LNN SPY

මෛත්‍රී,රනිල්,කරු රහසිගත හමුවක! ආණ්ඩුව කඩන්න මම කුමන්ත්‍රණය කලේ නෑ කරු ඇදන් වැටේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසුරිය යන මහත්වරුන් කොළඹ සුවිශේෂී ස්ථානයක දී පෙරේදා (30) උදැසන රහසිගතව හමු වී විශේෂ සාකච්ඡාවක් කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන ගැටුම්කාරී සහ අර්බූදකරී තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් මත ගැටුමක්,විරෝධයක් හෝ අවිශ්වාසයක් ඇති වී තිබෙන්නේ නම් ඒ සියල්ල සමතයකට පත් කර යළි විශ්වාසය සහ සමගිය තහවුරු කිරීමේ අරමුණින් මේ විශේෂ රහස් හමුව සිදුව ඇත්තේ කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය,සම්ප්‍රදාය,විනය සහ නීතිය තහවුරු කර ආරක්ෂා කිරීමට කටයුතු කරන තමාට කිසිදු ඉදිරි දේශපාලන අරමුණක් හෝ ඉලක්කයක් නොමැති බවත් තමා කිසිවිටකත් පටු දේශපාලනයක නොයෙදෙන බවටත් කතානායක කරු ජයසුරිය මහතා එහිදී අවධාරණය කර තිබේ.

කරු ජයසුරිය මහතා මෙසේ කරුණු පැහැදිළි කර ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඔහු සම්බන්ධයෙන් ද පැතිර යන දේශපාලන ආරංචි නිවැරදි කර ජනාධිපතිවරයාත්,අගමැතිවරයාත්,කතානයකවරයාත් අතර විශ්වාසය වඩාත් තහවුරු කිරීම සඳහාය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර යම් ගැටුමක් තිබෙන බවට මතයක් නිර්මාණය වුණොත් ඒ තත්ත්වය හේතුවෙන් විදේශීය යෝජන සහ සහයෝගය ද යළි අහිමි වී රට ආර්ථික වශයෙන් කඩා වැටී දේශපාලන සහ සමාජ අර්බූද මතුවී යහ පාලන අරමුණු බිඳ වැටෙනු ඇතැයි කරු ජයසුරිය මහතා එහිදී පෙන්වා දී තිබේ.

එම කාරණය සම්බන්ධයෙන් ද උද්ගත වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන විරුද්ධවාදීන් ලබා ගන්නා වැසි සහ ඊට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද එම නායකයින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එමෙන්ම බැඳුම්කර ගනු දෙනුවට ද බරපතළ දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට ද අදාළ ජනාධිපති කොමිසන් සභා වාර්තා සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය වගේම ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන බවට ආරංචි පැතිර යන දෝෂාභියෝගය ආදී කරුණු කාරණා ගැන ද එහිදී සාකච්ඡා කර තිබේ.

(සුජිත් මංගල ද සිල්වා)

Top