LNN SPY

යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා පොලිසිය ඝාතනය කරලා…. පොලිසියේ බොරු අතේ පත්තු වෙයි… සියල්ල ජාතිවාදයෙන් බේරා ගන්න හදලා

Published on: Aug 6, 2018- පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් 2016 වසරේදී මිය ගිය යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා මත්පැන් පානය කර සිටි බවට පොලිසිය කළ කරුනු දැක්වීම සාවද්‍ය බව පසුගියදා අධිකරණයේදී අනාවරණය වුනා.

එම සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් නිකුත් කළ මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණ වන තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් මෙම කරුනු සනාථ කරන්නට සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥවරු සමත්ව තිබේ.

එම මරන පරික්ෂණ වාර්තා අනුව දැක්වෙන්නේ මිය ගිය එක් සිසුවෙකුගේ පපු ප්‍රදේශයට එල්ලවූ රයිෆල් උණ්ඩයක් හේතුවෙන්ද අනෙක් සිසුවාගේ පපුව අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන්ද මරණ සිදුව ඇති බවයි. මෙම වෙඩිතැබීමෙන් මරණයට පත්වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නඩරාජා කජන් සහ විජය කුමාර් සුලක්ෂන්ය. 2016 ඔක්තෝබර් 21 වැනිදා අලුයම යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොකුවිල් ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් ඔවුහු මරණයට පත්ජී වූහ. ඔවුන් ගමන් කළ යතුරුපැදිය අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බවද ඔවුන් මත්පැන් පාලනය කර සිටි බවද එවකට පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

පසුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ පොලිස් රියදුරුවරයෙක් ඇප මත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය යූ.මයුරදන් මහතා විසින් මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරණ ලදී. පොලිසිය ඒ දිනවල පැවසුවේ සිසුන් එම අවස්ථාවේ බීමතින් සිටි බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන කරුනු අනාවරණය විමෙන් පොලිසිය ව්‍යාජ ලෙස කරුනු දක්වා අධිකරණය නොමග යවා ඇති බව සනාථ විය.

එහි දැක්වෙන්නේ යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන් සිසුවාගේ මරණය සිදුවන විට ඔහුගේ අමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 750 ක් පමණ තිබූ අතර මත්පැන් දක්නට නොලැබුණු බවයි. යතුරුපැදිය නොනවත්වා ධාවනය කළ අවස්ථාවේ වෙඩි තැබූ බව පොලිසිය ප්‍රකාශකළ ද යතුරුපැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන්ගේ පපුවේ තනපුඩුව අසලින් උණ්ඩය ඇතුළු වී ඇති බවත් උණ්ඩය ඇතුළුවූ ස්ථානයේ සෙන්ටිමීටරයක පමණ වට ප්‍රමාණයකින් යුත් සිදුරක් තිබූ බවත් මරණ පිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ ශරීරයේ විවිධ ස්ථානවල කැපුම් තුවාල 3ක්, සීරීම් තුවාල 14ක් සහ අස්ථි බිඳීම් 2ක්ද හඳුනාගෙන ඇති බව මීට අමතරව එහි දැක්වේ. යතුරුපැදියේ පසුපස ගමන් කළ නඩරාජා කජන් මරණයට පත්වන අවස්ථාවේ ඔහුගේ ආමාශයේ ජීර්ණය නොවූ ආහාර ග්‍රෑම් 600ක් පමණ තිබූ බවත් මත්පැන් පානය කළ බවට හඳුනාගත නොහැකි බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එහි දැක්වෙන්නේ ඔහුගේ සිරුරේ විවිධ ප්‍රමාණයේ කැපුම් තුවාල 7ක්ල සීරීම් තුවාල සහ අස්ථි බිඳුම් ද හඳුනාගත හැකි බවයි. ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ තියුණු නොවූ වැදීමකින් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් නඩරාජා කජන්ගේ මරණය සිදුවී ඇති බවයි.

ඇත්ත කතාව…..

යාපන ශික්ෂණ රෝහල්ආරංචි මාර්ග අනුව වෙඩි වැදුණු සුලක්ෂන් ගේ පපුවට, උදරයට හා හිසට තුවාල සිදුවී තිබිණි. සිදුවීමෙන් මිය ගිය ගජන් යතුරු පැදියෙන් විසිවී හිසට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇත .ඔහුගේ සිරුරේ තිබී වෙඩි උණ්ඩයක් සොයාගත් නමුත් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නොවන බව මරණ පරීක්ෂණයේ සදහන් වෙයි. එම උණ්ඩය සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන හා ගජන්ගේ සිරුරට ඇතුල් වී ඇති බව සොයා ගත හැකි විය.

