විශේෂාංග

ලැජ්ජා නැතිකම විධායක ජනාධිපතිකමටත් වඩා ලොකුයි…ජනතාවට කොලේ වහයි SAITM නෙවිල් හොර වෙදා මිනිපිරීයගේ SLIT එකට පවරයි….

සිරිසේන ජනාධිපතිවරා SAITM තීරණයක් ගැනිමට නොහැකිව කෙකර ගාමින් සිටින අස්සේ SAITM ආයතනය වෛද්‍ය උපාඩි කඩකාරයා වන යහපාලන හුරතලා වන නෙවිල් ප්‍රනාන්දුගේ මිනිපිරීය වන හිමාලි ජයතිලකගේ “ස්ලිට්”, හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට Sri Lanka Institute of Information Technology (sliit) පවරා දිම සදහා කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

“දීර්ඝ කාලයක් තිස්සෙ සයිටම් ආයතනයට විරෝධය දක්වන ශිෂ්‍ය ව්‍යාපාරය ආණ්ඩුව විසින් කිසිදු අවස්ථාවක සාකච්ඡාවට කැදවුවේ නෑ. මේ කාලය තුළ වෛද්‍යවරු සාකච්ඡාවලට කැදවා තිබුණා. නමුත් එක් අවස්ථාවක කිව්වා රජය කිසිම වෙලාවක වෛද්‍යවරු සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවට කැදවන්නෙ නෑ කියලා. වෛද්‍ය පීඨ ශිෂ්‍යයො මාස ගණනක් පන්ති වර්ජනයක ඉන්නවා. ඒ නිසාම දැන් හැම පැත්තෙන්ම බලකිරිමක් තිබෙනවා ආණ්ඩුවට මේ සම්බන්ධ විසදුම වහාම ඉදිරිපත් කරන්න කියලා.

මේ නිසා ගිය සතියෙදි ආණ්ඩුව විසින් නිලවශයෙන් නිවේදනය කළා සයිටම් ආයතනයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවසන් විසදුම මේ සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි. ඉන්පස්සෙ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා මේ සදුදා වෙද්දි ඒ කියන්නෙ ගෙවුණු සදුදා සයිටම් හොර උපාධි කඩය ගැන රජයේ අවසන් විසදුම ප්‍රකාශයට පත්කරන බව. ඊට පස්සෙ හැමෝම බලා හිටියා රජයේ අවසාන විසදුම ප්‍රකාහයට පත්කරයි කියලා, ඒත් සදුදා මොකුත්ම වුනේ නෑ. සදුදා හවස් වෙද්දි කිව්වා දවස් දෙකක් තුනක් ඇතුලත ජනාධිපතිවරයා විසදුම ප්‍රකාශයට පත්කරන බව කිව්වා. දැන් අද වෙද්දි දවස් තුනක්ම ගිහිල්ලා. අද බදාදා මේවනතුරුම මොකක්වත් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වුණත් අවසන් විසදුම ගැන විවිධ පාර්ශ්වයන්ට කෙටුම්පතක් ලබාදී තිබෙනවා. දැන් මේ ඉදිරිපත්කර තිබෙන විසදුමක් නෙවෙයි, මේක ප්‍රශ්නය උග්‍ර කිරීමක්. අපට පැහැදිලියි මේ මොකක්ද මේ ඉදිරිපත්කරන අවසන් විසදුම කියලා. දැනට වෛද්‍ය ශිෂ්‍යයෝ ජනවාරි මාසෙ ඉදලා දේශන වර්ජනයක නිරත වෙනවා. අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයාත් දිගින් දිගටම විරෝධතා ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙනවා.

මේ වනවිට ඔවුන් අඛන්ඩව විරෝධතාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යනවා. දැන් වාර්තාවන විදියට අනෙක් පීඨවල ශිෂ්‍යයොත් අඛණ්ඩ පන්ති වර්ජනයකට යන්න. ඒ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගෙ දමෙව්පියෝ තීරණයකර තිබෙනවා මාරාන්තික උපවාසයකට වාඩි වෙන්න. ආහාර සහ ජලය වර්ජනය කරන උපවාසයකට නොවැම්බර් මුල වාඩිවෙන බව දෙමව්පියන් ප්‍රකාශ කර තිබෙනවා. එවැනි තත්වයක් ඇති වුණොත් වැඩවර්ජනයක් කැදවන්නත් වෘත්තිය සමිතිවල සාකච්ඡා දිගින් දිගටම පැවතුණා. ගිය සතියෙ එම සාකච්ඡාවලදි කියැවුනේ සමස්ත මහා වැඩවර්ජනයක් කැදවන බවයි.

