුව තැන්පතු භාරගන්න එපා කියලා දැනුම් දුන් බව අපි දන්නේ නැහැ. දන්නවා නම් සල්ලි එදාම ගන්නවා.” දමයන්ති කියනුයේ අදය.මෙහි සලකා බැලිය යුතු තවත් වැදගත්ම කරුණ නම් මෙම මූල්‍ය ආයතනය වැඩි ප්‍රසිද්ධියකින් තොරව කාලාන්තරයක් පැවතුණු බවය. මෙහි ඉතිහාසය වසර 51කි. එහෙත් මෙය ජනප්‍රියවන්නේ ඔවුන්ගේ ටෙලිවිෂන් එකත් රේඩියෝවත් සමගය.

අම්මා හොඳවීම

මේ ගනුදෙනුකරුවන් බොහොමයකගේ අදහස දිගු ඉතිහාසයක් ඇති මෙම මූල්‍ය ආයතනය සෝමා එදිරිසිංහ මහත්මිය කරන කල්හි මෙවැනි අවදානමක් නොපැවති බවය. එකල නිසි ආකාරයට ගනුදෙනු සිදුවූ බවය.

“අපේ තාත්තලත් මෙතැන සල්ලි දාලා තියෙනවා. ඒ විශ්වාසයට තමයි අපිත් සල්ලි දැම්මේ.” මේ අද හසුවූ පරම්පරාවේ අයෙක් කී කතාවකි. එසේ නම් මෙය කලක් පිළිවෙළට කළ බවද පිළිගත යුතුව ඇත. එසේ නොවන්නට අඩසියවසක් මෙය නොපවතිනු ඇත.

බිලියන 33ක්

පාඩු ලැබූ තැන්පත්කරුවන්කරුවන් 33,000කගෙන් සමන්විත වූ ETI මූල්‍ය ආයතනයේ තැන්පතුවල මුළු එකතුව බිලියන 33කි. තැන්පත්කරුවන්ගේ මුදල්වලට සිදුවූවේ කුමක්ද යන්න විසඳාගත නොහැකි මහා ගැටලුවකි. දැන් තැන්පත්කරුවන්ට අවශ්‍යවන්නේ ප්‍රශ්නවලට පිළිතුරු නොව ඔවුන් තැන්පත් කළ මුදල්ය. තැන්පත්කරුවන් 33,000ක් කියන්නේ ඉතාමත් සුළු පටුවට සිතිය නොහැකි කාරණයකි. ඔවුන් මුදල් උපයන්නේ මූල්‍ය ආයතන ප්‍රධානීන්ගේ දියුණුව උදෙසා පිනට පිදීමට නොවන බව කිව යුතුය. ඔවුන් යම් තැනක මුදල් තැන්පත් කරන්නේ තමන්ගේ යම් යම් හදිසි අවස්ථාවලදී ඵල ප්‍රයෝජනයට ගැනීමටය. එසේ හදිසි අවශ්‍යතාවන් සඳහා තම මුදල් ප්‍රයෝජනයට නොගතහැක්කේ නම් එවැනි මූල්‍ය ආයතන කුමකටද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.

“තැන්පත් කරපු මුදල් ගන්න අපිට වෙනම මුදල් වියදම් කරන්න සිද්ද වෙලා. ඒ මදිවට රස්තියාදුව. එහෙම කරල හරි මුදල් එකපාර හම්බෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉබ්බගෙන් පිහාටු ගන්නව වගේ අපිට මුදල් දෙන්නේ. සල්ලි දානකොට නම් කියන්නේ අපි වගකීම ගන්නවා. බයවෙන්න දෙයක් නැහැ කියලා. මෙහෙම දේවල් වෙනවා කියල දන්නවනම් ඇත්තමයි අපි සල්ලි දාන්නෙ නැහැ.” මේ ආනන්ද මහතාගේ අදහසය.

