Breaking
24 Feb 2025, Mon

මහින්දට,රනිල්ට,ජාත්‍යන්තරයට බය මෛත්‍රී ….තුන්බිය දුරලමු මහින්ද අගමැති කරමු

මහින්ද අගමැති කරමු කියලා අප සම්මන්ත්‍රණයක් පැවැත්වුවෙ රනිල් අගමැති වූ විගස ම. එහෙත් එය එදා ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබූ ප්‍රකාශයක් ලෙස ජනමාධ්‍ය කල්පනා නොකරන්න ඇති. අද තරමක ප්‍රවෘත්තිමය වැදගත්කමක් එයට තියෙන්න පුළුවන්. ඒත් අපේ ප්‍රකාශ ජනමාධ්‍ය ගණන් ගන්නේ නැහැ. අද මැතිවරණ ගැනත් ඊනියා සමගියක් ගැනත් බොහෝ දෙනා කතා කරනවා. ඒ සමගිය මැතිවරණ මූලික සමගියක් වීම ප්‍රශ්නයක්.

අද එ ජා ප, ජ වි පෙ, ඒකාබද්ධ විපක්‍ෂය මුස්තාෆට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගැන කතා කරනවා. මේ විශ්වාසභංග මෛත්‍රිපාලටත් විරුද්ධ ව. රනිල් ඉන්දියාවෙ ඉඳන් කතා කරන්නෙත් මැතිවරණ ගැන. එ ජා ප, ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයකට සූදානම්. ජ වි පෙ මැතිවරණ ක්‍රමය 50-50 කරගත්තට පස්සෙ මැතිවරණ ගැන කතා කරනවා. කොහොමත් ජ වි පෙ ඉන්නෙ රනිල් එක්ක. බැඳුම්කරය ගැන ජ වි පෙ කියන කතා ව්‍යාජ ප්‍රකාශ පමණයි. හැකි නම් රනිල්ට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනෙන්න.

රනිල් තවමත් නීතියෙන් වැරදි කරුවකු වී නැහැ. හඳුන්නෙත්ති කෝප් කමිටුවෙ සභාපති කෙරුවෙ රනිල්ට තිබූ විශ්වාසය උඩ. එ ජා ප කෝප් වාර්තාවට පාද සටහන් එකතු කළත් තදබල විරෝධයක් දැක්වූයේ නැහැ. කෝප් කමිටුවට කවුරුවත් වරදකරුවකු කරන්න බැරි වෙන්න ඇති. ඒ කොහොම වුණත් අද වන තුරු නීතියෙන් බැඳුම්කරය ගැන වරදකරුවකු නැහැ. රනිල් දැන් නීතියෙන් ශක්තිමත්. ජ වි පෙ මැතිවරණ ගැන කතා කරන්නෙ මැතිවරණවල දී ඡන්දය දීපු සමහරුන් මරා දමපු එක අමතක කරලා ද?

අද මෛත්‍රිපාල කණ්ඩායම ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතු වෙන්න හදන්නෙ මැතිවරණයෙන් තමන් හේදිලා යන බව දැනගෙන. එවැනි ඊනියා සමගියකට අප විරුද්ධයි. එයින් සිදුවන්නෙ එල්ලෙන්න වැලක් නැතිව ඉන්න මෛත්‍රිපාලට වැලක් සැපයීම පමණයි. අද ප්‍රශ්නය මෛත්‍රිපාලට වැලක් සැපයීම නො වෙයි. අද යුග පෙරළි කාරයන් කතා කරන්නෙත් මැතිවරණ ගිවිසුම් ගැන. ආණ්ඩුව පෙරළීම ගැන. 1947න් පස්සෙ අප ආණ්ඩු කීයක් පෙරළා දැම්ම ද?

