ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරනවිට නිරන්තරව ඔහු පිළිගැනීමට පැමිණෙන උතුරු මහඇමැති විග්නේෂ්වරන් මහතා පසුගිය සතියේ නම් රාජ්‍ය නායකයා පිළිගැනීමට පැමිණ සිටියේ නැත. විග්නේෂ්වරන් ජනපතිවරයා සමග උරණ වී සිටීද? දෙමළ සන්ධානය ජනපතිගේ උතුරේ සංචාරය වර්ජනය කිරීමේ තීරණය අනුව යමින් උතුරු මහ ඇමැතිවරයා හින්දු විද්‍යාලයේ පැවැති දෙමළ දින උත්සවයට නොපැමිණියේද? ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස් නොකිරීම සම්බන්ධව උතුරු පළාත් සභාවම අමනාපයෙන් සිටින බව පෙනේ. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිදහස් කිරීමට වගකිව යුතු ආණ්‌ඩුවකට හැකියාවක් තිබේද?
දෙමළ සිරකරුවන්ගේ ප්‍රශ්නය කවරක් වෙතත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් දෙබරයකට ගල් ගසා ඇත. ඒ අනුරාධපුර බන්ධනාගාරයට නොවේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර අනාගමික කළ යුතු බවයි. ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බව සිදුකරන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත් හෙතෙම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක් යෑයි කරන ප්‍රකාශය ඉතිහාසය වැරදි ලෙස කියවීමක්‌ය යන්න උතුරු මහ ඇමැතිගේ අදහසය. 2013 දී මහඇමැති ධුරයට පත් වූ දා සිටම විග්නේශ්වරන් අනුගමනය කළේ උග්‍ර සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියකි. දෙමළුනි නැගිටිව් යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වූවේ ද හර්තාල සංවිධානය කළේද උතුරෙන් බුදු පිළිම ඉවත් කිරීම මෙන්ම හමුදාව ඉවත් කිරීම සඳහා ය. මේ ඉලක්‌ක සාර්ථක නොවීම නිසා මහ ඇමැතිවරයා යළිත් වරක් සිය ජාතිවාදී ව්‍යාපාරය ආරම්භ කර ඇත. රටක විශේෂ පළාතක් හෝ දෙකක් පමණක් අනාගමික කළ හැකිද? උතුරු නැගෙනහිරට පමණක් විශේෂ නීති සම්මත කළ හැකිද? මේ ප්‍රදේශ අනාගමික කිරීමෙන් දෙමළ හින්දූන්ට යම් සාධාරණයක් ඉටුවේද?
උතුර නැගෙනහිර පළාත්වල බහුතරය බෞද්ධයන් නොවන නිසාම ඒ පළාත් අනාගමික කළ හැකිද? එසේ නම් රටේ සෙසු පළාත්වල රාජ්‍ය ආගම බුද්ධාගම කළ හැකිද? මෙරට බෞද්ධයන් කිසි විටක බුද්ධාගම රාජ්‍ය ආගම කරන්නැයි ඉල්ලා නැත. නමුත් ඔවුන් රට අනාගමික කිරීමට බරපතළ ලෙස එරෙහිව වෙති. නව ව්‍යවස්‌ථාව හරහා රට අනාගමික කිරීමේ කුමන්ත්‍රණයක්‌ද සිදුවන බවට මෙරට බහුතරය තුළ සැකයක් මතුව තිබේ. විග්නේෂ්වරන්ගේ නිවේදන හරහා තහවුරු වන්නේ එවන් සැක සංකාද?
දෙමළ භාෂාව කතා කරන ජනතාව පවා මෙරට බෞද්ධ රාජ්‍යයක් වීම ගැන උරණ වන්නේ නැත. දෙමළ හින්දුන් හා බෞද්ධයන් අතර යහපත් සබඳතාවක් පවතී. එසේ නම් විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ හින්දුන් හා බෞද්ධයන් අතර බෙදීමක් ඇති කිරීම සඳහා දැයි පැහැදිලි නැත.
උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ උග්‍ර බෞද්ධ විරෝධය නිසා සංහිඳියාව දොරේ ගලා යන බව නම් පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් අනාගමික කිරීමෙන් සංහිඳියාව ඇති කළ හැකිද? මෙරට සංහිඳියාව ආරක්‍ෂා වූයේ බෞද්ධ සංස්‌කෘතිය නිසාය. උතුරේ කඳවුරුවල වෙසෙන හමුදා සාමාජිකයන්ට වන්දනාමාන කිරීම සඳහා බුදු කුටියක් ඉදි වුවද උතුරු මහ ඇමැතිවරයා එය දකින්නේ බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක් ලෙසය.
නිහඬ බහුතරයට එරෙහිව උතුරු මහඇමැතිවරයා බරපතළ කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බව පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් පුරාම බෞද්ධ පුරාවස්‌තු නටබුන් සිද්ධස්‌ථාන විසිරී පැතිරී ඇත. මේවායේ පූජනීය උරුමය බෞද්ධයන්ට අහිමි කර ඒවා වාර්ගික ශුද්ධකරණයට ලක් කිරීමට මහ ඇමැති උත්සාහ කරන්නේද? විග්නේෂ්වරන් මහතා බහුතර ආගමික අයිතියට අත තැබීම සංහිඳියාවට කිසිසේත් ම ගැලපෙන්නක් නොවේ.
