LNN SPY

17,500ට වැලි කියුබ් එක අරන් 27,500 ට විකුණන ගල් ,වැලි සිරිසේනලාගේ මාෆියාව …. රට පවුලක සාපයකට යන්නට ඉඩ දෙනවාද? පිබිදෙමු පොළොන්නරුවෙන් පිබිදෙන සිරිසේන පවුල ….

Published on: Aug 14, 2018  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයක් ලෙස ක්‍රියාවට නැගෙන “පිබිදෙමු පොළොන්නරුව” සම්බන්ධයෙන් මේ වන විට සමාජ කතිකාවක් ගොඩනැගී ඇත. “පිබිදෙමු පොළොන්නරුව” යටතේ රුපියල් කෝටි 1600ක් වියදම් කොට ව්‍යාපෘති 180ක් ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති සිරිසේන රාජ්‍ය නායකයාය. ඔහු රටේම ජනාධිපතිය. එහෙත් ඔහු වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ පොළොන්නරුවටය. රටේම ජනාධිපතිවරයා එක් දිස්ත්‍රික්කයකට පමණක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නම් අනිකුත් දිස්ත්‍රික්කවල ජනතාවටද තම තමන්ගේ ජනාධිපතිවරු පත්කර ගැනීමට සිදුවන්නේය.

පසුගිය රජයේ රාජ්‍ය නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය යැයි කියමින් හම්බන්තොට ලංකාවේ සුපිරි දිස්ත්‍රික්කය බවට පත් කිරීමේ ක්‍රියාවක නිරත විය. එම සංවර්ධන ක්‍රියාවලියේදී එහි මූලිකත්වය ගෙන ක්‍රියා කළේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ය. පාරවල්, පාලම්, බෝක්කු, ගොඩනැගිලි ඉදිරි කරමින් එය රටේ සංවර්ධනය යැයි අර්ථකථනය කළේය. එහෙත් එකී සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට හිමි නොවීය. ජනතාවගේ ජීවිත වලින් එකී සංවර්ධනය හෙළිදරවු නොවීය. අවසානයේ සිදුවූයේ ජනතාව ණයකරුවන් බවට පත්වීමය. රාජපක්ෂ පාලනයේ සංවර්ධනය හා සිරිසේන පාලනයේ සංවර්ධනය අතර කිසිදු වෙනසක් දක්නට නොලැබේ. රාජපක්ෂ පාලනයේ ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය වෙනවා හැර අන් යමක් සිදුවන බවක් නොපෙනේ.

මේ වන විට පිබිදෙමු පොළොන්නරුව යැයි වැඩසටහනක් ජනාධිපති සිරිසේනගේ අධීක්ෂණය යටතේ සිදුවෙමින් ඇත. මේ සදහා වැයවන මුදල රුපියල් කෝටි 1600කි. එම මුදල වියදම් කරමින් ව්‍යාපෘති 180ක් ක්‍රියාත්මක වන බව පැවසේ. මේ යටතේ පාරවල්, ගොඩනැගිලි ඉදිවෙමින් පවතී. ඒ පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කැමැත්තකි. ජනතාවට මේ ව්‍යාපෘති පිළිබඳව කිසිදු නිශ්චිත අදහසක් නොමැත. ඔවුන් පාරවල්, ගොඩනැගිලි, පන්සල්, පාසල්, ආදී ඉදිකිරීම් සම්බන්ධයෙන් තෘප්තියෙන් සිටී. ඔවුන්ද සංවර්ධනය යැයි සිතනුයේ මෙවන් දේවල්ය. ඒ නිසාම ඔවුන්ට මේ පිළිබඳව ඇත්තේ යහපත් අදහසකි. මේ හරහා සිදුවන ඇත්ත පිළිබඳව ජනතාවට කිසිදු අවබෝධයක් ඇති බවක් නොපෙනේ.

