Breaking
23 Feb 2025, Sun

මහින්ද එන පොට හොඳ නැහැ…මහින්ද ඉතිහාසයට එක්වන්නේ කවුරුන් හැටියට ද? තින්දුව ?

බටහිර ඊනියා ස්වාභාවික විද්‍යාවන්හි දීට වඩා දේශපාලනයේ දී පුරෝකථන කිරීම අමාරුයි. එයට හේතු ලෙස (හේතුව යන්නත් හිතළුවක් වුවත්) කරුණු ඉදිරිපත් කිරීමට මේ අවස්ථාව නො වෙයි. එහෙත් මේ ආණ්ඩුව බලයට පත්කෙරුවේ බටහිරයන් හා ඉන්දියානුවන් බවත් ඔවුන් එහි දී බලාපොරොත්තු වූයේ සිංහල විරෝධී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් රණවිරුවන් දඩයම් කිරීම බවත් අප කිහිප වතාවක් ම සඳහන් කර ඇති. එය කියවූ එක් පඬියකු මා වැරදි බව කීමට හොඳ ප්‍රශ්නයක් අසා තිබුණා. පඬියා අසා තිබුණේ මේ ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් ද කියා! තවත් පඬියකු කියා තිබුණේ නව ව්‍යවස්ථාව නොදැක එය ප්‍රතික්‍ෂෙප කිරීමට නොහැකි බවයි. ව්‍යවස්ථාව තවමත් සම්පාදනය කර නැත්නම් කිරිඇල්ල නම් බුද්ධිමත් නීතිඥ ඇමතිවරයා ඉන් ඒකීය බවට හෝ බුදුදහමට හෝ තර්ජනයක් නොවන්නේ යැයි කියන්නේ කෙසේ දැයි ඒ ඇමතිගෙන් ප්‍රශ්න කරනවා නම් හොඳයි.

මේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ බටහිර හා ඉන්දියානු අවශ්‍යතා මත. ඒ බව ගම්‍යවන ප්‍රවෘත්තියක් ඊයේ ජනමාධ්‍යයෙහි හා ඇතැම් වෙබ් අඩවිවල ප්‍රචාරය වුණා. ඒ ප්‍රවෘත්තිය ඇතැම් විට නිවැරදි නොවිය හැකියි. ඒ නිවැරදි වුවත් නැතත් ව්‍යවස්ථාවෙහි මූලික කෙටුම්පත බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ බව අප කියා තරමක් කල්. එහෙත් ජනමාධ්‍යවේදීන්වත් දේශපාලනඥයන්වත් ඒ ගණන් ගත්තේ නැහැ. ඔවුන්ට අවශ්‍ය දත්ත. දත්ත නැත්නම් ඔවුන් දන්නේ සිද්ධියෙන් සිද්ධියට හේතු සෙවීමට. සිද්ධි කිහිපයක ඇති අන්තර්සම්බන්ධ ඇසුරෙන් ප්‍රවාදයක් ගොඩ නගා ගැනීමට ඔවුන්ට බැහැ. ජයම්පතිලා ලාල් විජේනායකලා ඉත්තන් පමණයි. විජේනායක ඊනියා මහජන මතය විමසුවේ අහවල් දේකට ද? ව්‍යවස්ථාව දැනටමත් කෙටුම්පත් කර ඉවරයි.

