Breaking
23 Feb 2025, Sun

මෛත්‍රිගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය

චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රි සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල ය. රනිල්ට හා ඔහුගේ ගෝලයා වූ චම්පකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි අයකු අගමැති ලෙස පත්කරයි. ජනාධිපති ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට බැඳී නැත. මෛත්‍රිපාල සිරිසේනගේ වචනවලින් ම කියන්නේ නම් මේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදයකි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විධායක ජනාධිපති බලතල කැපී පාර්ලිමේන්තුවට බලය ලැබීණි යැයි සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයීය සාමාජිකයෝ රට දෙවනත් කළහ. එහෙත් තවමත් අගමැති පත්කරන්නේ ජනාධිපති මතය පරිදි ය. මෛත්‍රිපාලගේ කුප්‍රසිද්ධ ජඩ ජූලි ප්‍රකාශනයෙන් කියැවුණේ ඔහු කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් නොකරන බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු මැතිවරණයට ද පෙර පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ කාහට ද යන්න පිළිබඳ තම මතය සකස් කර අවසන් ය.

අගමැති පත් කිරීමේ දී බලපාන්නේ ජනාධිපතිගේ මතය බව පැහැදිලි ය. එහෙත් පෘථග්ජනයකු මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමටත් පෙර වැඩි දෙනාගේ කැමැත්ත ඇත්තේ (නැත්තේ) කාහට දැයි දැන ගත්තේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එය බම්බු ප්‍රජාතන්ත්‍රවාදයටවත් එකඟ නො වේ. පැහැදිලි ව ම මෛත්‍රීපාලගේ මතයට අනුව මහින්දට නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් නැත.

මෙයින් කියැවෙන්නේ මෛත්‍රිපාල වෙනත් අය (තමන් පොදු අපේක්‍ෂකයා බවට පත්කළ බටහිරයන් ඉන්දීයයන් ආදීන්) සමග මහින්ද අගමැති ලෙස පත් නොකිරීමට එකඟතාවකට දැනටමත් පැමිණ ඇති බව ය. මේ එකඟතාව දේව කැමැත්තක් ලෙස සැලකීමට රනිල් හා චම්පක අපට කියයි. ඔවුන් කියන්නේ මහින්දට ඡන්දය දීමෙන් පළක් නොවන බව ය. ඔවුන් නොකියා කියන්නේ මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත්කරන බවත් එබැවින් සංධානයට ඡන්දය දීම ඵල රහිත බවත් ය.

මෙරට අගමැති කවුද යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ මෙරට ජනතාව මිස මෛත්‍රිපාලවත්, රනිල්වත්, විදේශීය රටවල ඔත්තු සේවාවල නිලධාරීන්වත් නො වේ. මෛත්‍රිපාල සත පහකට විශ්වාස නැති පුද්ගලයකු බව අපි මුල සිට ම කීවෙමු. මෛත්‍රිපාලගේ හා මහින්දගේ ඊනියා සම්මුතිය ජයග්‍රහණයක් ලෙස සංධානයේ ඇතැම් නායකයන් පෙන්වද්දී අප කියා සිටියේ එයින් මුළා නොවිය යුතු බව ය. මෛත්‍රිපාල අද එන්නේ මොකාටද යන්න දැනගැනීමට ඊනියා දේශපාලන විචාරකයකු වීම අවශ්‍ය නො වේ.

මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම් ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය. අදත් පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කරන ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ වෙති. ඔවුහු බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරමින් ඔවුන් ඇමති තනතුරු අත්හරින්නේ ද නැද්ද යන වග ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව ගත යුතු යැයි කියමින් කල් මරති. ඔවුන්ට අවශ්‍ය නම් කාගෙන්වත් නොඅසා තනතුරු අත්හැරිය හැකි ය.

ජනතාවට මෛත්‍රිපාල පැරදවිය හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාලට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග කටයුතු කරන සංධානයේ අපේක්‍ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද අගමැති නොවන බවට මෛත්‍රිපාල වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය.

මෙය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමක් නො වේ. පක්‍ෂයට ද්‍රොහිකම් කර පක්‍ෂය ඝාතනය කළ සෝමාරාම පරදවා ශී්‍රී ල නි පක්‍ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්‍ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද සමග මිස ඝාතකයන් සමග නො වේ.

නලින් ද සිල්වා

2015 ජූලි 26

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.