විශේෂාංග

නිතීපති ලග තිබු රහසිගත ලිපිගොනු අතුරුදන්! “පුට්නෝට්” කල්ලියේ කුමන්ත්‍රණය එලියට ….. බැදුම්කර හොරු බේරා ගන්න ඇමෙරිකානු විශේෂඥයින් ආනයනය කරයි…

2015 වසර ආරම්භ වන්නේ “යහපාලන”රජය බිහි වීමෙනි. එහි ආරම්භක සිය දිනයේ වැඩ සටහන අතරතුර හරියට ම එහි පනස් වන දින බැඳුම්කර මගඩිය සිදුවිය. (2015 පෙබරවාරි 27)එම බැඳුම්කර සිද්ධිය හදිසියේ ම පාර්ලිමේන්තුව විසුරුවාලීමට හේතු විය. (2015 ජූනි) ගෙවී ගිය හය මස තුළ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකි.

01 රනිල් වික‍්‍රමසිංහ අගමැති විය. එම සිදුවීම තවමත් ප‍්‍රහේලිකාවකි. එසේ සිදුවූයේ පාර්ලිමේන්තුවේ බලය, තුනෙන් දෙකක බලය, මහින්ද රාජපක්ෂ සතුව තිබියදීම ය.එම පත්වීමට පාර්ලිමේන්තුව තුළ අභියෝග යක් ලක් නොවීම එම ප‍්‍රහේලිකාවයි. ඒ වන විට, රනිල් සතුව තිබූයේ මන්ත්‍රී ආසන 42 ක් පමණ ය.

02 දෙවන අනපේක්ෂිත සිදුවීම, පරාජිත ජනාධිපති අපේක්ෂක, ජයග‍්‍රාහකයා වෙත තම පක්ෂයේ නායකත්වය හදිසියේ පිරිනැමී ම.

03 තුන්වන අනපේක්ෂිත සිදුවීම, ජනාධිපතිවරණයේ සංවිධායක බැසිල් රාජපක්ෂ හදිසියේ රටන් පැන යාම.

04 හතර වන අනපේක්ෂිත සිදුවීම, හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවාලීම, මහ මැතිවරණයක් අපේක්ෂා කළ ද විසුරුවා හැරීම පිටුපස ක්‍රියාත්මක වූයේ ”කෝප් ” කමිටු මුල් වාර්තාවයි. අප‍්‍රකාශිත ඩිව් ගුණසේකර ”කෝප්” කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වලක්වාලීමයි.

05 පස්වන අනපේක්ෂිත සිදුවීම, මහ මැතිවරණ ප‍්‍රතිඵල යයි. කිසදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයකි. 2015 ජනවාරි 08 වැනිදාට පෙර, යහපාලනයේ පුරෝගාමීන් මුල දී අපේක්ෂා කළ ආකාරයට සැලසුම් කළ ආකාරයට සිදුවීම් පෙළ ගැසුනේ නැත. ආපසු හැරි බලන විට, යහපාලනයට පාදක වූ දුෂණය ම අපේක්ෂිත වැඩ සටහන ක්‍රියාත්මක කරලීමට බාධකයක් විය. බාධකය වූයේ බැඳුම්කර මගඩි යයි. (මහා දුෂණය) යහපාලන රජය, පළමු දින පනහ තුළ දී ම දුෂණයට ම ගොදුරු විය.

මෙම බැඳුම්කර මගඩිය ණය උගුලට බද්ධ වූ සාධකයකි. එහි දේශපාලන ආර්ථිකය පරීක්ෂණයට ලක්කිරීම වෙන මම ව්‍යායාමයකි. එය පසුවට තබමු.

ඉහතින් දැක් වූ එක් අනපේක්ෂිත සිද්ධියක් වන පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට තුඩුදුන් ක්‍ෂණික හේතුව වශයෙන් අප‍්‍රකාශිත ඩිව් ගුණසේකර ”කෝප්” කමිටු වාර්තාව බව ඉවෙන් දැනුන ද සාක්ෂි ඉදිරිපත් වී නොතිබුණි.