රජයේ රැකියාවල නිරත වී විශ්‍රාම වැටුපෙන් ජීවත් වන්නෝ මේ තැන්පත්කරුවන් අතර සිටින්නෝය. සමහරු හෘදයාබාදවලින් පීඩා විඳින්නෝය. තවත් සමහරු පිළිකා නිසා රෝහල් ගත වී සිටින්නෝය. ඔවුන් එසේ පීඩා විඳීමට රෝහල් ගතවීමට ප්‍රථම ඔවුන් මුදල් තැන්පත් කළේ මෙවැනි හදිසි අවස්ථාවලදී තම මුදල් ප්‍රයෝජනයට ගැනීම සඳහාය. එහෙත් මේ ආයතනය ලබන පාඩුව නිසා ඔවුන් ඒ තැන්පත් කළ මුදල ගැනීමටත් නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. එය කනගාටුදායක සිදුවීමක් සහ ආයතන ප්‍රධානීන්ගේ දුර්වලකමකි.
පියතිස්ස රජයේ සේවකයෙකි. පෙනුමෙන් ඔහුගේ වයස හැටක් ඉක්මවා ඇති බව නිසැකය.

“මගේ සේවාකාලයේ වැටුපෙන් රුපියල් 22,000ක්. අවුරුදු 04ක් තිස්සේ තැන්පත් කරපු මුදල් ලක්ෂ 34ක් ෑඔෂ මූල්‍ය ආයතනයේ තියෙනවා. අපි හරියට කාල බීල එකතු කරපු සල්ලි නෙවේ ඕවා. දුක් මහන්සියෙන් හම්බ කරපුවා. දැන් පෙන්ෂන් එකෙන් ජීවත්වෙන්නේ. කෙනෙක් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරන්නේ අනාගතේ දවසක ඒ මුදල් බලාපොරොත්තුවෙන්නේ. ඉතිං මාත් එහෙමයි මුදල් තැන්පත් කළේ. ඒත් දැන් ඒ මුදල් ලබාගන්නම අතරමගට වියදම් වෙනවා පැන්ෂන් එක. මාස පහක කාලයක් තිස්සේ අපි මේ ඉවසන් ඉන්නේ. කිසිම කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. හරි අපරාධයක් මේක.”
තම මුළු සේවා කාලය තුළ හරිහම්බ කරගත් මුදල් තැන්පත් වශයෙන් මූල්‍ය ආයතනවල තැන්පත් කර ආයතන ප්‍රධානීන්ගේ සාක්කු පුරවා කෑ ගැසීමට සිදු වූ පියතිස්සගේ අදහස එබඳුය. ETI මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ මනතුංගගේ අදහස මෙබඳුය.

“මම කලින් වැඩ කළේ විදුලි අධිකාරියේ. මගේ ලක්ෂ 27ක තැන්පතුවක් ETI මූල්‍ය ආයතනයේ තියෙනවා. ඇත්තටම කලකිරිලා ඉන්නේ මේ හැමදෙයක් ගැනම. අපි හැමෝම මේ කෑගහන්නේ තම තමන්ගේ මුදල් වෙනුවෙන්. අපිට ඊට වැඩිය සතපහක්වත් ඕන වෙන්නෙ නැහැ. ජුනි 5 වෙනිදා අපේ මුදලින් 10%ක් අපිට ලැබුණා. ඒත් ඉතිරි මුදල් අපිට දෙන්නේ කවදාද? අපේ මුදල් අපිට එකවර දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි.”

මහ බැංකුවේ ලියාපදිංචියි

ETI මූල්‍ය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය ලැබූවේ වර්ෂ 1967 දීය. එනම් දැනට අවුරුදු 51කට පෙරය. SFS මූල්‍යය ආයතනය ලියාපදිංචි කරනුයේ 2006 වර්ෂයේදීය. එනම් දැනට අවුරුදු 12කට පෙරය. මෙම මූල්‍ය ගනුදෙනුව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ( The Monetary Board of the Central Bank) 2018 ජනවාරි 01 දින පැවැත්වූ රැස්වීමේ තීරණ වලට අනුව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018-01-02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය අනුව ETI හා SFS සමාගමේ තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඔවුන්ගේ යටතට මෙම මූල්‍ය සමාගම් 02 පවරාගත් බව ලිඛිතව තැන්පත්කරුවන්ට දැනුම් දෙන ලද්දේය. එහෙත් තවමත් ETI මූල්‍ය ආයතනය වෙත කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර කොටස් වශයෙන් මුදල් ලබාදීමට තීරණය කර ඇති බව මහ බැංකුව විසින් ප්‍රකාශ කර ඇත. එයත් අවුරුදු 05ක කාලයක් ඇතුළත කොටස් වශයෙනි. ඒ සම්බන්ධව අදහස් දැක්වූ තැන්පත්කාරිණියක් පැවසුවේ මෙවැනි අදහසකි.