දැන් ප්‍රශ්නය තියෙන්නෙ ඔතන, එහෙම තියෙද්දි ජනාධිපතිතුමා කරන විහිලුව මොකක්ද? මුලින් විහිලු කලා, සදුදට විසදුම කියන්නම් කියලා. සදුදා විහිලු කළා දවස් තුනකින් කියන්නම් කියලා. දැන් අද තුන්වැනි දවසෙ තවම මොකුත් උත්තරයක් නෑ. හෙට හෝ අනිද්දා එන්න නියමිත විහිලුව වෙනම නිකුත් කරලා තියෙනවා. අපට වාර්තා වෙන විදියට ඒකෙ තියෙන්නෙ මෙහෙම. එකක් මෙහෙමෙ තියෙනවා, සයිටම් ආයතනය නවත්වනවා, සයිටම් ආයතනයට නැවත සිසුන් බදවාගැනීම නවත්වනවා කියලා. අලුතින් භාරගැනීම නවත්වලා ඉන්න සිසුන්ට දෙන විසදුම රජය බාරගන්නෙ නැතිව ඒක භාරදෙනවාලු අධිකරණයට. දැනටමත් අධිකරණයේ නඩුවක් තියෙනවා, ඒ නිසා මේ තීරණය අධිකරණයට භාර දෙනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. රජය මේකෙ වගකීම භාරගන්නෙ නැද්ද? දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විසදුම් කීපයක් යෝජනා කළා, එකවතාවක ඔවුන් ඉදිරිපත් කළා උසස් පෙළ අවම සුදුසුකම් ඇති ශිෂ්‍යයන්ට මොකද කරන්නෙ, අවම සුදුසුකම් නැති ශිෂ්‍යයන්ට මොකද කරන්නෙ කියලා. ඒ විදියට ඉදිරිපත් කපු කිසිම විසදුමක් සළකා බලන්නෙ නැතුව හර්ෂ ද සිල්වා කමිටුව යෝජනා කළ මාස 6ක පුහුණුවක් දීලා හැමෝටම වෛද්‍ය උපාධිය දෙමු කියලා. හර්ෂ ද සිල්වා කියන්නෙ වෛද්‍ය වෘත්තිය පිළිබද විශේෂඥයෙක් නෙවෙයිනෙ. එයා වෛද්‍ය අධ්‍යාපනය පිළිබද විශේෂඥයෙකුත් නෙවෙයි. එයා කියන්නෙ කොහොමද දැන් ඒ ශිෂ්‍යයන් ඉන්න මට්ටම කොතැනද හෝ අවශ්‍ය මට්ටම ගැන? ඒ අවම දැනුම ලබා දෙන්න කොච්චර කාලයක් පුහුනුව දෙන්න ඕනද කියලා හර්ෂ ද සිල්වා කියන්නෙ කොහොමද? ඒක කරන්න ඕන වෛද්‍ය අධ්‍යාපනය පිළිබද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින්. ඒ මොකක්වත් නැතිව එකපාරටම හර්ෂ ද සිල්වා වාර්තාව නිකුත්කළා මාස 6ක පුහුණුවක් ගැන. බළලා මල්ලෙන් එළියට පැනලා තියෙන්නෙ. දැන් කියනවා අධිකරනයෙන් තීන්දුවක් දෙනවා කියලා.

