Breaking
23 Feb 2025, Sun

ශ්‍රී ල නි ප යළි ඉපදෙයි

විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය.

අනුරාධපුර රැස්වීමට මම ද සහභාගි වීමි. එයට හිටපු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගි විණි යැයි කියැවෙයි. එහි සත්‍යාසත්‍යභාවය ගැන මට කිසිවක් කිව නො හැකි ය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරු ද විපක්‍ෂ නායකයා ද එහි සිටියෝ ය. ඔවුහු ද කතා කළ අනෙක් ජ්‍යෙෂ්ඨයෝ ද මහින්ද අගමැති අපේක්‍ෂකයා බව පුන පුනා කීවෝ ය. මෛත්‍රිපාල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව දිගින් දිගට ම කීවේ මහින්ද සංධානයේ නායකයාවත් අගමැති අපේක්‍ෂකයාවත් නොවන බව ය. ඔහු මහින්දට සංධානයෙන් නාම යෝජනා දීමටත් විරුද්ධ විය. එහෙත් ඔහුට එකින් එක ඒ සෑම අවස්ථාවක දී ම පරාජය හා පරාජය පමණක් හිමි විය. අද මහින්ද සංධාන මැතිවරණ කමිටුව මෙහෙයවන්නා පමණක් නොව අගමැති අපේක්‍ෂකයා ද වෙයි. මෛත්‍රි ආත්ම ගෞරවයක් ඇති අයකු නම් කළ යුත්තේ වාරණයකු (වාරණ නියෝග අස්සේ සැඟවෙන) නොවී ශ්‍රී ල නි ප සභාපති කමෙන් හා පක්‍ෂයෙන් ද ඉල්ලා අස්වීම ය. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහුට භූමිකාවක් නැත.

ඇතැමකු කියනු ඇත්තේ අනුරාධපුර රැස්වීමට දිස්ත්‍රික්කයේ සංධාන නායක දුමින්ද දිසානායක සහභාගි නොවීම සංධානයේ බෙදීම පෙන්නුම් කරන බව ය. එහෙත් අනුරාධපුර රැස්වීමේ සිටි කිසිවකුටවත් දුමින්ද කෙනකු ගැන මතකයක් නො වී ය. ඔහුටත් යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ භූමිකාවක්වත් මනාපවත් නැත. එස් බී දිසානායක වැන්නන් ගැනත් කිවහැක්කේ එවැන්නකි. ඔවුන් උන්නා ද මළා ද කියා කිසිවකු ප්‍රශ්න නොකරනු ඇත.

අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඉදිරියට යයි. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයට යළි උපන් නායකයෙක් වෙයි. ඒ අයෝමය නායකත්වයකි. මහින්ද කොටි පරාජය කිරීමට දුන්නේ නොසැළෙන අයෝමය නායකත්වයකි. මහින්ද හමුවේ රනිල් ද මෛත්‍රිපාල ද නිවටයෝ පමණක් ම වෙති. ඔවුන් කිසිවකුටවත් මහින්ද පැරදවිය නො හැකි ය. ජනාධිපතිවරණයේ දී මහින්ද පෑරදුනේ විජාතික බලව්ගවල බොරු ප්‍රචාරවලට රැවටුණු සිංහල මුහුණක් නැති මුහුණුපොත් තරුණ පිරිසක් හා මුස්ලිම් ආගමිකවාදයේ ආධාරකරුවන් නිසා ය.

ජාතියට නව පණක් දිය හැක්කේ යළි උපන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයට ය. එ ජා ප 1948 සිට කර ඇත්තේ බටහිරයන්ට දණ නැමීම හා ඔවුන්ට රට පාවාදීම ය. දූෂණය භීෂණය රජ කර ඇත්තේ ඔවුන්ගේ පාලන සමයෙහි දී බව ඔවුන් වෙනුවෙන් මුදලට වැඩකරන අනුර කුමාර නොකීවාට එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණ ද දැන ගත යුතු ය. අද වන විට අනුර දිසානායක බටලන්ද අමතක කර ඇත්තේ එදා දිවිදුන් තම පාක්‍ෂිකයන් පාවා දෙමිනි. අද ලෝක හොරා කවුරුවත් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණ නියෝග මගින් නැතිකරන බැංකු බැඳුම්කාර රනිල් ය.

රෝසි සේනානායක මහින්දගෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වෙයි. මහින්ද දඬුවම් නොකළ වරදකරුවන් නම් කරන ලෙස ඇය ඉල්ලා ඇත. ඒ රනිල්, චන්ද්‍රිකා, රවි කරුණානායක, ප්රාජිත ආදීන් ය. මහින්ද එහි දී දඬුවම් නොකිරීමෙන් වරදක් කර ඇති බව පැහැදිලි ය. යළි උපන් ශ්‍රී ල නි ප ඒ වරද නිවැරදි කරනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූලි 19

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.