මා මෙහි සඳහන් කරන දේ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එහෙත් සිද්ධි නිරීක්‍ෂණය කරන විට යම් රටාවක් මැවෙනවා. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය මේ මස අග දී රැස් වී මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සලකා බැලීමට නියමිතයි. එය ඇස් බැන්දුමක් පමණයි. බැඳුම්කර කොමිසමේ කාලයත් ඉක්මනින් ම අවසන් වේවි. කොමිසමට අගමැති කැඳවාවි ද යන්න පැහැදිලි නැහැ. කැඳෙව්වත් වෙනසක් නැහැ. එහෙත් කොමිසම ඉක්මණින් ම වාර්තාවක් ජනාධිපතිට භාර දේවි. ෆයිසර් මුස්තාෆා හදිසියේ ම අරාබි දේශයේ මුස්තාෆා මෙන් වැඩ කාරයකු වෙලා. ඔහුගේ අර පළාත් මැතිවරණ පිළිබඳ ගැසට් නිවේදනය ඉක්මණින් නිකුත් කර පන්දුව මැතිවරණ කොමිසමට දේවි. මැතිවරණ කොමිසමේ සභාපති ජනවාරියේ හා මාර්තුවේ පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අර අඳිනවා. ඔහු ස්වාධීන පුද්ගලයෙක්ලු. ඒ නිසා මේ දින ඔහුගේ ම වෙන්න ඕන. ඔහු ඒ තීරණවලට ආණ්ඩුවට ඇඟිලි ගැසීමට නොදෙන බවට අර කොල්ලන් කියන්නාක් මෙන් මෙන්න පහක්.

ආණ්ඩුව ව්‍යවස්ථාව ගැන තීරණයක් නොගෙන පළාත් ආයතන මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස් ඉදිරිපත් වේවි ද? මැතිවරණ පැවැත්වුවොත් එ ජා පෙ පරදින බව නිසැකයි. මහින්ද අමරවීර හම්බන්තොට තමන්ට බේරා ගැනීමට මොන කතා කීවත් මළ ගිය ශ්‍රී ල නි පක්‍ෂයට, චන්ද්‍රිකා තම පුතා වෙනුවෙන් අත්තනගල්ලට ගියත්, දිනන්න බැහැ. තුන්වැනි ස්ථානයට තරගය ඇත්තේ මළගිය ශ්‍රී ල නි ප හා ජ වි පෙ අතර. එය ඇප බේරා ගැනීමේ සටනක්වත් නො වෙයි. දෙගොල්ලන්ට ම ඇප නැහැ. එවැනි පරාජිත මැතිවරණ වලිින් පසුව ආණ්ඩුව ව්‍යවස්ථාව ගෙන ආවොත් ව්‍යවස්ථාව පරදිනවා. මේ ආණ්ඩුවේ මූලික කාර්යයක් වනුයේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම. එබැවින් ව්‍යවස්ථාව ළඟ දී ම පළාත් මැතිවරණවලට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ තිබෙනවා. ජනමත විචාරණයක් ද බොහෝ විට පැවැත්වීමට සිදු වේවි.

ආණ්ඩුව කෙක්කෙන් හරි කොක්කෙන් හරි ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට උත්සාහ කරාවි. ජේ ආර් දහතුන සම්මත කර ගත් හැටි රනිල් බෑණා දන්නවා. රනිල් තම මාමාගෙන් ඉගෙන ගත් දේ තවත් වැඩි දියුණු කර ක්‍රියාත්මක කරාවි. සයිටම් ආණ්ඩුවට හොඳ නිමිත්තක්. සයිටම් ගැන ඇත්තේ විකල්ප දෙකයි. එය අහෝසි කරනවා ද නැද්ද? ආණ්ඩුව එය අහෝසි කරන්නේ නැහැ. පඬි ජනමාධ්‍යවේදීන් අපට කියන්නේ ඊනියා විසඳුමක් ඉක්මණින් දිය යුතු බවයි. එහෙත් සයිටම් විරෝධීන්ට වුවමනා එක විසඳුමයි. ඒ සයිටම් අහෝසි කිරීමයි. එය විසඳුමක් නොවෙයි. සයිටම් පිළිබඳ අධිකරණ තීන්දුවත් ළඟ දී ප්‍රකාශ කරාවි. ඒ සමග වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යයන් ආදීන් කිනම් ක්‍රියා මාර්ග අනුගමනය කරාවි ද? ඇතැම් වෛද්‍යවරුන් නොදන්නවාට වෛද්‍ය සභාව බටහිර වෛද්‍යවරුන්ට පමණක් නොව දන්ත වෛද්‍යවරුන්ට, හෙදියන්ට, වින්නඹු මාතාවනට, ලියා පදිංචි වී වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන්නන්ට හා තවත් අයට ද බලපාන තීරණ ගන්නවා. වෛද්‍ය සංගමයේ එක් බටහිර වෛද්‍යවරයෙකු හෙද හෙදියන්ට අපහාස ගෙන දෙන අයුරින් කතා කළා. අද ව්‍යවස්ථාවට පක්‍ෂ ජ වි පෙරමුණත් සයිටම් විරෝධයේ පෙරමුණේ ඉන්නවා. ඔවුන් අඛණ්ඩ විරෝධතා ගැන කියවනවා. ජේ ආර් මාමාටත් තල්ලුව දුන්නේ ජ වි පෙ. ව්‍යවස්ථාවට පක්‍ෂ ජ වි පෙ රනිල්ට අවශ්‍ය තල්ලුව දෙනවා.