දැන් මෙච්චර කල් අඩබෙර ගහලා රූපවාහිනී නාළිකා පත්තර පිටු ගණන් දැන්වීම් දාලා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නවා කියලා නාඩගමක් නැටුවා. රාජිත සේනාරත්න ඇමතිවරයයි ජනාධිපතිවරයයි ලොකු නාඩගමක් නැටුවා.අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට එදිනම මාධය සාකච්ඡාවකින් හෙලිදරව් කළා මේ පවරාගැනීම සම්බන්ධව ගිවිසුමක් අත්සන් කරලා නෑ, රෝහල රජයට පවරාගෙන නෑ කියලා. ඊට පස්සෙ හෙළිදරව් වුණා, සෞඛ්‍ය ඇමතිවරයා කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් කියලා තියෙන්නෙ බොරු කියලා.රෝහල රජයට පවරා ගෙන තියා රෝහල බදු අරගෙනත් නෑ. අවබෝධතා ගිවිසුමක් තමයි අත්සන් කරලා තියෙන්නෙ. අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ තත්වයක තමයි මේ පෞද්ගලික රෝහලට මාසිකව රුපියල් මිලියන දෙසීයක මුදලක් වැයකරන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුනෙ. මේවා සම්බන්ධව ජනතාව තීරණය කරන්න ඕන ඒ විදියට මහජන මුදල් වියදම් කරන්න දෙනවද කියලා. දැන් මේ ජනාධිපතිවරයා දෙන අවසන් විසදුම තුළ රෝහලක කතාවක් ඇත්තෙම නෑ. මේක අනුව රෝහල තියෙන්නෙ නෙවිල් ප්‍රනාන්දු බාරයෙ. නෙවිල් ප්‍රනාන්දුගෙ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කරන්න රජයේ අරමුදල් වැය කරනවා. ඒක තමයි මේ යෝජනාවෙ තියෙන්නෙ. ඊට අමතරව කියනවා සයිටම් එක වෙනුවට අලුත් ආයතනයක් පිහිටුවනවා කියලා. මොකක්ද මේ අලුත් ආයතනය? ඒ ආයතනය පිහිටුවන්න මූලික නීතිමය කටයුතු සිදුවෙමින් තියෙනවා.අපි අද මේ සාකච්ඡාව කරන්නෙ ඒ ආයතනය මොකක්ද කියලා හෙලිදරව් කරන්න.

අපට තොරතුරු ලැබිලා තියෙන විදියට ඒ අලුත් ආයතනයට අදාළ මූලික ලියාපදිංචි කිරිම් නීතිමය කටයුතු සිදුකරමින් තිබෙනවා. ඒ හදන්න යන ආයතනයෙ කොටස්වලින් 52%ක් අයිති “ස්ලිට්”, එහෙම නැත්නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට. ඒක මුලින් රජයේ අරමුදල් යොදවලා ආරම්භ කරලා අර්ධ රාජය ආයතනයක් ලෙස තිබිලා දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පත්කර තිබෙන ආයතනයක්. ඒකට කොටස් 52%ක් අයිති වෙනවා. ඊළගට හිමාලි ජයතිලක කියලා කෙනෙකුට කොටස්වලින් 48%ක් හිමිවෙනවා. දැන් මේ කියන්නෙ නෙවිල් ප්‍රනාන්දු අයින් කළා, හිමාලි ජයතිලකට කොටස් 48%ක් තියෙන 52%ක් ස්ලිට් එකට තියෙන අලුත් ආයතනයක් හැදෙනවා කියන එකයි. හිමාලි ජයතිලක කියන්නෙ කවුද? එයා නෙවිල් ප්‍රනාන්දුගෙ මිනිපිරී. දැන් මේකට ජනාධිපතිලා මැදිහත් වෙන්න ඕන නෑ. සීයා කෙනෙක් වයසට යද්දි එයාගෙ දේපළ මිනිපිරීට ලියලා දුන්නම ජනාධිපති කිවයනවා ඔන්න දැන් ප්‍රශ්නෙ ඉවරයි අපි විසදුවා කියලා. දැන් නෙවිල් ප්‍රනාන්දුට වයස අවුරුදු 80 ගානක්. ඒ නිසා එයා දේපල ලියලා දීලා මිනිපිරිට. ඒ ලියලා දුන්න එක උස්සං ඇවිත් ජනාධිපති කියනවා දැන් නෙවිල් ප්‍රනාන්දුට නෙවෙයි මේක අයිති අලුත් ආයතනයක් අලුත් කෙනෙකුට කියලා. ඊතින් ඕවා කියන්න ඕන කොණ්ඩෙ බැදපු චීන්නුන්ට. ඕවා මේ අපේ රටේ ජනතාවට කියලා හරියන්නෙ නෑ. සීයා මිනිපිරීට දේපල ලියලා දුන්නම දැන් නෙවිල් ප්‍රනාන්දුගෙ නෙවෙයි ආයතනය වෙන කාගෙ හරි කියලා සම්පූර්න බොරුවක් කරන්න ජනාධිපතිවරයා සැරසෙන්නෙ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා ලැජ්ජා නැති වැඩ කරන්න එපා. දැනට ලංකාවෙ උපමාව තියෙන්නෙ ලැජ්ජා නැතික මහ මුදලිකමටත් ලොකුයි කියලා. ඒ වෙනස් කරන්න එපා ලැජ්ජා නැතිකම විධායක ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියලා. ඒක තමයි අපට කියන්න තියෙන්නෙ.

