Breaking
24 Feb 2025, Mon

මෛත්‍රිපාල මොන තරම් ද්‍රෝහිකමක් කළත් රටේ ප්‍රධාන ප්‍රශ්නය රනිල් මිස මෛත්‍රිපාල නො වෙයි

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් අමන කතා කියන්න පටන් අරන්. පළාත් පාලන මැතිවරණ වැදගත් බව ඇත්ත. එහෙත් එහි අරමුණ කෙසේ නමුත් අදාළ ආයතනයේ සභාපති ධුරය හෝ නගරාධිපති ධුරය හෝ ලබා ගැනීම නො වෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් අය කටයුතු කරන්නේ බෞද්ධයන් නත්තල සැමරිය යුතු ය යන අදහස දරුවන්ට ලබා දෙන රූපවාහිනි නිවේදක නිවේදිකාවන් මෙන්. මේ නිවේදිකාවක් අහනවා කුඩා බෞද්ධ දරුවකුගෙන් නත්තලට නත්තල් ගහක් සරසන්නේ නැත් ද කියා. කුඩා බෞද්ධ දරුවන් නත්තල් ගීතවලින් මත් කරනවා.

අප අන්‍යාගම්වලට ගරු කරනවා. එහෙත් ඒකෙන් කියන්නේ නැහැ අප සංස්කෘතික ආධිපත්‍යයකට යටත් විය යුතු ය කියා. මේ අද හීනමානයෙන් පිරි ඊනියා උගතුන් වැටී ඇති තැන. ඉංගිරිසි පාලනයෙන්, ක්‍රිස්තියානි අධ්‍යාපනයකින් කළ නොහැකි වූ දේ අද රූපවාහිනී මාධ්‍යය හරහා සිදු වෙනවා. අපේ දේ රැකගන්නවා කියමින් අපේ සංස්කෘතිය නැති කිරීමට කටයුුතු කරනවා. මේ ආයතනවල ඉහළ තනතුරු දරන අය ගැන ප්‍රශ්න තියෙනවා. අද ඊනියා උගතුන් තමන්ට පළල් දැක්මක් ඇති බව කීමට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය වැළඳ ගන්නවා.

ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ටෙල්අවිව් නොව ජෙරුසලම තෝරා ගැනීම පිළිබඳ ව මේ උගතුන් කියන්නේ කුමක් ද? බටහිර ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක්. හිට්ලර්ට වැරදුණේ ඔහු යුදෙව්වන්ට විරුද්ධව ගිහින්. බටහිර ලෝකය ෂේක්ස්පියර්ගේ මර්චන්ට් ඔෆ් වෙනිස් කෘතියෙන් සංස්කෘතික ව ඉවත් වී බොහෝ කල්. හිට්ලර් ඒ බව දැන ඉන්න නැතිව ඇති. ට්‍රම්ප්ගේ බෑණා, දුවගේ ස්වාමි පුරුෂයා යුදෙව්වෙක්. ට්‍රම්ප්ගේ ජාතිකත්වයේ සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ප්‍රභේදය. නත්තලට ජෙරුසලම වැදගත්. ජෙරුසලම අයිති කාට ද? ක්‍රිස්තියානින්ට ද, යුදෙව්වන්ට ද, මුස්ලිමුන්ට ද? යේසුස් වහන්සේ ඉපදුණේ යුදෙව් පවුලක. එකල මුස්ලිමුන්වත් ක්‍රිස්තියානින්වත් ලෝකයේ හිටියේ නැහැ. බෞද්ධයන් නම් හිටියා. එකෙන් වැඩක් නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට එ ජා ප සමග එකතු වෙන්න කැමතියි. මා අහන්නේ නැහැ එහෙනම් මෛත්‍රිපාල රනිල් සමග ආණ්ඩුවක් පිහිටුවීමේ ඇති වරද කුමක් ද කියා. එලෙස තර්ක කරන්නේ දේශපාලනඥයන්. ඒ තර්කයේ, නැත්නම් ප්‍රශ්නයේ වැදගත් කමක් නැහැ. සංදර්භ නොසලකා සාදෘශ්‍යයෙන් තර්ක කිරීම වැරදියි. එය දේශපාලනඥයන්ට, ජනමාධ්‍යවේදීන්ට හා නීතිඥයන්ට නම් ගැලපෙනවා. අද ලෝකය පාලනය කරන්නේ ඒ අය.

