Breaking
22 Feb 2025, Sat

රාජපක්ෂ පවුලෙන් කැඩී ගොස් බලය අල්ලා ගැනීමේ බැසිල් මෙහෙයුම!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වි අවසන්.ඔහු වෙනුවට ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. ධම්මික ගැන කතාව පසුවට තියමු.

බැසිල් තවදුරටත් වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරමින් ඔහු මාධ්‍ය හමුවක් කැඳවා දැනට සිටින සියලුම මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට ඉඩ දුන්නේය. ඔහු තම දේශපාලන විශ්වාසයන් පිළිබඳව ඉතා පැහැදිලි අර්ථකථන ඉදිරිපත් කර තිබීම පැසසිය යුතු කරුණකි. ඔහුගේ ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවේ, නමුත් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සහතික කිරීම සඳහා ඔහු මාධ්‍ය හමුවේදී කොන්දේසි විරහිතව තබා ඇති බව පැසසිය යුතුය.

මෙය බොහෝ දේශපාලනඥයන් කිරීමට අකමැති දුර්ලභ හැසිරීමකි. පැරදුණු විට සැඟවී සිටියත් දිනූ විට කයිවාරු ගැසීම බොහෝ දේශපාලනඥයන්ගේ සුපුරුදු පුරුද්දයි. සියල්ලටම වඩා 2015 වසර හා සසඳන විට, සමාජය පුරා ඔහුගේ දේශපාලන බලය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙවර ඔහුගේ ආකල්පයේ සහ ප්‍රතිචාරයේ ස්වභාවය වෙනස් වීම ධනාත්මක සහ නෙත් සිත් ඇදගන්නා සුළු ය. ජනතාව හමුවේ බොරු කියමින් රංගනයක යෙදෙනවා වෙනුවට ඔහු තෝරාගෙන ඇත්තේ පිළිගත්තත් නැතත් පොදුවේ තම මතය ප්‍රකාශ කිරීමයි.

දේශපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට බරපතළ චෝදනා එල්ල වී තිබේ. එය අවිවාදයෙන් පිලිගත යුතුය. ඔහුට එරෙහිව රට පුරා නිර්මාණය වී ඇති නින්දිත ප්‍රතිරූපය එතරම් ශුභවාදී නොවන අතර කපුටු කාක් කාක් … සහ ඔහුගේ නාමය අතර පටබැදුන වචන රටේ සියලු වැරදිවල කේන්ද්‍රස්ථානය ඔහු ලෙස අර්ථ දැක්වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

අසාර්ථක වු බැසිල්!

බැසිල් සමාජයේ ජනප්‍රිය චරිතයක් වීමට උත්සාහ කළ නමුත් වත්මන් ජනාධිපතිවරයා මෙන් ඔහුද තම පොදු පෞරුෂය පවත්වා ගැනීමට උපාය මාර්ගික සන්නිවේදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය. ඒ සදහා දක්තෂ සහ හැකියාවන්ම සහිත කණ්ඩායමක් ඔහු සතු නොවිය. ඒ හේතුවෙන් දේශපාලන මතය සමාජය පුරා ප්‍රචාරණය කර ජනප්‍රියත්වය පවත්වා ගැනීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත.කෙසේ වෙතත්, දේශපාලන පක්ෂයක් බිහිකර එය ඉතා කෙටි කාලයක් තුළ සුවිශේෂී ජයග්‍රහණය කරා මෙහෙයවීම ඔහුගේ දේශපාලන කියවීමේ හැකියාව පෙන්නුම් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදිව කරුණු පැහැදිලි කරමින් තමන්ට යා හැකි සීමාවන් පෙන්වා දි තිබේ. මාධ්‍ය හරහා විකාශය වන තප්පර ගණනක කොටසක් නරඹන ජනතාවට එය කියවා ගත හැකිද යන්න වෙනම කාරණාවකි.අනිත් අතට රටේ මාධ්‍යයද ඒ සම්බන්ධයෙන් වැඩි අවධාණයක් යොදවා තිබු බව දක්කනට නොලැබුනී.

අසීමිත දේශපාලන මඩ ගොහොරුවක බැසිල් පළමු වරට තම සීමාව හඳුනාගෙන ඇති බව මාධ්‍ය හමුව හරහා තහවුරු විය.ඔහු දේශපාලනික වශයෙන් තමන් ගැන තක්සේරුවකට පැමිණ ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඔහු පෙන්වා දිමට උත්සහ කළේ ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික කටයුත්තක් බවයි.

ඉන්දියාවේ භාරතීය ජනතා පෙරමුණේ සෙවනැලි ආයතනය වන RSS ගැන ද ඔහු සඳහන් කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ පියවර එය එවැනිම ව්‍යාපාරයක් බවට පත් කිරීම විය හැකි බව ඔහුගේ අදහස් දැක්විම අනුව පෙනෙන්නට විය.ඒ අනුව බැසිල් තම පක්ෂය වත්මන් රජය බලයට පත්වන විට මතවාදය චීන කොමියුනිස්ට් පක්ෂයට සමාන වූ අතර වසර තුනකට අඩු කාලයකදී ඔහු ඉන්දියාව කේන්ද්‍ර කරගත් දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනේ.

අවසානයේ බැසිල් කලේ කුමක්ද?

බොහෝ අය නොසිතන ආකාරයට ඔහු තම හැසිරීම වෙනස් කර ඇත. තවත් වසර පහකට පසු පවතිනු ඇතැයි අපේක්ෂා කරන දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලා අස්වීම සිදු කළ බව නොරහසකි.වර්තමානය ඔහුට අයිති නැති බව හොඳින් වටහාගෙන සිටින නිසා ඔහු අනාගතයට කතා කිරිමට කටයුතු කරනු ඇත.

අවසානයේ කුමක් වනු ඇද්ද? අවසාන කරුණ නම් බැසිල් කේන්ද්‍ර කරගත් ආණ්ඩු විරෝධී විවේචන රැල්ල තුළ නොවැළැක්විය හැකි ප්‍රශ්ණ රැසකට ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයාද මුහුණදෙනු ඇත. එය ගැටුමක් දක්වා ඇදෙනු ඇත. එවිට බොහෝ දෙනෙකුට වැටහෙනු ඇති සත්‍යක් තිබේ.එනම් බලය නැති බැසිල් බලයේ සිටියාට වඩා දේශපාලන වශයෙන් බලවත් බවයි.ආණ්ඩුකරණය සහ දේශපාලනය වෙනස් දෙකක් බව ඔහු කියන්නට ඇත්තේ ඒ නිසාමය.

බැසිල්ගේ මීළඟ පියවර බොහෝ දුරට රාජපක්ෂ පවුලෙන් කැඩී ගොස් බලය අල්ලා ගැනීමේ උත්සාහයක් විය හැකිය. කලබල නොවිය යුතුය, කාලය පමණක් එහි ජයග්‍රහණය හෝ අසාර්ථකත්වය හෙළි කරයි. ඒ සදහා ඔහු තොරාගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන් මාර්ගයක් බව නම් නොරහසකි.

-විශේෂ ලියුම්කරු-


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.