අපට තිබුණ ප්‍රශ්නය නෙවිල් ප්‍රනාන්දු එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. නෙවිල් ප්‍රනාන්දුට අයිති නිසා අපි විරුද්ධයි, එයාගෙ මිනිපිරිට අයිති නිසා සතුටු වෙනවා කියලා එකක් නෑ. මෙතන තියෙන්නෙ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීම පිළිබද ප්‍රශ්ණයක්. මේක සීයයි මිනිපිරියි දේපළ බෙදාගැනීම පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි.

අනික් කාරණය “ස්ලිට්” එක ගැන. ස්ලිට් එක ආරම්භ කළේ උසස් පෙළ විභාගයෙන් ඉහල සුදුසුකම් ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ආධාරය දෙන්න ආරම්භ කරපු මහපොළ භාරකාර අරමුදලෙ මුදල්වලින්. මහපොල අරමුදලින් ආරම්භ කරලා ඒක මුදලට උගන්වන තැනක් බවට පත් කළා. ඒක කලේ කිංස්ලි ටී වික්‍රමරත්න අභ්‍යන්තර වෙළදෙ කටයුතු ඇමති කාලෙ, චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ජනාධිපති කාලෙ. ඒක කරන කොට ඒක කරන්න එපා කියලා දැවැන්ත ශිෂ්‍ය විරෝධයක් පැන නැගුණා. රජයේ පොදු අරමුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න එපා කියන විරෝධය ආවා. හැබැයි පටන් අරගෙන කිව්වා මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නෙවෙයි කියලා. මේකෙ අධ්‍යක්ෂ මන්ඩලයෙ මහපොල බාරකාර අරමුදලෙ නිලධාරින් ඉන්නවා, අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යංශය මැදිහත් වෙනවා කියලා කිව්වා. නමුත් පසුගිය ජූනි මාසෙ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙ අත්සනින් ගැසට් පත්‍රයක් නිකුත්කරලා ස්ලිට් එක සම්පූර්ණ පෞද්ගලික විශ්ව විදයාලයක් බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකට රජයේ කිසිදු අමාත්‍යංශයක වගකීමක් නැහැ කියලා 2017 ජූනි මාසෙ ගැසට් එකෙන් කිව්වා. එහෙම ප්‍රකාශයට පත් කරන්න සති කීපයකට කලින් මහපොළ භාරකාර අරමුදලෙ මිලියන සිය ගණනක් ස්ලිට් ආයතනයට වෙන් කරනු ලැබුවා. හරිම පැහැදිලිය, රාජ්‍ය අරමුදලකින් මහජන මුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හැදුවා, ඉන්පස්සෙ මහජන මුදල් මිලියන සියගණනක අති විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යොදවලා ඉන්පස්සෙ සති දෙක තුනක් අතුළත පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කළා. එතකොට ස්ලිට් එකට වෛද්‍ය පීඨයක් හදන්න කියලා තමයි මේ මුදල යොදවලා තියෙන්නෙ.