කෝටි 80න් වියදම කෝටි 40යි ඉතිරිය ආගිය අතක් නැ 

මේ ව්‍යාපෘතිවලින් සංවර්ධනය වන්නේ ජනතාව නොවන බවට සාක්ෂි රැසක් ඇත.එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් කෝටි 80ක් වෙන් වී ඇත්නම් සැබවින්ම ඒ සඳහා වැය වන්නේ කෝටි 40කි. ඉතිරි කෝටි 40 වියදම් වන්නේ කෙසේද යන්න කිසිවෙකුට අවබෝධයක් නොමැත. ඒ අනුව මේ ව්‍යාපෘති හරහා විශාල ලෙස මූල්‍ය වංචා සිදුවන බවට තොරතුරු වාර්තාවේ. මේ ව්‍යාපෘති තුළින් විශාල වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම්ය. මහවැලි ඉදිකිරීම් අංශයේ නිර්දේශය වී ඇත්තේ මේ සියලු ඉදිකිරීම් සඳහා මහවැලි ගඟේ වැලි භාවිතා කළ යුතු බවයි. විශේෂයෙන්ම මනම්පිටිය වැලි නිධිය මගින් ගන්නා වැලි මෙම ඉදිකිරීම් සඳහා භාවිතා කරනු ලැබේ. එහෙත් මේ සියල්ල පිටුපස මෛත්‍රීපාල සිරිසේනගේ සහචරයකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. මේ සියලු ඉදිකිරීම් සඳහා වැලි සපයන්නා බවට පත්වී ඇත්තේ කලාගල ප්‍රියන්ත නැමැත්තෙකි. ඔහු වැලි කියුබ් 3ක ලොරියක් මේ ඉදිකිරීම් සඳහා ලබාදෙන්නේ රුපියල් 27,500කටය. ඔහු එම වැලි ලොරිය ලබාගන්නේ රුපියල් 17,500කටය. ඒ අනුව ඔහු එක් ලොරියකින් ලබන ලාභය රුපියල් 10,000කි. දිසාපතිවරයාගේ නිර්දේශය වී තිබෙන්නේද මහවැලි ගඟේ වැලි රජයේ ඉදිකිරීම් සඳහා යොදාගත යුතු බවයි. නමුත්, එම වැලි මිලදී ගන්නේ ප්‍රියන්ත නැමැත්තාය. ඔහු අඩුමුදලට වැලි ගෙන වැඩි මුදලට නැවත රජය වෙත සපයයි. මේ ව්‍යාපෘතිවල ප්‍රධාන වැලි සැපයුම්කරුවා වී ඇත්තේද ඔහුය.

17,500ට වැලි කියුබ් එක අරන් 27,500 ට විකුණන පොලොන්නරුවේ වැලි රජ්ජුරුවෝ..

මහවැලි ගඟේ වැලි ගොඩදාන කොන්ත්‍රාත් කරුවන් දිනකට වැලි කියුබ් 60ක් ගොඩදාන්නේ නම් ඒ සියල්ල ප්‍රියන්ත නැමැත්තා රුපියල් 17,500ට එම ස්ථානයේදීම මිලදී ගෙන එතන සිටම අදාළ ඉදිකිරීම් සඳහා රුපියල් 27,500 අලෙවි කරයි. ඒ අනුව වැලිවලින් තුනෙන් එකක් මංකොල්ලකෑමකට ලක්ව ඇති බව පෙනී යයි. පොළොන්නරුවේ මේ වන විට ඉදිවන ලොකුම ඉදිකිරීම වන්නේ පොළොන්නරුව වකුගඩු රෝහලයි. එම රෝහල පොළොන්නරුවට ලබාදී ඇත්තේ චීන සමාගමක් විසිනි. පෝර්ට් සිටිය ඉදිකිරීමට ලබාදුන් අවසරයට ප්‍රතිඋපකාරයක් ලෙස මෙම රෝහල ඔවුන් විසින් ඉදිකරනු ලබයි. එම සමාගම විසින් අදාළ ඉදිකිරීම් සඳහා වැලි සපයන්නන් සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. ඒ අනුව ඔවුන්ට ලැබුණ අවම ටෙන්ඩරය වී ඇත්තේ වැලි කියුබ් 3ක ලොරියක් සඳහා 18,500ක ටෙන්ඩරයකි. එහෙත් කලාගල ප්‍රියන්ත නැමැත්තාගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් අදාළ ටෙන්ඩර්කරුවන් ඉවත් වී ඇත. ඒ අනුව කලාගල ප්‍රියන්ත නැමැත්තා අදාළ චීන සමාගමට රුපියල් 27,500ට වැලි සැපයීමට සූදානම් වී ඇත. එහෙත් අදාළ සමාගම පවසා ඇත්තේ 18,500 වැලි ලබාගත හැකිව තිබියදී 27,500ට වැලි ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ තත්ත්වය තුළ අදාළ චීන සමාගම තීරණය කොට ඇත්තේ වැලි වෙනුවට කළුගල් කුඩු යොදා ගනිමින් අදාළ රෝහල ඉදිකිරීමටයි. මේ වන විට ඉදිවන රෝහල නිරීක්ෂණය කිරීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තහවුරු කරගත හැකිය. සමාගම පවසනුයේ කළුගල් කුඩු යොදා ගනිමින් ඉදිකිරීම් කළද රෝහල තුළ උෂ්ණත්වය වැඩිවන බවයි. ඒ අනුව එය ලෙඩුන්ට බලපාන බවද අදාළ සමාගම පවසයි. නමුත්, වැලි ඒකාධිකාරය හමුවේ අදාළ සමාගමට සිදුවී ඇත්තේ කළුගල් කුඩු යොදා ගනිමින් ඉදිකිරීම් කිරීමටය.