අද මෛත්‍රිපාලට සියල්ලන් ම පහර දෙනවා. ඔහු ඉන්නේ ඊනියා ජාත්‍යන්තරයටත් බයෙන්. ඔහු මහින්දටත් බයයි. ඊනියා ජාත්‍යන්තරයේ ආධාරය ලබන රනිල්ටත් බයයි. රනිල් ඉන්දියාවෙ මෝදි එක්ක කතා කළ දේ අපට දැන ගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් එය කාලගුණය ගැන පමණක් වෙන්න බැහැ. රනිල් කර්ණාටක ප්‍රාන්තයේ කෝවිලකට ගියේ ගෝපූරම් නරඹන්න පමණ ද?

මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය ජාතිකත්ව වැඩ පිළිවෙළක් මත එකඟත්වයකට පැමිණිය යුතු ය කියා හිතනවා. අපට ඒ කිසිවක් යෝජනා කරන්න බැහැ. යෝජනා කරාට ඔවුන් අපට සවන් දෙන්නෙ නැහැ. මැතිවරණය නොව ජාතිකත්වයයි ප්‍රධාන විය යුත්තේ. ජාතිකත්වය මත එකඟත්වයකට පැමිණ මැතිවරණවලට මුහුණ දෙන එක ද්විතීයික කාරණයක්. ප්‍රධාන කරුණ විය යුත්තේ ජාතිකත්වයයි. මෛත්‍රිපාල නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම මත ඒකාබද්ධ විපක්‍ෂය සමග එකඟත්වයකට පැමිණීමට සූදානම් ද? ඒකාබද්ධ විපක්‍ෂය දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රියත්මක වන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට එකඟ ව මෛත්‍රිපාල කණ්ඩායම සමග සාකච්ඡා කරනවා ද? රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල කැමති ද?

මෛත්‍රිපාල කුමක් කළත් සිතුවත් අද ඔහුට ඇති හොඳ ම ශක්තිය මහින්දයි. ඊනියා ජාත්‍යන්තරයට මුහුණ දිය හැක්කේ චම්පක කියන බයිලා මත පදනම් ව නො වෙයි. චම්පකට ඇත්තේ රාජපක්‍ෂලා සමග ප්‍රශ්නයක්. චම්පකගේ බයිලාවලට සවන් දීමෙන් මෛත්‍රිපාලට සිදුවන්නේ තව තවත් රනිල්ගේ සිරකරුවකු වීම පමණයි. මෛත්‍රිපාල අදවත් කළ යුත්තේ ජනපදනමක් ඇති පෞරෂයක් හා ශක්තියක් ඇති මහින්ද අගමැති කිරීමයි. මහින්ද කිනම් මතභේද තිබුණත් මෛත්‍රිපාල ආරක්‍ෂා කරාවි.

මෛත්‍රිපාල කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂය සමගි විය යුත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම, රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති පදවියට පත්කිරීම යන කරුණු මුල් කරගෙන. ඒ කරුණු මුල් කරගෙන ඇති වන සමගියකින් මැතිවරණවල දී විජයග්‍රහණයක් ලැබීමට පුළුවන්. මහින්ද අගමැති පදවියට පත් කිරීමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් අවශ්‍ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එයට ඉඩකඩ තියෙනවා. රනිල් 2015 ජනවාරි නවවැනි දා අගමැති ධුරයට පත් කෙරෙන විට ඔහුට මන්ත්‍රීන් හතළිස් ගණනයි සිටියේ.

මහින්ද හැර වෙනත් අයකු අගමැති ධූරයට අද ප්‍රමාණවත් නැහැ. මහින්ද අගමැති ධුරයට පත් නොකර අද පවතින දේශපාලන තත්වයට මෛත්‍රිපාලට මුහුණ දෙන්න බැහැ. මෛත්‍රිපාල මහින්ද ගැන සිතිය යුත්තේ තමාට ශක්තියක් ලෙස මිස තර්ජනයක් ලෙස නො වෙයි.

____________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-24

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.