Breaking
23 Feb 2025, Sun

ජී එල් ද මෛත්‍රිපාල ද? …. අද රටට හිතකර ජී එල් කියන දේ ද මෛත්‍රිපාල කියන දේ ද?

මෛත්‍රිපාල රැස්වීමක දී කියලා තිබුණා සංධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් අනූහයදෙනා තමන් සමග එකට ඉන්නවා නම් හෙට වුණත් ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් හදනවා කියලා. මෙහි දී ශ්‍රී ල නි පක්‍ෂ ආණ්ඩුවක් කියන්නෙ ශ්‍රී ල නි ප ප්‍රධාන සංධාන ආණ්ඩුවක් වෙන්න ඕන. කාට හරි කියන්න පුළුවන්, නැහැ මෛත්‍රිපාල කියලා තියෙන්නෙ සංධාන ආණ්ඩුවක් නොවෙයි ශ්‍රී ල නි ප ආණ්ඩුවක් කියලා. ඒත් ශ්‍රී ල නි ප විතරක් ගත්තොත් මන්ත්‍රීවරුන් අනූගණනක් නැහැ. අනෙක් අතට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් කියලා පිරිසක් පාර්ලිමේන්තුවෙ නැහැ. ඉන්නෙ සංධාන මන්ත්‍රීවරු, හැබැයි ඉන්නෙ දෙපැත්තක. මෛත්‍රිපාල කියන්නෙ ඔක්කොට ම එක පැත්තකට එන්න කියලා. ජී එල් පීරිස් කියන්නෙත් ඒකම යි. හැබැයි කතානායකගෙ වම්පැත්තට කියලා ජී එල් කියනවා. මෛත්‍රිපාල කතානායකගෙ දකුණු පැත්තට කියලා කියනවා.

මෙය මෛත්‍රිපාලගෙ තවත් රඟපෑමක් කියලා කරුණු දත් පඬියකුට කියන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් බැසිල් හා රනිල් කරන්නෙත් රඟපෑමක් කියලා. ජී එල් කරන්නෙත් රඟපෑමක් කියලා කියන්නත් පුළුවන්. ජනවාරි අටවැනිදාට පසුව ජී එල් මලික් සමරවික්‍රම හම්බවෙන්න ගියා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ තව කී දෙනෙක් ගියා ද? ඔවුන්ට මොකද වුණෙ. පියසිරි විජේනායක එක්ක මෛත්‍රිපාල හම්බවෙන්න විමල් ගියා ද? ගල්ලෙන බිඳපු ගම්මන්පිළට මොකද වුණෙ. හැම තැනක ම තමා ම නොවන තමා රඟපෑම් කරනවා කියලා කියන්න පුළුවන්. මා කලකට පෙර කිව්ව අප ජීවත් වෙන්නෙ ඩීල්ලන්තයෙ නැත්නම් ඩීල්දේශයෙ කියලා. මානව හිතවාදී විද්වතකුට ඕන නම් ඩීල්නාඩුව කියලා කියන්නත් පුළුවන්.

අද රනිල්ගෙ මැතිවරණ ව්‍යාපාරෙ මෙහෙයවන්නෙ මොන සමාගමෙන් ද? ඒ සමාගමේ අධ්‍යක්‍ෂවරු කවු ද? ඒ විද්‍යුත් නාළිකාවක් කියලා මා කියන්නෙ නැහැ. ඒ වුණත් නාළිකා ප්‍රධානීන් ඉන්න වෙනත් සමාගම් තියෙනවා. හෙට දෙරණෙ 360 වැඩසටහනට රනිල් එනවා. මහින්ද හිරු නාළිකාවට යනවා. රනිල් හා මහින්දත් රඟපෑමක ද? නාළිකා ප්‍රධානීන් මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් රඟපෑමක් කරනවා ද? මව්බිම සිරස දෙරණ ආදිය දේශපාලනයෙ දී මැදිහත් වන්නේ කොහොම ද? සරත් නන්ද සිල්වගෙ නීති තර්ක කාලෙන් කාලෙට වෙනස් වෙනවා ද? අද ඔහු ඉන්නෙ කොතැනක ද? කරුණු දන්නා පඬියෝ අප දැනුවත් කරත්වා!

මෛත්‍රිපාල 2014 නොවැම්බරයේ දී දරුණුතම වරදක් කළා. පාවාදීමක් කළා. එහි පිටුපස සිටියේ බටහිර හා ඉන්දීය ඔත්තුසේවා. ඒ වගේම ඔහුට යන්නට සලස්සපු අය. ඒත් ඒ නිසා මෛත්‍රිපාල වරදින් නිදහස් වෙන්නෙ නැහැ. ජාතිකවාදී පඬි පෝතකයන් මොනවා කිව්වත් ඔහුට සමාව දෙන්න බැරිකමකුත් නැහැ. අප කැප්පටිපොළට සමාව දුන්නා. ඊටත් ඈත කාලයක ගැමුණු රජුට විරුද්ධ වූ තිස්සට අප රජකම දුන්නා විතරක් නොවෙයි ඔහුට සද්ධාතිස්ස කියාත් ගැමුණුට දුටුගැමුණු කියාත් කිව්ව. එය දෙටුගැමුණු කියලා දැන් කියන්න යන්න ඕන නැහැ. පස්සෙ ගැමුණු රජකම අත්පත් කරගත්තා. එහෙත් කාගෙ හරි බලපෑමක් නිසා සාලියට රජකම ලැබුණෙ නැහැ. ඒ මා හිතන විධියට සාලියගෙ මව නාග හරි අර්ධනාග හරි නොවී යක්‍ෂ වීම නිසා. විහාරමහා දේවිය ඇයට කරුණාව දැක්වූවා. අන්තිමේ දි විහාර මහා දේවියටත් තැනක් නැති වුණා.