නෙවිල් ප්‍රනාන්දු ලංකා බැංකුවෙන් ණය අරගෙන රාජ්‍ය අරමුදල්වලින් සයිටම් එක හැදුවා වගේ නෙවිල් ප්‍රනාන්දු අඩුගානෙ ලංකා බැංකුවෙන් ණයක් ගත්තෙ. දැන් මහපොළ භාරකාර අරමුදලෙ සල්ලිවලින් තමයි අලුත්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හදන්න යන්නෙ. දැන් ඒකට මුදල් වෙන්කරලා පහුවදාම රජයෙන් නිදහස් කළා. මේ පිළිබදව අපි නීතිමය පියවර ගන්නවා, මොකද මේක රටේ පවතින මුල්‍ය නීතියට පටහැනියි. එකක් සෞඛ්‍ය ඇමතිවරයා, මුදල් බලය සහිත පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යවලා මාසිකව මිලියන දෙසිය ගානෙ වෙන්කරලා තියෙනවා පෞද්ගලික දේපලක් වන නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රවර්ධනය කරන්න, ජනතා අරමුදල් භාවිතා කරනවා ජනතාවගේ හෝ ජනතා නියෝජිතයන්ගෙ අනුමැතියක් නැතිව. ජනතාවට හොර රහසේ පාර්ලිමේන්තුවට හොරෙන් මහපොල භාරකාර අරමුදල නමැති රාජ්‍ය අරමුදලෙන් රුපියල් මිලියන සිය ගනනක් පෞද්ගලික විශ්විද්‍යාලයකට දීලා තියෙනවා. මේක ලංකාවෙ නීතියට, මූල්‍ය නීතියට පටහැනියි, මේකට සම්බන්ධ සියලු දෙනාට සිරදඩුවම් දිය හැකි වරදක් කරලා තියෙන්නෙ. ඔබට මතක ඇති මහජන මුදල් අපහරණය සම්බන්ධ චෝදනාවට ලලිත් වීරතුං සහ අනූෂ පැල්පිට කියන හිටපු රාජ්‍ය නිලධාරින් දෙන්නට සිරදඩුවම් නියම වුණා. මේ ආකාරයට මහජන මුදල් අවභාවිතා කරන්න දායක වුණූ මහපොළ භාරකාර අරමුදලෙ, උසස් අධ්‍යාපන අමාත්‍යංහයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු නිලධාරින්ට එරෙහිව අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරියෙදි නීතිමය පියවර ගන්නවා.

දැන් අපි කියන්නම් ජනාධිපතිවරයා සදුදා කියන්නම් කියලා ඉන්පස්සෙ දවස් තුනකින් කියන්නම් කියලා තවම නොකියා ඉන්න රහස මොකක්ද කියලා. නොකියා ඉන්න රහස තමයි මේ කරන්න යන වැඩේට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරු දෙන්නා තවම එකගතාවය දීලා නෑ කියන එකයි අපට ආරංචි. අපි ඒ නිලධාරින්ට කියනවා, ඔබ දෙදෙනා මේ පරිපාලන සේවයේ ජ්‍යෝෂට නිලධාරින් විදියට මේ කාර්යයට අත්සන් කළොත් ලලිත් වීරතුංගටයි අනුෂ පැල්පිටටයි සිදුවෙච්ච දේට ඔබ දෙදෙනාටත් මුහුණ දෙන්න වෙනවා, මොකද මේක රටේ තියෙන නීතියට පටහැනියි. නීතිය අස්සෙන් ගිහින් තමයි පෞද්ගලිකකරණය කරමින් හිටියෙ දැන් නීතියට පිටින් යමින් කරන්න යනවා.

අපි ඒ නිලධාරින්ට කියනවා මේ ආණ්ඩුවේ කොල්ලකාරි ආර්ථික වැඩපිළිවෙළට කඩේ යන්න ගිහින් නිම්ම හිරේ යන්න එපා කියලා. අපි අනිවාර්යයෙන් මේක සම්බන්ධව නීතිමය පියවර ගන්නවා. ඒ නිලධාරින් දෙන්නා මේකට විරුද්ධ නිසා ඔවුන්ගෙ අනුමැතිය එනතුරු තමයි මේ ජනාධිපති තෙපර බබා ඉන්නෙ. ඒ අකරකුර ඉතාම නරක දේවල් සිදුවෙමින් යනවා. ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ අවම ප්‍රමිතීන් තීරණය කිරිම සම්බන්ධ බලය තියෙන්නෙ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවටයි. වෛද්‍ය සභාව අවම ප්‍රමිතීන් හදලා දැන් අවුරුදු පහකටත් වැඩියි. අවස්ථා තුනකදි අවම ප්‍රමිතින් හදලා පාර්ලිමේන්තුවට යැව්වා. ඒ අවස්ථා තුනේදිම කැබිනට් මණ්ඩලය ඒවා විවාදයට ගැනීම සහ ඡන්ද විමසීම නතර කළා. එහෙම නතර කළේ වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැදිහත් වෙලා. අවසාන වතාවට ඒ ප්‍රමිතින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුනු වෙලාවෙ ඒකට විරුද්ධව හිටියෙ රාජිත සේනාරත්න විතරයි. දැන් ඒ නිසා අවම ප්‍රමිතින් ගැසට් කරලා නෑ. අවම ප්‍රමිතින් ගැසට් කරලා නැති තත්වයක් තුළ හර්ෂ ද සිල්වා බලපෑම් කරමින් ඉන්නවා, එයා හදපු අවම ප්‍රමිතින්වලට. වෛද්‍ය සභාවෙ අවම ප්‍රමිතින් නෙවෙයි දැන් හර්ෂ ද සිල්වා හැදුව අවම ප්‍රමිතින් සම්මත කරන්න යනවා. මේ සම්බන්ධව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව එකගත් නෑ. වෛද්‍ය සභාව එකග නැති නිසා තමයි මේකට විරුද්ධව හිටිය මහාචාර්ය කාලෝ ෆොන්සේගෙ ධුරකාලය අවසන් වෙන්නත් කලින් අයින් කරලා ගොට්ටෙක්ව සභාපතිකමට දැම්මෙ. අධයාපන පෞද්ගලිකකරණය නිදහසේ කරගෙන යන්න කොල්වින් ගුනරත්න සභාපතිකමට දැම්මට ඒක කරන්න බෑ. මොකද වෛද්‍ය සභාවෙ විශේෂඥවරු විද්වතුන් ඒකට විරුද්ධයි.

