Political

මීළඟ ජනාධිපති කවුද?

Published on: Apr 16, 2018 @ 11:33- ජනාධිපති තනතුරේ ආයු කාලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු 5 කි. ඒ බව එම සංශෝධනයේ සඳහන් වන්නේ මෙලෙසය. (2) ” The President of the Republic shall be elected by the People and shall hold office for a term of five years.”.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ භාර ගනු ලැබුවේ 2015 ජනවාරි 9 වන දින බැවින් ඔහුට ජනාධිපති පුටුවේ සිටිය හැක්කේ 2020 ජනවාරි 8 වෙනදා රාත්‍රී 12 දක්වා පමණය . එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින්ද තහවුරු කර තිබේ. එබැවින් ඉන් ඉදිරියට ජනාධිපති සතු වගකීම සහ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මී ළඟ ජනාධිපතිවරණයෙන් ජයගත් පුද්ගලයා ජනධිපති පුටුවේ වාඩි විය යුතුය .

ඊ ළඟ ජනාධිපතිවරණය ලබන වසරේ (2019 ) දෙසැම්බර් මස අගදී හෝ 2020 ජනවාරි මස මුලදී පැවැත්වෙනු ඇත.

මී ළඟ ජනාධිපති අපේක්ෂකයන් කවුරුන් වෙනු ඇත්ද ?

තමා යලිත් ජනාධිපති තනතුරට යලි නොඉල්ලන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ අලුත කිව් නමුත් එම අදහස ඔහු වෙනස් කරගෙන තිබෙන බව පසු ගිය කාළයේ ඔහු කළ කි දෑ තහවුරු කර තිබේ .විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම ඇතුලත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඔහුට මුල් කාලයේ දැඩි උවමනාවක් තිබුණු නමුත් ඒ පිළිබඳව දැන් ඔහු කතා කිරීම නවතා දමා තිබේ. සිරස මාධ්‍ය ජාලය සිරිසේන මාධ්‍ය ජාලයක් බවට පත්වී තිබෙන්නේ ඉබේ නොවේ. අඩු මුදලකට සිරසට සංඛායත විකිණීම ගැන චෝදනාවක්ද ජනාධිපතිවරයාට එල්ල වූ අතර සිරසේ පක්ෂපාති හැසිරීම එය සත්‍යයක්විය හැකි බවට ඒත්තු ගන්වයි . ඒ අතර ජනාධිපතිවරයා සහ ගෝඨාභය අතර විශේෂ සම්බන්ධතාවයක් තිබෙන බවත් මී ළඟ ජනාධිපතිවරණයේදී ගෝටා ගේ සහය ලබාගෙන මෛත්‍රිපාල මහතා යලිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ආරංචි පැතිරෙමින් පවතී .

කෙසේ වෙතත් සිරිසේන මහතා ගොණාට අන්දවා අවසාන මොහොතේදී ජනධිපති අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය මහතා ඉදිරිපත් වීමටද ඉඩ තිබේ.එහෙත් එයට තිබෙන ප්‍රධාන බාධාව වන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවයයි . ඒ කෙසේ වුවත් ඒකාබද්ධ විපක්ෂයේ ඒකමතික සහයෝගය ඔහුට ලැබෙන්නේ නම් ජනධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඔහු සුදානම් බව වරක් ප්‍රකාශ කර තිබුණි . එතෙක් ඇමරිකානු පුරවැසි භාවය අත හැරීමට ඔහු සුදානම් නැති බව පැහැදිලිය .

එක්සත් ජාතික පක්ෂයේ ජනධිපති අපේක්ෂකයා කවුදැයි කීමට තවම කල් වැඩිය .රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ඉදිරිපත් විය යුතුයැයි ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයන් විශ්වාස කරන බව පෙනේ. එහෙත් ඔහුට හොඳ තරග කාරයෙකු වීමට නම් තව යායුතු දුර බොහෝය . තමන්ගේ පාක්ෂිකයන් සමග වුවද ළඟ සුහතාවයක් ඇති කර ගැනීමට නොවෙහෙසෙන , ආරංචි වෙන වෙන ,මඟුල් ගෙවල් , මරණ ගෙවල් , බණ ගෙවල් , ගෙවල් වලට යාමට වැඩි උනන්දුවක් නැති , පන්සල් වන්දනාවේ යාමට එතරම් ආසාවක් නැති , බොරු දරු හුරතල් පෙන්වීමට වෙහෙස නොවෙන ඔහුට චන්දදායකයන් අතර ජනප්‍රිය වීමට පහසු නැත . ලංකාවේ මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එවැනි ව්‍යාජ නායකයන්ටය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පසු ගිය දිනක කියා තිබුණි .ඔහු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බැවින් ඔහුට ඒ සඳහා පක්ෂයේ අනුමැතිය ලැබිය යුතුය .ඔහුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වේගයෙන් දුව ගොස් මහජනයා අතර ජනප්‍රිය ලබා ගැනීමට සිදුවේ . එවැනි හැකියාවක් ඔහුට තිබේදැයි සැක සහිතය . රනිල් කලබලයකින් තොරව පරිණත ලෙස හැසිරෙන නමුත් සරත් ෆොන්සේකා මහතා තවමත් කටයුතු කරන්නේ හැඟුම් බරවය .ඔහුගේ දිව පාලනයකින් තොර බැවින් තවමත් ඔහු නැති සතුරන් හදා ගනී .කෙසේ වෙතත් හිතා මතා අදහස් ප්‍රකාශ කිරීමට ඔහු දැන් පුහුණු වෙමින් සිටින බව පෙනේ .