පසුගියදා ”ඉරිදා දිවයින” (2018. 01. 14) පත‍්‍රයෙහි පළ වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ හෙළිදරව්වෙන්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූයේ ඩිව්. ගුණසේකරගේ අප‍්‍රකාශිත ”කෝප්” කමිටු වාර්තාව බව පැහැදිලි වී තිබේ. ඔහු උපන් ගෙයි ම යූ. එන්. පී කාරයෙකි. වත්මන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණගෙ මාමණ්ඩි යයි. ඔහු කවදත් කෙළින් කියන කරන ඍජු පුද්ගලයෙකි. ඔහු ඉදිරිපත් කර තිබුනේ ප‍්‍රබල ලිඛිත සාක්ෂි ය. ඒ කෙටියෙන් මෙසේ ය.

”අප‍්‍රකාශිත මුල් කෝප් කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂ එදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ නාගහවත්ත මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබීම අලූත් සාක්ෂියකි.

එය නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිස්ටර් ජෙනරාල් සහ ඇටර්නි ජෙනරාල් වෙත යොමු කර තිබූ බව අනාවරණය වී ඇත. සොලිස්ටර් ජෙනරාල්ගේ මතයේ හැටියට එම බැඳුම්කර මගඩිය අපරාධ නීති සංග‍්‍රහයේ හැටියට අපරාධයකි. එහෙත්, ඇටර්නි ජෙනරාල්වරයාගේ (හිටපු) මතයට අනුව සිවිල් නීති උල්ලංඝණයකි. ලිපිගොනු දෙකකි. 187/161/2015 (අපරාධ) සහ CF/08/2015 (සිවිල්) ලිපි ගොනු ක්‍ 187/161/2015 විවෘත කරනු ලැබුවේ සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් ය. ලිපිගොනු CF/08/2015 විවෘත කරනු ලැබුවේ හිටපු නීතිපති නොහොත් ඇටර්නි ජෙනරාල් යුවන්ජා විජේතිලකයි. විජේතිලක මහතා විසින් විවෘත කරනු ලැබූ ලිපිගොනුව ”රහස්‍ය” ලිපි ගොනුවක් වශයෙන සනිටුහන් කරනු ලැබ තිබුණි. ලිපිගොනු ව භාර සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් බව ද වර්ණකුලසූරිය මහතා ප‍්‍රකාශ කරයි. දැන් මේ ලිපිගොනු දෙක ම අතුරුදහන් වී ඇත.

හේමන්ත වර්ණකුලසූරිය මහතා තවදුරටත් මතුකර ඇත්තේ මුල කෝප් කමිටුවේ සාමාජිකයෙකු වූ සුජීව සේනසිංහ කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනට පසු දින ම කොළඹ දිසා අධිකරණයේ වාරණ නියෝගයක් ලබා ගැනීමයි. එම වාරණය වූ කලී, අප‍්‍රකාශිත ”කෝප්” වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම වාරණයට ලක් කිරීමකි. මෙහි දී වරප‍්‍රසාද කඩකිරීමක් පිළිබඳ චෝදනාවක් දපාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ද භාර දී තිබුණි. සුජීව සේනසිංහ මහතා අප‍්‍රකාශිත ”කෝප්” වාර්තාවට බිය වූයේ ඇයි? එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුජීව සේනසිංහ සහ රෝසි සේනානායත විරුද්ධ වූ බව දැන ගන්නට තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පමණක් සෑහීමට පත් නොවී දිසා අධිකරණය සහ පාර්ලිමේන්තු මහ ලේකම් වෙත වාරණ සහ වරප‍්‍රසාද තහනම් නියෝ පැතුවේ ඇයි? මෙය පිටුපස ක්‍රියාත්මක වූ බලවේග මොනවාද? ”කුඩු කෑ විත්තිය” හෙළිදරව් වීම වලක්වාලීම ද? රහස් පොලිස් වාර්තාව වලක්වාලීමට බැරිව නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අස්ථාන ගතවීම නිසා, විමර්ශන අතරමග නැවතුනි.” දෙවන ”කෝප් ” වාර්තාවට ”පාදක සටහන්” තැබීම සඳහා ”කෝප්” කමිටුවේ

දමිළ ජාතික සාමාජිකයෙකු ඉවත් කොට ඒ වෙනුවට යළි සුජීව සේනසිංහ මහතා පත් කළේ ඇයි? දෙවන වාර්තාව පිටවීමට ඔන්න මෙන්න කියාය තිබිය දී පත්කරනු ලැබූ සුජීව සේනසිංහ මහතා, හර්ෂ ද සිල්වා මහතා සමඟ ඇමෙරිකාවට පිටත් කොට ඉහළ ම මට්ටමේ වෘත්තීමය උපදෙස් අනුව ”දෙවන කෝප් කමිටු” වාර්තාවට ”පුට්නෝට්” නොහොත් ”පාද සටහන්” තැබුව ද දැන් අනාවරණය වී තිබේ. ඇමෙරිකාවේ, හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ, ”චිකාගෝ ආර්ථික විද්‍යා ගුරු කුලයට” අයත් බැඳුම්කර විශේෂඳයින්ගේ උපදෙස්වලට අනුව තැබූ එම ”පාද සටහන් ” විශේෂඥ මත වශයෙන් හඳුන්වා දෙනු ලැබේ.

