Breaking
23 Feb 2025, Sun

මහින්දට අවශ්‍ය රනිල් වැඩ බලන ජනාධිපති කරන්න ද? රනිල් ද චන්ද්‍රිකා ද ඉවත් කළ යුතුයි…..

මා අද ලියන්න සිටියේ ගණනාථ ද නාථ ද කියා. ගණනාථ කියන්නේ අනුකාරකයන්ගේ සේකරට, ඔබේසේකරට මිස මගේසේකරට නො වේ. මගේ සේකර බුදුහාමුදුරුවන්. නාථ කියන්නේ මතු බුදු වන නාථ දෙවියන්. මාතෘකාවෙන් අදහස් කෙරෙන්නේ ගණනාථ නාථ සමග කිසිසේත් ම සම කිරීමක් නො වෙයි. ගණනාථ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දැරූ ව්‍යාජ බටහිර බුද්ධිමතෙක්. බටහිර බුද්ධිමතකු වීමට නම් වියුක්ත සංකල්ප, ප්‍රවාද නිර්මාණය කරන්න ඕන. අපි පසුව ඒ ගැන කතා කරමු. ගණනාථත් යෙදී ඉන්නේ වක්‍ර ව වුවත් සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නමුත් සෘජු දේශපාලනයට ඉඩ දී ඔහුට මේ ලිපියෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ වෙනත් දෙදෙනකු ඉවත් කිරීම වඩා වැදගත් නිසා.

අදවත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න ඕන. ඒ එක්කම චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කරන්නත් ඕන. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න කියලා මා කියන්නෙ ඔහු අගමැති වෙච්ච අලුත ඉඳන්. එහෙත් එදා කිසිවකු ඒ ගණනකට ගත්තේ නැහැ. එය කළ නොහැකි වැඩක් ලෙස සියල්ලන් ම වගේ හිතුව. එය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති බව මා පෙන්වා දුන්නත් නීතිඥයකු නොවූ මගේ මතය කිසිවකු පිළිගත්තේ නැහැ. එහෙත් අද වන විට බොහෝ දෙනාට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන හිතන්න වෙලා.

අනූවේ දශකයේ මුල එංගලන්තයට පැන ගොස් සිටි චන්ද්‍රිකා ගෙන්වා ගැනීමට සමහරකුට අවශ්‍ය වුණා. ඒ අය ශ්‍රී ල නි පක්‍ෂයේ සිටි හෝ පක්‍ෂයට හිතවත් යැයි කී හෝ ව්‍යාජ සමාජවාදීන්. ඔවුන් අතර වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ ආදීන් සිටියා. ඔවුන්ගෙන් සමහරු අද මෛත්‍රිපාල කල්ලියේ නැහැ. ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදැන ප්‍රමිතිකරණය ගැන අයිවන් වරක් කතා කෙළේ බොහෝ අනුකාරක පුස්සන් මෙන්. තමන් කතාකරන වචනවල තේරුම් ඔවුන් දන්නේ නැහැ. මා හිතන්නේ නැහැ මහින්දට නම් චන්ද්‍රිකා ගෙන්වා ගැනීමේ වුවමනාවක් තිබුණා කියා. ඒ බව හොඳින්ම දන්නේ චන්ද්‍රිකා. ආනයනය කරනු ලැබූ චන්ද්‍රිකා සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නිරත වුණා. ඇයටත් ඇගේ අනුග්‍රහකයන්ටත් එ ජා පක්‍ෂයේ දුර්දාන්ත පාලනය වාසියක් වුණා. ජනතාවට අවශ්‍ය වී තිබුණේ එ ජා ප ආණ්ඩුව පරාජය කිරීම.

එහෙත් අප දැන සිටියා චන්ද්‍රිකාගේ හා ඇගේ අනුග්‍රාහකයන්ගේ අවශ්‍යතාව එ ජා පක්‍ෂය පරාජය කිරීම පමණක් නොවන බව. ඔවුන්ට අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදයට සන්ධීය රාජ්‍යයක් ලබා දීමයි. ඒ බව දැන චින්තන පර්ෂදයේ අප ඇයට විරුද්ධ වුණා. ඒ වන විට සෝභිත හාමුදුරුවන් චින්තන පර්ෂදයේ සභාපති හාමුදුරුවන් නො වෙයි. සභාපති හාමුදුරුවන් වූයේ බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ . චන්ද්‍රිකා ජනාධිපති වුවොත් දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරන බව අප දැන සිටියා. මාත් ඇගේ ආගමනයට විරුද්ධව 1994 මැතිවරණයේ දී ම එ පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළේ දිස්ත්‍රික්ක නායකත්වය දරමින්. එහෙත් ජනතාව අප ප්‍රතික්‍ෂෙප කළා. මට දිස්ත්‍රික්කයෙන් ම මනාප පන්දාහක්වත් ලැබණේ නැහැ. ම එ පෙරමුණෙන් තරග කළ අන් සියල්ලන්ට ම ලැබුණේ එයට අඩු මනාප.