මෙම හෙලිදරව්ව නිවැරදි නම් අණ නොතකා ගමන් කළ නිසා වෙඩි තැබූ ගියබව කියන කතාව පොලිසිය විසින් සැකසු කතාවක් යැයි සිතීමට තරම් විශාල සැකයක් මතුවෙයි. පොලිසිය සැබවින්ම පලා යන සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබුවානම් ගජන්ට වෙඩි නොවැදී පාපැදිය පැදවු සුලක්ෂන්ට වෙඩි වැදුනේ කෙසේද.සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන එය ගජන්ගේ සිරුරේ වැදුනේ කෙසේද?

එදින එම පොලිස් කණ්ඩායම රාත්‍රී දහයට පමණ කුලප්පිඩි හන්දියට පැමිණි ඇත. උප පොලිස් පරික්ෂක දිසානායක හා සැරයන් පී.එස් ජයවර්ධන සතුව පිස්තෝල දෙකක් හා කොස්තාපල් චන්දන හා ලක්නාමාන්න සතුව ටී56 තුවක්කු තිබුණු බවත් කොස්තාපල් නවරත්න නිරායුදව සිටි බවත් එම පොලිස් නිලධාරීන් කටඋත්තර ලබා දී ඇත.

තරුණ පිරිස් අතර සිදුවන අපරාධ ගැන විමසිල්ලෙන් සිටි බවත් යතුරු පැදි වල යන රස්තියාදු තරුණයන් පිළිබද වැඩි අවධානයකින් සිටි බවත් කටඋත්තරයේ සදහන් වෙයි.රාත්‍රී 11.40ට පමණ තාවඩි හන්දියේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් පණිවුඩයක් ලැබී තිබෙන අතර අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් කුලප්පිඩි දෙසට පැමිණෙන බව ඉන් කියා ඇත.පණිවුඩය ලැබුණ විගස දිසානායක සහ ලක්මාන්න කිහිප දුරක් ඉදිරියට ගිය බවත් අනිත් නිලධාරීන් තිදෙනා වාහනය නවතා තිබූ තැන සිටි බවත් සදහන් වෙයි.

11.45ට පමණ යතුරු පැදියක් පැමිණ ඇති අතර නතරවන ලෙස සඥ්ඥා කළ පසු යතුරුපැදිකරු වේගය බාල කර මද දුරක් පැමිණ නැවත වේගය වැඩි කරමින් සිග්-සැග් අකාරයට පාර පුරා ධාවනය කර ඇතැයි ද කියයි.පොලිස් කොස්තාපල් නවරත්න වෙඩි තබන ලෙස චන්දන ට පවසා තිබෙන අතර උප පොලිස් පරීක්ෂක දිසානායක සහ සැරයන් ජයවර්ධන අණ දී නැතිවත් ඔහු වෙඩි තබා ඇත.වෙඩි වැදී යාර 30ක් පමණ ගොස් යතුරුපැදිය තාප්පයක වැදී පිටුපස ගමන් ගත් පුද්ගලයා විසි වී හිස තාප්පයේ වෑදී ඇති බවත් කටඋත්තරයේ සදහන් වෙයි

යතුරුපැදියේ ගමන්ගත් සිසුන් දෙදෙනා ආයුධ සම්පන්න බව සිතා වෙඩි තබන්නට ඇති බවත් ඔවුන් ආයුධ රහිත බව දැනගැනීමෙන් කලබල වූ පොලිස් නිලධාරීන් ඉන් තමන්ට ප්‍රශ්නයක් ඇති වේයැයි බිය වී සිද්ධිය වසන් කිරීමට ක්‍රියා කර ඇති බව වාර්තා වෙයි.බිම තිබූ හිස් පතොරම් සහ හිස් උණ්ඩ අහුලා සාක්සි විනාශ කිරීමට උත්සහ ගෙන ඇති බවත් ඉන් පසු ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වෙයි.මේ පිළිබද යාපන පොලිස් මූලස්ථානයට ව්‍යාජ වාර්තාවක් ලබා දී ඇති අතර එම වාර්තාව කොළඹ පොලිස් මූලස්ථානයටද එවා ඇත.

සිද්ධිය ඇසින් දුටු කිසිම කෙනෙකු නැති අතර ඒ අසල තිබූ සීසීටීවී කැමරා දෙකක දර්ශන ද පොලිසිය විසින් පරීක්ෂණ සදහා ලබාගෙන තිබේ.

Top