LNN SPY

රනිල් යන්න සුදානම්!.. ජනාධිපතිවරණයේදී වගකීම ඉටු කළ නොහැකිනම් යනවා… රනිල් සංවේදී වෙයි… ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය හිමිවන වගන්තියක් නෑ ….. සජිත්ට කහ එලියක්! …

Published on: Sep 12, 2019-අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පැවැසීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාශ වල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේදී අද උදැසන හමුවූ අවස්ථාවේදීය.

හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සව සඳහා මන්නාරමට පිටත්වයාමට පෙර අරලියගහ මැදුරේදී ඉහත හමුව පැවැත්විණි.

පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ අකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරයද සිහිපත් කර සිටියේය.

පක්‍ෂ නායක ලෙස පක්ෂයත් පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී ඉහත වගකීම ඉටු කළ නොහැකිනම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නොවේ යැයිද සඳහන් කර සිටියේය.

අගමැතිවරයාගේ ඉහත සංවේදී අදහස් දැක්වීමට සවන් දුන් එක්සත් ජාතික පක්‍ෂ පැරණිතම සාමාජිකයන් ඇතැම් අයෙකුගේ දෙනෙත් කඳුලින් පිරී තිබුණු අකාරය ද  දැකගත හැකි විය.

ජනාධිපතිවරයාට පක්‍ෂ නායකත්වය හිමිවන වගන්තියක් නෑ …..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්‍ෂ නායකත්වය හිමි වියයුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් මේ වන විට ඉවත් කර පවතී.

ඉහත වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබුවේ වර්ෂ 1994 දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා විසින් පෙන්වා දෙනු ලැබූ වැදගත් කරුණක් පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේනම් ඇයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිරිනැමීමට සිදු වන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දෙනු ලබා තිබිණි.

ඉහත නීතිමය කරුණ සැලකීමට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්‍ෂ නායකත්වයට පත්විය යුතුයැයි යන වගන්තිය 1994 වසරේදීම ඉවත් කිරීමට පියවර ගැනිණි.

Top