බැඳුම්කර කොමිසමේ විනිසුරුවන් බැඳුම්කර විශේෂඥයින් නොවන බවට යූ. එන්. පීයේ අමාත්‍යවරුන් දැන් කියා සිටින්නේ ඉදිරියේ දී පවරනු ලබන නඩුවල දී ඇමෙරිකානු විශේෂඥයින් ආනයනය කිරීමේ අපේක්ෂාවෙන් විය හැකි ය. ”හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” යන කියමනක් ව්‍යවහාරයේ ඇත. ඉදිරියේ දී දැක ගත හැකි අප‍්‍රකාශිත දේ තව තවත් හෙළිදරව් වනු ඇත.

දැන් යූ. එන්. පී ”පුට්නෝට්” කල්ලිය. උත්සාහ ගන්නේ බැඳුම්කර කොමිෂන් සභාවේ විනිසුරුවන් අපහාසයට හා හාස්‍යයට ලක්කිරීම ය. විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට පහර එල්ල කිරීමයි. ”කොප්” කමිටු දෙක ම හාස්‍යයට ලක් කිරීමයි. අන්තිම තුරුම්පුව වී ඇත්තේ කොමිෂන් සභාව පත් කළ ජනාධිපතිට එරෙහි ව නැගී සිටීමයි.

2018 ජනවාරි 12 වානිදා පාර්ලිමේන්තුවේ දී සිදු වූ අප‍්‍රසන්න සිදුවීම පිටුපස කි‍්‍රයාත්මක වූයෙය් ද ”පුට්නෝට්” කල්ලියේ උපක‍්‍රමයකි. ඊට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කෙළින් ම සම්බන්ධ විය. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේ 2017 දෙසැම්බර් 30 වැනිදා ය. ගත වූ එක් සතියකි. ජනාධිපතිවරයා එම වාර්තාවේ අඩංගු නිර්දේශයන් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ජනතාව හමුවේ තැබූ එම වාර්තාව පාර්ලිමේන්තුවට සහ නීතිපතිට යවන බව ප‍්‍රකාශයට පත් කළේ ය. මේ අතර වාර්තාව වහාම එළි දක්වන ලෙස ඉල්ලීම් කිහිපයක් විය. ඒ සඳහා මාධ්‍ය සංදර්ශනද විය. ඒකාබද්ධ විපක්ෂය, ජේ. වී. පී. ය සහ රවි කරුණානායක ඒ අතර විය. මෙම උත්සාහය ප‍්‍රශ්නය දේශපාලනකරණය සඳහා දැරූ උත්සාහයක් ලෙස අපි දකිමු. එම තත්ත්වය රනිල් වික‍්‍රමසිංහ තම උපරිම වාසිය සඳහා යොදා ගැනීමේ කැත උත්සාහය පාරා වළල්ලක් වූ බව දැන් කිව හැකිය. පාර්ලිමේන්තුව වෙත වාර්තාව එන තෙක් ඉවසා සිටීමට ආණ්ඩු පක්ෂයට මෙන් ම විපක්ෂයට ද බැරි හේතුව කුමක්ද?

මේ අතර 2018 ජනවාරි 15 වැනිදා සඳුදා ”ද අයිලන්ඞ්” පත‍්‍රයේ පළ කර ඇති සත්‍ය මූර්තිගේ දේශපාලන ලිපිය කෙරෙහි අවධානය යොමු කරලීම අවශ්‍ය ය.පාර්ලිමේන්තුවේ ”කාලගෝට්ටිය” සිදුවූයේ 2018 ජනවාරි 12 වැනිදා දහවල් ය. ජනවාරි 13 දා නමින් ”ද අයිලන්ඞ්” පත‍්‍රය වෙත සත්‍ය මූර්ති හදිසියේ ලිපියක් සපයන්නේ ඇයි?