ලෝකය අද යම් ආකාරයකින් සිංහල බෞද්ධ සංස්කෘතියට යෑමට සූදානම්. එහෙත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය එයට අකුල් හෙළනවා. අද ලෝකය ප්‍රවාද මත නොව දත්ත මත, මධ්‍යගත ආයතන හා නායකයන් මත නොව ධර්මය මත (මා විමධ්‍යගත කියන බහුබූත සංකල්පය යොදා ගන්නේ නැහැ), ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මත නොව ජාතිකත්වය මත, එහෙත් වියුක්තය තරමකටවත් පදනම් වූවක් බවට පත්වෙමින් සිටිනවා. ඒ කෘත්‍රීම බුද්ධිය, බිට්කොයින් (ගුප්ත මුදල් හෙවත් ක්‍රිප්ටොකරන්සි), දත්ත හා වේගවත් ක්වොන්ටම් පරිගණක මත පදනම් වූ ලෝකයක්. එය වඩාත් සමීප වන්නේ සිංහල බෞද්ධයනට. එහෙත් සිංහල බෞද්ධයන් තරමක් වුවත් වියුක්ත ව හිතන්න පුරුදු වෙන්න ඕන.

පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම මූලික ප්‍රශ්නය නො වෙයි. බලය ලබා ගැනීම සඳහා එ ජා පක්‍ෂය/පෙරමුණ සමග එකතු වන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂයට නැත්නම් පොහොට්ටුවට ඡන්දය දීමේ දී නැවත වරක් හිතන්න වෙනවා. පොහොට්ටුවේ සංස්කෘතිය කුමක් ද? ඒකාබද්ධ පක්‍ෂයේ මෙලෙස කියන්නන් අතර ජාතිකත්වයක් නැහැ. ඔවුන් ලිබරල් වෙන්න පුළුවන්. මාක්ස්වාදී වෙන්න පුළුවන්. ඒ කුමක් වුවත් ඔවුන් සිංහල බෞද්ධ නො වෙයි. සිංහල බෞද්ධ පවුල්වල ඉපදුනත් ඔවුන් සිංහල බෞද්ධ නො වෙයි. ඔවුන්ගේ සංස්කෘතිය අර රූපවාහිනී නිවේදක නිවේදිකාවන්ගේ සංස්කෘතිය. ඔවුන්ටත් සමහර විට ඊනියා පළල් මානසිකත්වයක් ඇති. මේ ඊනියා පළල් මානසිකත්වය අන් කිසිවක් නොව දීනකම. බලයට, ප්‍රසිද්ධියට ඇති කෑදරකම. එ ජා පෙරමුණට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ ඡන්දයක්වත් ඊනියා ජාත්‍යන්තරවාදීන්ට මනාපයකවත් දිය යුතු නැහැ.

මැතිවරණය පදනම් කර ගෙන නොව ජාතිකත්වය පදනම් කර ගෙන මහින්දට හා මෛත්‍රිපාලට එකඟත්වයකට පැමිණීමට තවමත් ප්‍රමාද නැහැ. එහි දී ප්‍රධාන විය යුත්තේ පළාත් පාලන ආයතනයක සභාපතිකම, මන්ත්‍රීකම නො වෙයි. ජාතිකත්වය හා ජාතිකත්වය පමණයි. ජාතිකත්වය වෙනුවෙන්, සභාපතිකම මන්ත්‍රීකම අත්හැරීමට හැකි විය යුතුයි. මෛත්‍රිපාල මොන තරම් ද්‍රෝහිකමක් කළත් රටේ ප්‍රධාන ප්‍රශ්නය රනිල් මිස මෛත්‍රිපාල නො වෙයි. රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම අපේ න්‍යාය පත්‍රයෙහි ඉතාමත් ඉහළින්, අනෙක් සියල්ලට ඉහළින් ඇති අංකය. පළාත් පාලන ආයතන මැතිවරණත් යොදා ගත යුත්තේ ජාතිකත්වය පදනම් කරගෙන මිස පෞද්ගලික ආරෝවන් මුල් කරගෙන නො වෙයි.

මෙරට ඇත්තේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම කෘත්‍රිම බුද්ධිමතුන්. ඔවුන්ට කෘත්‍රිම බුද්ධියේවත් කළ හැකි නිර්මාණයක් නැහැ. ඔවුන් දන්නේ අනුකරණය හා අනුකරණය පමණයි. අවාසනාවකට දේශපාලනඥයන් උපදෙස් ගන්නේ මේ ජාත්‍යන්තරවාදී අනුකාරකයන්ගෙන්.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-08

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.