“මම 2017 දෙසැම්බර් මාසෙ තමයි තැන්පතුවක් දැම්මේ. ඒ වෙනකොටත් මහ බැංකුව ETI මූල්‍ය ආයතනයට නව තැන්පතු ගන්න එපා කියල අනතුරු අඟවලා තිබිල තියෙනවා. මේ ප්‍රශ්නෙ දැනගත්තාම අපි පෙළපාළි එහෙම තිබ්බනේ. ඊටපස්සේ මම මහ බැංකුවට ගියා 10%ක මුදල අපේ අතට දෙන්න කලින්. එතකොට එතනදි කීවේ එකවර මුදල් ලබාදෙන්න එයාලට වත්කමක් නැහැ කියලා. මුලින් 10%ක් දීලා ඉතිරිය අවුරුදු 05ක කාලයක් ඇතුළත ගෙවනවා කියල කීවා. ඒක කීව වෙලේ ඉඳන් මට මුකුත් හිතාගන්න බැරි වුණා. ඇත්තටම අපි මුදල් දැම්මේ අපිට ඕන කරන වෙලාවට ගන්නනේ. ඒත් අන්තිමට වුණේ එයාලට පුළුවන් දවසෙ දෙනකන් බලන් ඉන්න. ඒත් එහෙමවත් හම්බවෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. 10%ක් දුන්න කියලා තැන්පත්කරුවන්ගේ හිත හදලා එයාල යයි යන්න.”

ආයතනයක් මහ බැංකුවේ ලියාපදිංචියේදී අවම කෝටි 200ක මුදලක් මහ බැංකුවේ තැන්පත් කරගන්නේය. එය පාඩු ලැබූ තැන්පත්කරුවන් සඳහා වගකියන්න නොවන අතර එය මහ බැංකුවේ පාඩුවට වගකියැවීම සඳහාය. තවද මහ බැංකුව විසින් ජනතාවගේ පාඩුවට වගකියන්නේද නැත. එහෙත් ETI මූල්‍ය ආයතනය සඳහා නඩු පැවරීමේ හැකියාවක් මහ බැංකුවට ඇත. එයට හේතුව මහ බැංකුව ETI මූල්‍ය ආයතනය පාඩු ලබන බව දන්න නිසාත් පසුව මේ හේතුව මත තැන්පත්කරුවන් නොගන්නා ලෙසට දැනුම් දී තිබියදීත් මෙම මූල්‍ය ආයතනය මහ බැංකුවේ දැනුම්දීම නොතකා තැන්පත්කරුවන් බඳවා ගැනීම හේතුවෙන් මහ බැංකුව නොදැනුවත්ව මෙය සිදු වූවා යැයි ETI මූල්‍ය ආයතනයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඇත. එසේ සිදු කිරීමට හැකියාව තිබියදීත් එසේ නොකරන්නේ මන්ද කියන කාරණය ගැටලුසහගතය. ETI මූල්‍ය ආයතනය සම්බන්ධව ජනතාවගේ විශ්වාසය රැඳී ඇත්තේ මහ බැංකුවේ ලියාපදිංචි වූ නිසා බව ආනන්ද පැවසූ දෙයින් නිශ්චිතය.
“අවුරුදු 51ක කාලයක් පුරාවට මෙම මූල්‍ය ආයතනය මහ බැංකුවේ ලියාපදිංචි නිසා තමයි අපි ගොඩක්ම මුදල් තැන්පත් කරන්න පෙළඹුණේ. එහෙම ලියාපදිංචියක් නැති මූල්‍ය ආයතනයක් වුණා නම් අපි කවදාවත් මේකෙ මුදල් තැන්පත් කරන්නේ නැහැ.”

10% මුලාව

ආයතනය පාඩු ලැබීමෙන් පසු මුල් පියවරේදී ආයතනය විසින් 30% මුදලක් ගෙවන බවට පවසා ඇත. පසුව එය නැවත 20% දක්වා පහළ බැස තිබූ අතර අන්තිමට 2018-06-05 දින මුදලින් 10%ක ප්‍රමාණයක් තැන්පත්කරුවන්ට ලබාදී ඇත. තැන්පත්කරුවන් විසින් මුදල් තැන්පත් කිරීමේදී එකවර තැන්පත් කළ නමුත් එය ලබා ගනිද්දී කොටස් ලබාගැනීමට සිදුවීම කනගාටුදායකය. එහෙත් සියල්ලෝම වගේ මේ 10% ප්‍රමාණය ලබා ගත්හ. මන්ද බොහොමයකට තම උපරිම මුදලින් 10%යත් වටිනා බව ඔවුන්ගේ උපකල්පනය වූ බැවිනි.