”සත්‍ය මූර්ති” නමින් ඉන්දියාවේ චෙන්නායි සිට ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මාධ්‍යවේදියා එම ලිපිය සපයන්නේ ජනවාරි 13 වැනිදාම ය. ඔහු ප‍්‍රශ්න කිහිපයක් මතු කරයි. ඒවා සංක්ෂිප්ත ව මෙසේ ය.

x ජනාධිපති සිරිසේන හොඳපොලිස්කාරයෙකු වෙන්න හදනවා. රනිල් වික‍්‍රමසිංහ සහ යූ. එන්. පීයේ ඇමැතිවරු නරක පොලිස්කාරයින් ද?

x කෝ සාමූහික වගකීම?

x බැඳුම්කර කොමිසම පත්කරනු ලැබුවේ අගමැති නොවිමසාය

x බැඳුම්කර කොමිසමේ අඩංගු දේ රටට හෙළිදරව් කළේ, අගමැති නොවිමසා ය.

x වාර්තාව පාර්ලිමේන්තුවට එවන බව කියා එය ඉටු කළේ නැත. අගමැතිවරයා දුෂ්කර තත්ත්වයට පත්කළා.

x එක ගෙයි කන ආණ්ඩුවක් මෙසේ ගෙන යෑමට හැකිද?

x ජනාධිපති ධුර කාලය විමසා ශ්‍රේෂ්ඨාධිකරණ ඇමතුවේ අගමැති නොවිමසා ය. එසේ කිරීමට හදිසි වූයේ ඇයි? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්
තත්ත්වය පැහැදිලි ව තිබිය දී එය තේරුම් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හදිසිය කුමක්ද?

දැන් යූ. එන්. පීයේ කෙළින් ම මතු කරන ප‍්‍රශ්න මුලින් ම විවෘත ව මතුරනු ලැබුවේ සත්‍ය මූර්ති ය. මොහු යූ. එන්. පීයේ නවත ම උපදේශක ද? එසේත් නැත්නම්,ඇමෙරිකාවේ වුවමනාවන් ඉටුකරන මාධ්‍යවේදියෙක් ද?

එම ලිපිය ”ද අයිලන්ඞ් ”පත‍්‍රයේ ම (රජයේ නොවන) පළ කිරීම ද විමසිය යුතු ප‍්‍රශ්නයකි. බැඳුම්කර මගඩිය දේශපාලන අර්බුදයක් කරා වර්ධනය වූ හැටි ගත වූ වසර තුනේ දේශපාලනයෙන් දැක ගත හැකිය.

”හොරා හොරා, කවුද හොරා, කවුද හොරා , රනිල් හොරා, කවුද හොරා මහින්ද හොරා ” සටන් පාඨ ඔස්සේ පාර්ලිමේන්තුව අද ඛේදවාචකයක් බවට පත්ව ඇත. යහපාලනය කෙළවර වන හැටි මුළු ලොව ම බලා සිටී. මෙතැන සැඟ වී ඇති ප‍්‍රශ්නය, දුෂණය පිළිබඳ ප‍්‍රශ්න යයි. ලොව පුරා පැතිරෙමින් තිබෙන මෙම පිළිකාව අද සමාජ ව්‍යයසනයකි.

දේශපාලන, ආර්ථික පැතිකඩෙන් බැලූ කළ මෙය නව ලිබරල්වාදයේ තර්කානුකූල වර්ධනයකි. ණය උගුල බැඳුම්කර මගඩිය,දුෂණය ආදී සියලූ ව්‍යයසනයන් ගලා එන්නේ නව ලිබරල්වාදය සහ ඊට අනුරූප ව ගොතනු ලැබූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළිනි.

බැඳුම්කර මගඩියේ දේශපාන ආර්ථිකය ගැඹුරින් නොවිමසා නිවැරදි නිගමනයන් ට එළඹීම පහසු නොවේ. විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්නයේ සැබෑ ස්වභාවය නොසොයා අඳුරේ අතපත ගාන බව පමණක් කිව හැකිය. මතු පිටින් පෙනෙන හැම ප‍්‍රශ්නයක් ම දේශපාලනයට ලක් කරමින් සිටිනවා මිස, ප‍්‍රශ්නයේ ස්වභාවය දෙස එබී බලන්නේ වත් නැත.

විශේෂ වාර්තාකරු

Top