රට අනාගමික රාජ්‍යයක් කිරිමේ දෙබරයට ගල්ගැසු විග්නේෂ්වරන්
ශ්‍රී ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බවට සිදු කෙරෙන ප්‍රකාශන තමන් තරයේම ප්‍රතික්ෂේප කරන බවත් උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බවත් පසුගියදා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් නිකුත් කල නිවේදනය.
ශ්‍රී ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බවට සිදු කෙරෙන ප්‍රකාශන මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි. යාපනය රාජ්‍යය, වෙරළබඩ රාජ්‍යය උඩරට රාජ්‍යය මේ ආදී වශයෙන් මෙරට බෙදා පාලනය කෙරුණු කාලවකවානුවක් විය.
1833දී නැවත එම රාජ්‍යය පරිපාලනයේ පහසුව පිණිස එකතු කෙරුණි. මේ හේතුවෙන් උතුර නැඟෙනහිර ජීවත් වූ බහුතරය වූ දෙමළ ජනතාව මෙරට සුළු ජාතියක් බවට පත්විය. කෙසේ වෙතත් වර්තමානයෙත් උතුර නැඟෙනහිර බහුතරයක් ජීවත් වන්නේ දෙමළ භාෂාව කතා කරන ජනතාවය.
බි්‍රතාන්‍යයෙන් මෙරට මුළුමනින්ම නිදහස්වීමෙන් පසුව ඔවුන් මෙරට පරිපාලනය භාරදෙනු ලැබුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැලකූ ලාංකික නායකයන්ටය. පරිපාලනය තමන් අතට පත්වෙද්දී ඔවුන් ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළත් බලය ලැබීමෙන් පසු එම හැඟීම එතැනින්ම අමතක කර දැමූහ. සිංහල, දෙමළ, කඳුකර දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ ආදී ලෙස බෙදීම් ඇති කර ගත්හ. මේ පදනම මත බහුතරය මෙරට නීතිය බහුතරයට එක්තරා ආකාරයකටත්, සුළුතරයට එක්තරා ආකාරයකටත් ක්‍රියාත්මක කෙරුණි. මේ හේතුවෙන් 1949 වසරේදී කඳුකර දෙමළ ජනතාවට ඡන්ද බලයද අහිමි වුණා.
1956 ‘සිංහල පමණයි.’ නීතිය හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැසක් උදුරා ගැනුණි. මේ හේතුවෙන් අප ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපනයට විශාල බලපෑමක් ඇති විය. අපගේ පාරම්පරික ඉඩම් උදුරා ගැනීමක්ද සිදු විය.
1970 වසරේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කිරීම සිදු කෙරිණි. උතුර හා නැඟෙනහිර පළාත්වලට වැඩි වශයෙන් සිංහල පොලිස් නිලධාරීන් අනුයුක්ත කරනු ලැබිණි. ඊට සමගාමීව හමුදාවත් මේ ප්‍රදේශවලට අනුයුක්ත කෙරුණි. උතුරේ තරුණයෝ ආයුධ අතට ගැනීම සිදු වූයේ මෙවැනි පසුබිමකදීය.
යුද්ධය අවසන් වීමත් සමඟම උතුරේ පැවැති බෞද්ධ සිද්ධස්ථාන හැර වෙනත් වෙහෙර විහාරස්ථාන උතුරේ තිබුණේ නැත. එහෙත් මේ වන විට හමුදාවේ මැදිහත්වීම මත උතුරේ එක් එක් ස්ථානවල බෞද්ධ පූජනීය ස්ථාන ඉදි කෙරෙමින් තිබේ. බෞද්ධයන් නොමැති ප්‍රදේශවල පවා මෙම පූජනීය ස්ථාන ඉදිකරන බව දකින්නට පුළුවන.
මේ රට සිංහල බෞද්ධ රටක් යන මතවාදය දැඩිව ඇති වුණේ යුද්ධයෙන් පසුවයි. කෙසේ වෙතත් දක්නට ලැබෙන්නේ ඉතිහාසය වැරැදි ලෙස කියවමින් බොහෝ පිරිස් ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක් ලෙසට ප්‍රචාරය කරමින් තිබෙන බවයි.
උතුරේ කිසිදු අවස්ථාවක බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වුණේ නැත. නමුත් බෞද්ධයන් සුළු පිරිසක් ජීවත් විය. අදටත් උතුරේ ඉතිරිව ඇත්තේ ඔවුන් විසින් අතහැර දැමු වෙහෙර විහාරස්ථාන පමණි.
උතුරු ජනතාව කෙරේ බෞද්ධාගම බලෙන් පැටවීමට උත්සාහ කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. වර්තමානයේදීත් උතුර හා නැඟෙනහිර වෙසෙන බහුතරයක් බෞද්ධයන් නොවෙයි. එමෙන්ම වර්තමානයේ උතුර හා නැඟෙනහිර පළාත්වල ජීවත් වන බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් වන්නේද විවිධ ආණ්ඩු විසින් විටින්විට එම ප්‍රදේශවල පදිංචි කළ පිරිසකි. මේ හේතුවෙන් මේ රට සම්පූර්ණයෙන්ම බෞද්ධ හෝ සිංහල රටක් කියා කවරකු හෝ ප්‍රකාශ කරනවා නම් මම එය තරයේ ප්‍රතික්ෂේප කරමි.
මේ නිසා උතුර නැඟෙනහිර පළාත් හැර අනෙකුත් පළාත් හතේම බෞද්ධාගම සඳහා ප්‍රමුඛස්ථානය ලබා දුන්නත්, උතුර හා නැඟෙනහිර පළාත් අනාගමික කළ යුතුය.