Breaking
24 Feb 2025, Mon

හුණුගම සිංහල ගම චුන්නාකම් නගරය කල සරවනමුත්තුලාගේ පැටිකිරිය

Published on: Dec 05, 2017 – පාකියසෝති සරවනමුත්තු ගැන බොහෝ දෙනා දන්නව වෙන්න පුළුවන්. විකල්ප ප්‍රතිපත්ති ගැන කියවන පාකියසෝති සුනේත්‍රාගේ මිතුරෙක්. චන්ද්‍රිකාගේත් මිතුරෙක්. මේ සිංහල හා දෙමළ ප්‍රභූන් වැඩ කරන්නේ එකට. මොවුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ සර්වජන ඡන්දය. හෙට අනිද්දා, හැරිසන් හා රනිල් කියන විධියට පෙබරවාරි දහවැනි දා පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙනවා. මැතිවරණ කොමිසම තවමත් ඒ ගැන නිශ්චිත යමක් කියලා නැහැ. පෙබරවාරි 10 ගැන මැකො රනිල්ට කිව්ව ද නැත්නම් රනිල් මැකොට කිව්ව ද කියන එක පැහැදිලි නැහැ. සමහර විට හැරිසන් මේ දෙන්නට ම කියන්න ඇති. හැරිසන් වගේ අය නැත්නම් ජනමාධ්‍යත් නැහැ.

කොහොම වුණත් සර්වජන ඡන්දය කාට කාටත් ප්‍රශ්න ඇති කරනවා. අද විමල්ගේ ජාතික නිිදහස් පෙරමුණ ඇත්තේ නමට පමණයි. ඒ පක්‍ෂය නොව එහි පුද්ගලයන් එක් එක්කෙනා මෛත්‍රිපාලට එකතු වෙනවා. විමල්ට එකතු වෙලත් බැහැ. එකතු නොවීත් බැහැ. ඔහුගේ න්‍යායාචාර්යයාට නම් ළඟක දි ඉඳන් එකතු වීමේ අවශ්‍යතාව ඇතිවෙලා. පළාත් පාලන ආයතන මැතිවරණය මෛත්‍රිපාල අමාරුවේ දාලා. ඔහුට අද ඉන් ගැළවීමක් නැහැ. චන්ද්‍රිකා කාට එකතු වෙන්න ද? සරවනමුත්තුලා රනිල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජාතිකවාදීන්ටත් මේ මැතිවරණය නිසා ප්‍රශ්න ඇති වෙනවා.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් නැති වුවත් සරවනමුත්තුලාට ප්‍රශ්නයක් තියෙනවා. අදත් ඔහු තවත් කොමිසමක් පත්කරන්න කියලා දි අයිලන්ඩ් පත්තරයට කියනවා. ඒ නෙස්බි වාර්තාව ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස. නෙස්බි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ දරුස්මාන් වාර්තාව ප්‍රතික්‍ෂෙප කරනවා. ජාතිකවාදීන් එය අලුත් දෙයක් ලෙස සලකනවා. නෙස්බි වාර්තාවලින් මෙතෙක් වෙච්ච දෙයක් නැහැ. එංගලන්ත ආණ්ඩුව ඔහු කියන දේ ගණන් ගන්නේ නැහැ.

සරවනමුත්තුලාගේ ප්‍රශ්නය ඡන්දය සමග ඇති වෙච්ච එකක්. ඒක අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. දහනවවැනි සියවස දක්වා දිව යන ප්‍රශ්නයක්. ඉංගිරිසින් යටතේ මෙරට ප්‍රධානත්වය හිමි වුණේ දෙමළ වෙල්ලාල ප්‍රභූන්ට. ඔවුන්ට ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක් තිබුණා. සරටවනමුත්තුගේ සීයාත් පාකියසෝති සරවනමුත්තු. ඔහු මෙරට වැඩිම වැටුපක් ලත් සිවිල් සේවකයා පමණක් නොව පී සරා හෙවත් ඕවල් ක්‍රීඩාංගණයේත් නිර්මාතෘ. එය ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට අයත් එකක්. ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්තුවෙත් මේ ක්‍රීඩාංගණයේ. එකල ලංකාවේ ක්‍රිකට් මධ්‍යස්ථානය ටැමිල් යුනියන්. අද එය එස් එස් සී හෙවත් සිංහල ක්‍රීඩා සමාජයට මාරු වී තිබෙනවා. සරවනමුත්තුලාගේ ප්‍රශ්නය ඉන් ප්‍රකාශ වෙනවා.

සරවනමුත්තුගේ සීයාගේ සියා චුන්නාකම් නගරය පිහිටුවූ තැනැත්තා ලෙස හැඳින්වෙනවා. එය හුණුගම කියන සිංහල ගම. බොහෝ විට සිදු වන්න ඇත්තේ සරවනමුත්තුගේ සීයාගේ සීයා හුණුගම චුන්නාකම් කිරීමයි. මේ රටේ දෙමළ කතාකරන අයගේ ඉතිහාසය ලියැ වී නැහැ. මෙරට කසිකබල් ඉතිහාසඥයන් ලංකා විශ්වවවිද්‍යාලයේ එස් ජී පෙරේරා ජෙසුයිට් දේවගැති ඉතිහාසඥයන්ගේ දරුවන් පමණයි. ඔවුන් සොයන්නේ සිංහල බෞද්ධයන්ගේ වැරදි. සරවනමුත්තුලා සිංහල ගම් දෙමළ ගම් බවට පත් කළ අය. පැහැදිලිව ම සරවනමුත්තුලාට පෙර හුණුගම තිබුණා.