අපේ ඉතිහාසයෙ අමනකම් වැරදි වැරදිිවලට සමාවදීම් කොතෙකුත් සිදු වී තිබෙනවා. ඒත් 1818 දී අප ඩොයිලිට හසු වුණා. අප අතර අසමගිකම් වැඩි වෙලා අප සුද්දන්ට අවශ්‍ය විධියට අවසානයේ දී කටයුතු කළා. ඉන්පසු සුද්දන් අධ්‍යාපනය වරප්‍රසාද දීම් ආදියෙන් අපේ සංස්කෘතිය වෙනස් කළා. අද ගැහැණුන්ගේ අරක්කු බීම වෙනුවෙන් ඊනියා මානව හිතවාදීන් නඩු කියනවා. අප කිව්වෙත් ඊනියා සම අයිතිය සඳහා පිරිමින්ට අරක්කු විකුණන එක තහනම් කරන්න කියලා මොනව වෙයි ද? කාට හරි අහන්න පුළුවන් එහෙම කියන්නෙ ලෝඩ් බුද්ධා කියන නිසා ද කියලා. නැහැ බුදුහාමුදුරුවො එහෙම කියලා නැහැ. ඒක සංස්කෘතික කතාවක්. අප ඇහුවොත්ඇහුවොත් අප අරක්කු බොන්නෙ වයින් බොන්නෙ ක්‍රිස්තියානි සංස්කෘතියට එකඟ නිසා ද කියලා මිනිසුන් අපට එරෙහි වේවි. ඊනියා මානව අයිතිවාසිකම් ද සංස්කෘතියට සාපේක්‍ෂ බව පඬියන් හිතන්නෙ නැහැ. ඔවුන්ගෙ මානව අයිතිවාසිකම් තීරණය වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. අද ඇත්තෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්. අප කුඩා කළත් පිරිමිත් අරක්කු බිව්වෙ හොරෙන්.

මියන්මාරයෙ අවුංසාන් සුචී (සුකී) සුද්දන්ගෙ නියෝජිතවරියක් හැටියට ආපසු මියන්මාරයට ගියා. ඇය හමුදාවට හා ථෙරවාද බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කළා. ඇයට සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයත් ලැබුණා. එහෙත් අද ඇය තම වරද නිවැරදි කරගෙන වෙනස් වෙලා. එය රඟපෑමක් ද කියලා ජී එල්ගෙන් හරි පඬි පෝතකයකුගෙන් හරි අහන්න ඕන. අද බටහිරයන් ඇයට විරුද්ධයි. ඇයට විරුද්ධව ශ්‍රවණ දෘශ්ටි පටි නිකුත් කරනවා. ඒකත් රඟපෑමක් ද? කොහොමටත් රොහින්ජ්‍යා ප්‍රශ්නයෙදි බටහිරයන් ඉන්නෙ මුස්ලිමුන්ගෙ පැත්තෙ. ඔවුන් තම රටවල මුස්ලිමුන්ට විරුද්ධ වෙමින් අපේ රටවල මුස්ලිමුන්ට පක්‍ෂ වෙන්නෙ ථෙරවාද සංස්කෘතියට විරුද්ධ වෙමින්. ඔවුන් කියන්නෙ ථෙරාවාද කියලා. සුද්දන්ගෙ නමක් අපට ගැලපෙන පරිදි උච්චාරණය කළොත් විරුද්ධ වන පඬියන් සුද්දන් තමන්ගෙ උච්චාරණ නීති රීතිවලට අනුව ථෙරාවාද කිව්වට උරණ වන්නෙ නැහැ. සුද්දන් අදින්නෙ වචනයක දෙවැනි ස්වරය. කොහොමටත් මෙයින් පැහැදිලි වෙන්නෙ බටහිරයන්ගෙ ප්‍රධාන සතුරා ථෙරවාද සංස්කෘතිය බව.

ජී එල්ලා කියන්නෙ එ ජා ප හා රනිල් ශක්තිමත් කරලා මෛත්‍රිපාලගෙ කණ්ඩායමට විපක්‍ෂයට එන්න කියලා. මෛත්‍රිපාලගෙ කණ්ඩායම ඊනියා ජාතික ආණ්ඩුවට ගිය එක වැරදියි. ඒත් තවත් අයත් යන්න උත්සාහ කළ බව අමතක කරන්න එපා. අද මෛත්‍රිපාලත් ඔහුගෙ කණ්ඩායමත් කළ වරද නිවැරදි කරගන්න පුළුවන් විපක්‍ෂෙට ඇවිල්ල එ ජා ප ආණ්ඩුවක් හදල රනිල් තවත් බලවත් කිරීමෙන් නො වෙයි. රනිල් ඉවත් කර සංධානයෙ ආණ්ඩුවක් හැදීමෙන්. මෛත්‍රිපාල එවැනි ආණ්ඩුවක් හැදීමට ආරාධනා කරනවා. ජී එල් රනිල් බලවත් කරන්න හදනවා. මා මේ ප්‍රකාශ කරන්නෙ ජනප්‍රිය මතයක් නොවන බව මා දන්නවා. මට ජනප්‍රිය වෙන්න ඕන නැහැ. 1994 දි චන්ද්‍රිකාට විරුද්ධ ව මැතිවරණයට ඉදිරිපත් වුණෙ ජනප්‍රීය වීම සඳහා නොව චන්ද්‍රිකා ජනාධිපතිනිය වීම රටට අහිතකර බව දැකලා. රඟපෑම් කතා ද රඟපෑම් වෙන්න පුළුවන්. අද රටට හිතකර ජී එල් කියන දේ ද මෛත්‍රිපාල කියන දේ ද?

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-28

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.