“අපි මේ 10%වත් ගත්තේ නැත්නම් අපිට මේකත් නැති වෙනවා. ඒ නිසාමයි අපි ඒ මුදල් ගත්තේ. හැබැයි අපිට අපේ මුදලින් මෙහෙම ටික ටික අරන් වැඩක් නැහැ. අපි මූල්‍ය ආයතනයට මුදල් තැන්පත් කරද්දි පොඞ්ඩ පොඞ්ඩ නෙවේනෙ තැන්පත් කළේ. ඒත් ඉතිං මොනව කරන්නද දැන්. දෙන විදියට ගන්න වෙලා. ඉතිරි මුදල්වත් අපිට එකවර ගන්න තිබුණොත් හොඳයි. එහෙම මුදල් දෙන්න හැකියාවක් මෙම මූල්‍ය ආයතනයට නැහැ කියල කියන්න අමාරුයි. මොකද එයාලගේ මහා පරිමාණ වත්කම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා මුදල් කරලා හරි අපිට එකවර මුදල් අවශ්‍යයි.” එසේ පැවසුවේ මනතුංග මහතාය.

මුදලින් 10%ක ප්‍රමාණයක් ගෙවා දැනට දවස් විසිහතරකි. එහෙත් ඔවුන්ගේ වත්කම්වල වටිනාකම තැන්පත්කරුවන්ගේ තැන්පතුවලට වඩා ඉහළය. හැබැයි 10% ගෙවූ පසු අද වනවිටත් කිසිවෙක් ඉතිරි මුදල් සම්බන්ධව කිසිදු කතාවක් නොවීය. නිසැකයෙන්ම එයින් පැහැදිලි වන්නේ ඉතිරි මුදල් ලබා ගැනීමට නැවතත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවය. මෙයින් අපහසුතාවට පත්වන්නෝ මෙම මූල්‍ය ආයතනය පොහොසත් කළ ගනුදෙනුකරුවෝය. එයට සාධාරණ වැඩපිළිවෙළක් යෙදීමට ඔවුන් කාරුණික වූවා නම් මේ ප්‍රශ්න මේතරම් දුරකට යන්නේද නැත. අනෙක් කාරණාව ETI මූල්‍ය ආයතන ගැටලුව අනෙක් මූල්‍ය ආයතන සඳහාද තදින්ම බලපාන බව නිසැකය. එහිදී රටේ ආර්ථීකයට තදින්ම එය බලපාන බව නිසැකය. එය යම් යම් අවස්ථාවලදී මහ බැංකුව විසින් කරන ලද ප්‍රකාශනවලදීද පැහැදිලි විය.

නීතිමය පියවර අවශ්‍යයි

“මහා පරිමාණ මුදල් වංචාවක් සිදුවී තිබියදීත් කිසිවකුත් මේ සම්බන්ධව නීතිමය පියවර අරගෙන නැහැ. ගෙදර ගෘහමූලිකයා වෙන්නේ තාත්තා. තාත්තා නැතිනම් පමණක් අම්මා එහි ගෘහමූලිකයා වෙන්නේ. එහෙත් රටේ මූලිකයා ජනාධිපතිනේ. ගෙදරක දරුවන්ගේ වගකීම පියා දරන්නා සේ රටේ මූලිකයා වශයෙන් ජනාධිපති ජනතාවගේ වගකීම දරන්න අවශ්‍යයිනේ. මේ මූල්‍ය ආයතනය මගින් ගසා කෑමකට ලක්ව ඇත්තේ ජනතාව මහන්සියෙන් හරි හම්බ කරගත් මුදල්. ඉතිං මේ මුදල්වලට සිදුවූයේ කුමක්ද? මෙය නැවත ලබාදිය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම ඔහුගේ වගකීමක් නොවේද? සහ එසේ වංචා සිදු කළ පුද්ගලයන්ට දඬුවම් නොකරන්නේ මන්ද? නැතිනම් මහ බැංකුව විසින් නොදැනුවත්ව මෙය සිදුවූවා නම් ETI මූල්‍ය ආයතනයේ ප්‍රධානත්වය දරන්නන්ගේ ගමන් බලපත්‍රයවත් අහෝසි කිරීමට මහ බැංකුවට හැකියාවක් නැතිද?”
මේ සියලු ප්‍රශ්න මතුකරන්නේ ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් විසිනි. එහිදී මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මැලිවන්නේ ඇයිද කියන කාරණය යම්තාක් දුරකට ප්‍රහේළිකාවකි.