දැන් හර්ෂ ද සිල්වා විහ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් සිලවා එක්ක ගහලා තියෙන කුමන්ත්‍රණය මොකක්ද? දැන් ඒ අය අවම ප්‍රමිතින් කියලා හදලා තියෙන්නෙ මොනවද? වෛද්‍ය සභාව හදපු අවම ප්‍රමිතින් කෑලි කපලා කපලා කපලා එකක් මූට්ටු කරලා හදලා තියෙනවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මොහාන් සිල්වා. වෛද්‍ය සභාවෙන් අනුමත කළ අවම ප්‍රමිතින්වල කොටස් දෙකක් තියෙනවා. අවම ප්‍රමිතින් සහ අවම ප්‍රමිතින් ක්‍රියාත්මක කරන ආකාරය කියලා කොටස් දෙකක් තිබුණා. දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම කපලා. පළවෙනි කොටසෙ අධ්‍යයනය කළ යුතු පැය ගනන, විෂයමාලාවෙ තිබිය යුතු විෂයන් ගනන අඩු කරලා. වැදගත්ම දේ උසස් පෙළ අවම සුදුසුකම් කියන කොටසත් කපලා. අවම සුදුසුකම එස් 3ක් කියලා දාලා. එස් 3 කොහෙමද අවම සුදුසුකම වෙන්නෙ? සාමාන්‍යයෙන් ඕනෑම උපාධි පාඨමාලාවකට මුලු සදාකාලයට ලෝක විනාශය එනතුරු කියා අවම සුදුසුකම් හදන්නෙ නෑ. ලෝකයෙ හැම රටකම වගේ උසස් පෙළ අවම සුදුසුකම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරනවා. සාමාන්‍යයනේ අපේ යාබද රටවල ඉන්දියාවෙ වගේ අවම සුදුසුකම් හදන්නෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගිය කෙනාගෙ අවම මට්ටමයි. දැන් ලංකාවෙ මේ අවුරුද්දෙ නම් බී 3. දිස්ත්‍රික්ක පදනම නිසා අසාධාරණයක් වෙනවා වගේ චෝදනා තියෙනවා. නමුත් මේ අවුරුද්දෙ වෛද්‍ය පීටවලට අවම සුදුසුකම වෙන්නෙ බී3. ලබන අවුරුද්දෙ ඒක ඒ එකයි බී දෙක වෙයි කියලා අනුමාන කෙරෙනවා. වෛද්‍ය සභාව ඒ විදියට තමයි අවම සුදුසුකම් හදලා තිබුණෙ. වෛද්‍ය පීඨවල විෂය නිර්දේසත් වෙනස් කරලා විෂය උගන්වන පැය ගණනත් වෙනස් කරලා සියල්ල වෙනස් කරලා අන්තිමට අවම සුදුසුකමත් වෙනස් කරලා.