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මී ළඟ ජනධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරපත් වෙන බවක් කියා නැතත් ඔහුගේ පක්ෂය ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඉඩ නැතැයි කිව නොහැක .එහෙත් එවැන්නක් සිදුවිය හැක්කේ ඔහුගේ පක්ෂය බොහෝ දුරට සාකච්චා කිරීමෙන් පසුවය .කෙසේ වෙතත් අනුර කුමාර මහතා ජනාධිපතිවරයා වුවහොත් රටට දැනෙන වෙනසක් කරන බවට සැකයක් නැත . ධනපති ක්‍රමය තුළ මහජනයා වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ඔහු උත්සාහ කරනු ඇත .එහෙත් ප්‍රශ්නය වන්නේ මහජනයා අතර ජවිපෙ ජනප්‍රිය නොවීමය. 1987-90 සමයේ ජවිපෙ ක්‍රියා කලාපය නිසා මහජන ප්‍රසාදය ලබා ගැනීම ඔවුන්ට ඉතාමත් අසීරු වී තිබේ . කෙසේ වෙතත් ජවිපෙ අපේක්ෂයකයෙකු ඉදිරිපත් වීමෙන් රාජපක්ෂ පවුලේ අපේක්ෂකයෙකුට වාසියක් සිදුවීමට ඉඩ තිබුන හොත් ජවිපෙ තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබෙන ඉඩකඩ ඉතා අඩුය.

ඇතැමෙකුට අනුව පාඨලී චම්පික රණවක මහතාද මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට දොළ දුකෙන් පසු වේ. ඔහු නියෝජනය කරන ජාතික හෙළ උරුමය කුඩා පක්ෂයක් වන බැවින් ඔහුගේ සිහිනය මස්තකප්‍රාප්ත කර ගැනීම පහසු නැත . එක්සත් ජාතික පෙරමුණේ සිටියද එහි සහය ලබාගැනීම අතිශයින් දුෂ්කරය .පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඔහු අපේක්ෂා කරනවා වීමටද පුළුවන.එහෙත් එය ලෙහෙසි පහසු සෙල්ලමක් නොවේ.පොදු අපේක්ෂක කම නමැති වික්‍රමය ජය ගත්තද දෙමල සිංහල චන්ද ලබා ගැනීමට ඔහු සුදුසුකම් සපුරා නොමැත . ඔහුගේ මතවාදය සිංහල ප්‍රේමය බැවිනි.

අයුක්තියට එරෙහිව තනිවම සටනකට බැස සිටින නීතිඥ නාගානන්ද කොඩි තුවක්කු මහතා මී ළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියා තිබේ .ඔහුගේ අපේක්ෂාව ජයග්‍රහණය නොව අයුක්තියට එරෙහිව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය යොදාගනිමින් තම සටන වඩාත් ප්‍රබලව ගෙන යාම විය හැක .

ජනාධිපතිවරණයේදී කවුරු ජයග්‍රහණය කරනු ඇත්දැයි කීමට තවම කල් වැඩිය. නිවැරදි අනාවැකියක් කිව හැක්කේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට ආසන්නයේදී පමණි .කෙසේ වෙතත් සිංහල චන්ද දායකයන්ගේ චන්ද වලින් පමණක් ජනාධිපති වීමට කිසිවෙකුට නොහැක .එවැනි අවස්ථාවක් තිබුනේ 2010 දී පමණි . එයට හේතුව මහින්දගේ ආණ්ඩුව යුද්ධයෙන් ජයගත් බැවින් ඔහු එකල අතිශයින් ජනප්‍රිය වී සිටින නිසාය .අනෙත් කාරණාව වුයේ ඔහු සමග තරඟ කළ සරත් ෆොන්සේකා මහතාගේ විස පොවන ලද කතා චන්ද දායකයන් තුල ඔහු කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමය.

මී ළඟ ජනාධිපතිවරණයෙන් ජය ගත හැක්කේ සිංහල ජනයා අතර මෙන්ම දෙමල සහ මුස්ලිම් ජනයා අතරද ජනප්‍රිය පළමු පෙලේ අපේක්ෂකයෙකුට පමණි එබැවින් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් අපේක්ෂා කල හැක්කේ ඔහුගේ ජයග්‍රහණය නොව පරාජයයි . දෙමළ ජනයා තුළ පමණක් නොව මුස්ලිම් ජනයා තුලද ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඇත්තේ කැමැත්තක් නොව අප්‍රසාදයකි .

ප්‍රේමලාල් රණවීරගේ

Top