අප කී දේ සනාථ කරමින් චන්ද්‍රිකා පැකේජය ගෙනාවා. ජී එල් පීරිස්, චම්පක හා රතන හිමියන්ගේ ආධාරය ලැබූ මංගල සමරවිර ආදීන් සුදු නෙළුම් අරගෙන ගියා. අද නෙළුම් පොහොට්ටුව අරගෙන යන බොහෝ දෙනා එදා සුදු නෙළුම් අරන් ගියා. මා හිතන්නේ දේශපාලනයේ දී මූලික වශයෙන් එකම දේ හැමදාම කියන අයට තැනක් නැහැ. ජනමාධ්‍යවේදීන් තැන ලබා දෙන්නේත් එක් එක් කාලයට විවිධ දේ කියන අයට. අවුරුදු තිහක් තිස්සේ මූලික වශයෙන් දේශපාලනයේ දී එකම දේ කීම කාගේවත් අවධානයට යොමු වන දෙයක් නො වෙයි. කෙසේ නමුත් දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය එක් වී පැකේජයට විරුද්ධව කතරගමට පා ගමන් රිය ගමන් පමණක් නොව මුහුදු ගමන් ද ගියා. පැකේජය පැරදුණා. එය පරාජය කෙළේ අප යැයි කීමට තරම් මා උද්ධච්ඡ නැහැ.

චන්ද්‍රිකා අදත් සිංහල බෞද්ධ විරෝධී. එහෙත් ඇය එය විවිධ ආකාරයෙන් කියනවා, කරනවා. අපත් ඇයත් අතර වෙනස එයයි. එදා ඇය රනිල් විරෝධියෙක්. අද ඇය රනිල් වෙනුවෙන් පෙනී සිටිනවා. කුඩා කළ ඇය රනිල් සමග එකම නැටුම් පන්තියේ ඉගෙන තියෙනවා. ඇය නටන නැටුම කුමක් දැයි රනිල් දන්නවා. ඔවුන් දෙදෙනා ම නටන්නේ එක ම නැටුම. ඒ් සිංහල බෞද්ධ විරෝධී නැටුමක්. ඇයට කිසිම ජන බලයක් නැහැ. ඇය බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඇය තම දෙමව්පියන්ට බණිනවා. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට ඇය විරුද්ධයි. එහෙත් අවුරුද්දකට වතාවක් හොරගොල්ලට ගොස් මල්වඩමක් තියෙනවා. ඇය ශ්‍රි ල නි පක්‍ෂයේ අනුශාසිකාවක් වන්නේ කෙසේ ද?

ඇය අද කියන්නේ ශ්‍රී ල නි ප හා එ ජා පෙරමුණ අතර ඇති නීති විරෝධි ගිවිසුම තවත් අවුරුද්දකින් දීර්ඝ කරන්න කියා. ඒ ගිවිසුම නීති විරෝධී වන්නේ අද පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයක් නැති නිසා. ඇය මේ කියන්නේ තව අවුරුද්දක් කල් දාගෙන තම පැකේජය ක්‍රියත්මක කරන්න කියා. ඒ පැකේජය අද එන්නේ රනිල් සුමන්තිරන් ජයම්පති ලාල් විජේනායක ව්‍යවස්ථාව ලෙස. මේ ව්‍යවස්ථාව මහා සඟ රුවන විසින් ප්‍රතික්‍ෂෙප කෙරී තිබෙනවා. පිලිපීනයෙන් මැග්සේසේ ත්‍යාගය ලැබූ අමරදේව වරක් ඇසුවේ මහ සඟ ගණ කර තිබෙන්නේ කුමක් ද කියා. අමරදේවගේ ගී මුළුමනින් ම මෙන් ඇසුවේ සිංහලයන්. එහෙත් ඔහු සේවය කෙළේ වෙනත් අයට. බොහෝ දෙනා කරන්නේ සිංහලකම, සිංහල බෞද්ධකම තම පැවැත්ම සඳහා අළෙවි කිරීම පමණයි. කොහොමටත් චන්ද්‍රිකාට අවශ්‍ය ඇගේ නැටුම් පන්තියේ සිටි රනිල් ව දුරටත් බලයේ තබා ගෙන සිංහල විරෝධී ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට.

අද කළ යුත්තේ රනිල් බලයේ තබා ගැනීම නොව ඔහු අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. එය කළ හැක්කේ මෛත්‍රිපාලට පමණයි. මෛත්‍රිපාලට හා ඔහුගේ කණාඩායමට ආණ්ඩුවෙන් කැඩෙන ලෙසට මහින්ද කරන ඉල්ලීම වැරදියි. මේ මහින්ද කරන පළමු වැරුද්ද නො වෙයි. මේ පළාත් පාලන ආයතන මැතිවූරණය ජනමත විචාරණයකුත් නො වෙයි. මෛත්‍රිපාල කණ්ඩායම එදා රනිල් අගමැති කර ඔහුගේ ආණ්ඩුවට එකතු වීම වැරදි වගේ ම අද ආණ්ඩුවෙන් කැඩීමත් වැරදියි. අද ඔවුන් ආණ්ඩුවෙන් කැඩුණොත් රනිල් වැඩබලන ජනාධිපති වෙනවා. මහින්දට අවශ්‍ය රනිල් වැඩ බලන ජනාධිපති කරන්න ද? අප එදා කීවේත් අද කියන්නේත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න කියා. ඒ සඳහා අප කොන්දේසි කිහිපයක් මේ ලිපිවලින් ඉදිරිපත් කර ඇති. එහෙත් ඒ ලිපිවලට ජනමාධ්‍ය පඬියන් ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ. ඒ කොන්දේසි මත මෛත්‍රිපාල රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ ඔහුට විශ්වාස අයකු අගමැති කර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. ඒ හැරෙන්නට අද ක්‍ෂණික ව විකල්පයක් නැහැ. එය නොකළහොත් රට අවුරුදු විසිපහකට පස්සට යනවා. නන්දිකඩාල් ජයග්‍රහණය ආපස්සට යනවා.

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-28

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.