දැන් ඕක කරලා තමයි ජනාධිපති කියන්නෙ ශිෂ්‍යයන්ට දේශනවලට යන්න කියලා. ශිෂ්‍යෙයා දේශනවලට යයිද? ජනාධිපති හිතාගෙන ඉන්නවා නම් ඔය කොල කෑල්ල දාලා හෙට හරි අනිද්දා හරි ශිෂ්‍යයො දේශනවලට යවන්න ඒක නෙවෙයි වෙන්නෙ. ඔය ජාතියෙ පිස්සුවක් කළොත් අනෙකුත් පීඨවල ශිෂ්‍යයොත් පන්ති වර්ජනය කරයි. මුලු විශ්වවිද්‍යාල පද්ධතියෙම ශිෂ්‍යයො පන්ති වර්ජනය කරන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි දන්න විදියට විශ්ව විද්‍යාල ආචාර්යවරු ජනාධිපතිවරයාට කියලා තියෙනවා මේ ජාතියෙ හොර මගඩියක් නම් වෙන්නෙ ශිෂ්‍යයො ආවත් ආචාර්යවරු දේශන පවත්වන්නෙ නෑ කියලා. ආචාර්යවරු වැඩවර්ජනයකට යනවා කියලා, විශේෂයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගෙ සංගමය කියලා තියෙනවා සයිටම් ආයතනය අහෝසි කරනවා වෙනුවට මේ වගේ කුමන්ත්‍රණකාරි බොරුවක් කරන්න ගියොත්, ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ සහ වෛද්‍ය වෘත්තියෙ ප්‍රමිතිය මේ මට්ටමට පහත හෙළන්න ගියොත් ඒ අය වැඩවර්ජනයකට යනවා කියලා. ඒක නිසා මේක වෛද්‍යවරුන්ගෙ වර්ජන ආචාර්යවරුන්ගෙ වර්ජන සහ සමස්ත මහා වැඩවර්ජන සිදුවන සංකීර්න ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒ වගේම මේක පවතින නීතියට එරෙහිව කළ දෙයක්. ඒ නිසා අපි ජනාධිපතිවරයට බල කරනවා අර සදුදා දෙනවා කියලා පස්සෙ බදාදා දෙනවා කියලා තවම නොදී ඉන්න කොලේ හෙට හරි එළියට දාන්න. එත්කොට අපට බලාගන්න පුලුවන් මේ ප්‍රහ්නය ගැන රජයේ ස්ථාවරය මොකක්ද කියලා. ජනාධිපතිවරයත් අගමැතිවරයත් මේ හවුල් ආණ්ඩුවත් ඉන්නෙ අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරිමේ ප්‍රතිපත්තියේ නම් ඒක එලිපිට කියන්න. ඒක විවෘතව කිව්වට පස්සෙ මහපාරෙදි ප්‍රශ්නය බේරාගමු.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හරියට කිව්වට පස්සෙ ඒක විනාශකාරී එකක්, ජනතාද්‍රෝහි ප්‍රතිපත්තියක් නම් ඒකට එරෙහිව සියලුම ජනතා බලවේග ඒකරාශි කරනවා. ඒ නිසා ශිෂ්‍යයො, කම්කරුවො, ගොවියො, ආචාර්යවරු, දෙමව්පියෝ, අනෙකුත් වෘත්තිය සමිති යන මේ සියල්ල මේ කුමන්ත්‍රණයට එරෙහිව පෙළගස්වන්න අපි සූදානම්. ඒ නිසා ආණ්ඩුවට එක පාරක් තියෙනවා බේරෙන්න, තවත් බොරු නොකර මේ හොර උපාධි කඩය අහෝසි කරන්න. ජනතා අරමුදල් පෞද්ගලික ආයතන වෙනුවෙන් යොදවන එක නවත්වන්න. එහෙම නැත්නම් ඒ පිළිබද රජයේ ප්‍රතිපත්තිය හරියට කියන්න. ඒ ප්‍රතිපත්තිය පරාජය කරන්න රටේ ජනතාව එක්ක මුහුණට මුහුණ හැපෙන්න ඒක පරාජය කරන්න අපි සූදානම්.”

මාධ්‍ය ඒකකය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2017 ඔක්තෝබර් 25

සයිටම් අර්බුදයේ වත්මන් තත්වය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා 2017 ඔක්තෝබර් 25 (අද) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අදහස් දැක්වීම ලිඛිත සටහනක්

Top