පසුගිය දා වෛද්‍ය පීඨවල සිසුන්ගේ දෙමව්පියන් හා සයිටම් සිසුන්ගේ දෙමව්පියන් ඒකාබද්ධ වුණා. ඔවුනුත් සත්‍යග්‍රහවලට ලක ලැහැස්ති වෙනවා. මෙහි අරුමය සයිටම් සිසුන්ගේ දෙමව්පියන්ගේ සංවිධානයේ සභාපති ගැමුණු විජේරත්න වීමයි. ඔහු ආණ්ඩු විරෝධීයකු බවට දැන ගන්නට නැහැ. ඔහු විරෝධය පාන්නේ ආණ්ඩුව නොදැන ද? මා තරමකට කලින් සයිටම් පසුපස එන සුනාමිය නමින් ලිපියක් ලිව්වා. සයිටම් උපයෝගී කරගෙන මර්දනයක් දියත් කරන්න ආණ්ඩුවට පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන්ටත් මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. අද උපරිම වශයෙන් ක්‍රියා කළ යුත්තේ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමට වුවත් ඒකාබද්ධ විපක්‍ෂය ද්විතීයිකවත් නොවන ප්‍රශ්න අරගෙන ඊනියා විරෝධතා පවත්වනවා. රක්‍ෂණ බන්ධනාගාරගත වෙනවා. ආණ්ඩුවට මර්දනයට නිමිති සපයනවා. ආණ්ඩුව මර්දනය අස්සේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න ඉඩ තියෙනවා.

ඉදිරි මාස කිහිපයේ රටේ අනාගතය විසඳේවි. බටහිරයන් හා ඉන්දියානුවන් රටේ අනාගතය විසඳනවා. අප බලාගෙන ඉන්නවා. අපේ සටන් පාඨත් එතරම් හොඳ නැහැ. අදත් මෙරට ඒකීය රාජ්‍යයක් නො වෙයි. අපේ සටන් පාඨය විය යුත්තේ ඒකීය රාජ්‍යයකට ආපසු යා යුතුය යන්නයි. බුදුසසුනට ප්‍රමුඛස්ථානය දීම යන්න නිර්වචනය වී නැහැ. අබෞද්ධයකු මෙරට ජනාධිපතිවීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ඒ ජනාධිපති සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට සුවිශේෂ සංස්කෘතිය බව පිළිගත යුතුයි. ලෝකයේ කෘත්‍රිම රටවල මිසක් අනෙක් රටවල සංස්කෘතීන් සමාන නැහැ. අද ලෝකයේ ම අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදය. අවාසනාවකට බොහෝ ජාතිකවාදීන් ද ඒ ආධිපත්‍යය පිළිගන්නවා.

ඒකාබද්ධ විපක්‍ෂය හිස ගිණි ගත්තකු මෙන් ක්‍රියා කරනු වෙනුවට ද්විතීයකවත් නොවන ප්‍රශ්න කරට ගන්නවා. සිංහල බෞද්ධ සංස්කෘතියට සුළුවෙන්වත් හානියක් වුවොත් එහි වගකීම මහින්ද රාජපක්‍ෂ දැරිය යුතුයි. කොටි සංවිධානය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද ඉතිහාසයට එක්වන්නේ කවුරුන් හැටියට ද?

 

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 14

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.