හතරදෙනාම සූරයෝ

ETI මූල්‍ය ආයතනයේ ප්‍රධාන ආසන මෙහෙයවන සතර දෙනා මුදල් සම්බන්ධව කිසිවක් කතා නොකරන්නේ ඔවුන් විසින් මේ මුදල් ප්‍රයෝජනයට ගත් නිසා විය හැකිය. නැතිනම් මුලින් 10%ක් ලබා දී නැවතත් ජනතාව මුළා කිරීමට හැකියාවක් ඇතැයි සිතනවාද විය හැක. මොවුන්ගේ වත්කම් ලංකාවේ වගේම පිටරටවල පවා තිබෙන බව බොහොමයක් දන්නා කරුණකි. මේ සියලු අතුරුදන් වූ මුදල්වලට වගකිවයුත්තෝ ආයතන ප්‍රධානීහුය. ජනතාවගේ මුදල් මූල්‍ය ආයතන මගින් ගසා කෑම රටේ ආර්ථිකයට බලපාන විශාල ප්‍රශ්නයකි. රටේ ආර්ථිකය කඩා වැටීමට පවා මූල්‍ය ආයතන මගින් සිදුවන මෙවැනි මූල්‍ය වංචා බලපාන බව කිව යුතුය. මෙය පළමු සහ අන්තිම වංචාවත් නොවන බව නොඅනුමානය. අතීතයේත් මෙවැනි වංචා සිදුවූ අතර ඉදිරියේදීත් මෙවැනිම වංචා සිදුවීමට හැකියාව ඇත්තේය. මූල්‍ය ආයතනවලට තැන්පත්කරුවන් ණයවීම සාමාන්‍යයකි. මූල්‍ය ආයතනයක් රටේම ජනතාවට ණයවීම හාස්‍යජනකය. එහි හිමිකරුවෝ ආයතන ප්‍රධානීහුය. ඔවුහු සූරයන්ම වෙති.

ඇඟ බේරා ගැනීම

මේ සම්බන්ධව ETI මූල්‍ය ආයතන නිකුත් කරන ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේය.
තැන්පත්කරුවන් හොඳින් දන්නා කරුණක් නම් ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සිය තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් සියල්ලම තමා සන්තකයේ ‘මුදල්’ වශයෙන් තබා නොගන්නා බවයි. එම තැන්පතු විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන අතර තැන්පතුවලින් වැඩි මුදලක් ස්වර්ණාභරණ උකස් ණය, වාහන කල්බදු ණය සහ දේපළ උකස් ණය ආදී ව්‍යාපාර කටයුතුවල ආයෝජනය කර මාසිකව පොලිය වශයෙන් ආදායම් උපයනු ලබයි. එහෙත් තැන්පත්කරුවන් විශාල ප්‍රමාණයක් තම තැන්පත් මුදල් ආපසු ගෙවන ලෙස එකවර ඉල්ලා සිටියහොත් ද්‍රවශීලතා ප්‍රශ්නයකට ආයතනයට මුහුණපෑමට සිදුවනු ඇත.

මේ කරුණුවලින් පෙනීයන්නේ මොවුන් කොළය වසා ප්‍රශ්නයෙන් පැන යෑමට ගන්නා වෙහෙසය. වත්මන් ආණ්ඩුව ඊට ඉඩ දෙනවාද? මාධ්‍ය නාලිකාවක හිමිකරුවන් නිසා ඔවුන් රකිනවාද? ජනතාව පැත්තෙන් සිතා මේවාට හසුවූ අයට සහනයක් දීමට ඉදිරිපත් වනවාද යන්නය. මෙය කල්මැරිය හැකි ප්‍රශ්නයක් නොවේ.

http://198.211.112.164/archives/18582

Top