සරවනමුත්තුලා 1833 සිට එකල තිබූ ව්‍යවස්ථා මණ්ඩලයේ හරි හරියට සිංහලයන් නියෝජනය කළා. මේ ආරූඪ කළ සමානත්වය නැති වේය කියන බය දෙමළ කතාකරන ජනයා නියෝජනය කළ වෙල්ලාල ප්‍රභූන්ට ඇතිවුණා. තමන් සමාජයේ දැරූ ප්‍රධාන තැන සිංහල ප්‍රභූන්ට අයත් වේ ය යන බිය දෙමළ කතාකරන ප්‍රභූන්ට ඇති වුණා. වෙල්ලාල ප්‍රභූන් තම තැන ආරක්‍ෂා කර ගනීමට දිගින් දිගට සටන් කළා. එය අවසානයේ දී ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී බෙදුම්වාදය තෙක් දිව ගියා.

මෑතක් වන තුරු සමාජයේ වැදගත් ය කියන රැකියා වෘත්තීන් වැඩියෙන් කෙළේ දෙමළ ප්‍රභූන්. ඉඳහිට මඩකලපුවෙන් එක්කෙනකු දෙන්නකු එකී ධුර දැරීම ප්‍රශ්නයක් වුණේ නැහැ. විශ්වවිද්‍යාලයේ විද්‍යාව පදනම් වූ පීඨවල බහුතරය වූයේ දෙමළ ශිෂ්‍යයන්. එයට යම් පිළියමක් ලැබුණේ අබෞද්ධ කලක් මාක්ස්වාදී වික්ටර් අයිවන් නොදැන සිටි ප්‍රමිතිකරණයෙන්. අවුරුදු හැටකට පමණ පෙර රාජකීය විදුහලේ හයවැනි පංතියට ඇතුළත් වූ සිසුන් එකසිය හතළිස් දෙනාගෙන් සියයට පනහක් සිංහල, විසිපහක් දෙමළ, විසිපහක් මුස්ලිම් හා බර්ගර්. ලංකාවේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක් සිංහල වෙද්දී වක්‍ර බදු යටතේ වැඩියෙන් සිංහලයන් බදු ගෙවද්දී දිවයිනේ රජයේ ප්‍රධාන ම පාසලේ සිංහල සිසුන් සංඛ්‍යාව සියයට පනහක් පමණක් වුණා. මේ අසාධාරණකම් ක්‍රමයෙන් නැති වීමට පටන් ගත්තා. සරවනමුත්තුලා ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත්තත් ඔවුන්ගේ ප්‍රශ්නය වූයේ දෙමළ ප්‍රභූන් විඳි අසාධාරණ වරප්‍රසාද ක්‍රමයෙන් නැති වීමයි. ක්‍රිකට් බලධාරීත්වය ඕවල් ක්‍රීඩාංගනයෙන් එස් එස් සී ක්‍රීඩාංගනයට මාරුවීම සරවනමුත්තු පවුලට හොඳින් ම දැනෙන්න ඇති.

මා මෙයින් කියන්නේ නැහැ අද සිංහල ප්‍රභූන් අතින් මේ සියල්ල හොඳින් කළමනාකරණය වෙනවා කියා. නාලන්දාවේ ඉගෙන ගත් සුමතිපාල ශාන්ත තෝමස් විදුහලේ උගත් සරවනමුත්තුට වඩා හොඳක් නැහැ. එහෙත් ජාතික ක්‍රිකට් කණ්ඩායම එකල සීමා වී තිබුණේ ප්‍රභූ පාසල් කිහිපයකට පමණයි. අද එය නමට හරි ගමට ගිහින්. එහෙත් ප්‍රශ්න ඇති බව පැහැදිලියි. එකල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පමණක් නොව රාජකීය වැනි විදුහල්වල ක්‍රිකට් කණ්ඩායම්වලත් දෙමළ බර්ගර් අනුපාත ජාතික අනුපාතයට වඩා වැඩි වුණා. එහෙත් සිංහල බෞද්ධයන් කළමනාකරණය කරන්නේත් බටහිර ක්‍රිස්තියානි ක්‍රම අනුගමනය කරමින්. අවාසනාව බෞද්ධ කියන හා ගමේ කියන පාසල්වලත්, දහම් පාසල්වලත් බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීම.

සරවනමුත්තුලාට ඉංගිරිසින් දුන් තම ප්‍රභූ තත්වය ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එයට ඇත්තේ එක ම පිළිතුරයි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට, ඉතිහාසයට ඇති විශේෂත්වය අකමැත්තෙන් හරි පිළිගැනීමයි. එසේ නොමැතිව ඊනියා කොමිසම් පත් කිරීමෙන් විසඳෙන ප්‍රශ්නයක් නැහැ. පළමුව තමන්ට ඉතිහාසයේ හිමි තැන තේරුම් ගැනීමට සරවනමුත්තුලා වෑයම් කළ යුතුයි. එහෙත් බටහිරයන් එයට ඉඩක් දෙන්නේ නැහැ.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-04

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.