ගල් ,වැලි සිරිසේනලාගේ මාෆියාව

සංවර්ධනයේ නාමයෙන් පොළොන්නරුවේ සිදුවන්නේ මහා මූල්‍ය වංචාවකි. පිබිදෙමු පොළොන්නරුවට වෙන්වී ඇති රුපියල් කෝටි 6000 ඇතුළේ වැඩි වශයෙන් සිදුවන්නේ ඉදිකිරීම්ය. කාපට් පාරවල්, කොන්ක්‍රීට් පාරවල්, ගොඩනැගිලි ආදී වශයෙන් ඉදිකිරීම් සිදුවේ. මෙම ඉදිකිරීම්වල ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් අතර පෙරමුණේ සිටින්නේ ජනාධිපති සිරිසේනගේ සහෝදරයෙකු වන චමින්ද සිරිසේනය. ජනාධිපති සිරිසේනගේ තවත් සහෝදරයෙකු වන ඩඞ්ලි සිරිසේන මෙහි තවත් පාර්ශ්වයක් නියෝජනය කරයි. ගල් සහ වැලි සැපයීමේදී කලාගල ප්‍රියන්ත සහ මොවුන් අතර බරපතළ සම්බන්ධතාවයක් පවතින බවටද තොරතුරු ඇත. ඒ අනුව මේ ඉදිකිරීම් හරහා වැඩිම මුදලක් ලැබෙන්නේ ජනාධිපති සිරිසේනගේ ඥාතීන්ට සහ හිතවතුන්ටය.

මේ සා විශාල මුදලක් එක් දිස්ත්‍රික්කයක ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා යෙදවෙන්නේ නම් එම මුදල් දිස්ත්‍රික්කයේ ජනතාව අත සංසරණය විය යුතුය. එහෙත් එය එසේ වී නැත. මේ මුදල් සංසරණය වන්නේ එක් පිරිසක් අතරේ පමණි. මෙය බරපතළ ගැටලුවකි. මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදේශයන්ගෙන් ලබාගත් ණය මුදල් වලිනි. එම මුදල් වලින් වැඩි කොටස ජනාධිපතිවරයාගේ ඥාතීන්ට සහ හිතවතුන්ට ගලාගෙන යද්දී ජනතාව වෙත ගලාගෙන යන්නේ මහා ණය කන්දකි. ජනතාව ඉදිකිරීම් පිළිබඳව අවබෝධයකින් තොරව ඇසට පෙනෙන ඉදිකීරීම් පිළිබඳව සතුටින් ඉපිලී යයි. එහෙත් මේ තුළ වන මූල්‍ය වංචා පිළිබඳව සහ මේ මහපොළොවට යටවන ධනය තමන්ගේ බදු මුදල්වලින් අයවන බව මේ ජනතාවගෙන් දන්නේ අතලොස්සකි. ජනතාව ණයකරුවන් බවට පත් කරමින් සිරිසේන පවුල නඩත්තු කිරීමට ජනතාවට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රාජපක්ෂ පවුල නඩත්තු කළ ආකාරයටමය. ජනතාවට ප්‍රතිලාභ ලෙස ඉතිරිවන්නේ පාරවල් සහ ගොඩනැගිලි පමණි. එහෙත් ජනතාවගේ ජීවිතවල සහ ආර්ථිකයේ සංවර්ධනයක් වෙනුවට සිදුවන්නේ ණයකරුවන් බවට පත්වීමය.

අපේ රටේ ඉතිහාසයේ සිට පාලකයන් කළේ මේ විනාශයය. රණසිංහ ප්‍රේමදාස ගම් උදාව යැයි කියමින් ජනතා ධනය වියදම් කරමින් තැනින් තැන තමන්ගේ උපන්දිනය පදනම් කොටගෙන බාල් නැටුවේය. එහිදී කළ ඉදිකිරීම් වල සැබෑ තත්ත්වය ජනතාවට අවබෝධ වූයේ එම ගොඩනැගිලි දිරාපත් වෙමින් හරක් මඩු බවට පත්වීමෙන් පසුවය. රාජපක්ෂ පාලනයේදීද කළේ ඒ ටිකමය. ඔවුන්ද කළේ ඉදිකිරීම්ය. දැන් සිරිසේන පාලනය විසින් කරමින් පවතින්නේද ඉදිකිරීම්ය. මේ ඉදිකිරීම්වලට යටවන ධනය පිළිබඳව කිසිසේත්ම විගණනයක් සිදු කළ නොහැකිව පවතී. ඒ අනුව මේවා යට සිදුවන අතයට ගනු දෙනු සහ මූල්‍ය වංචා බහුලය. පාලකයන් තම තමන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ට මුදල් හම්බ කිරීමේ මාර්ගයක් ලෙස මෙය භාවිතා කරන්නේ ඒ නිසාවෙනි.

එක් පවුලක සාපයෙන් මේ රට ගලවා ගත් ප්‍රගතිශීලී ජනතාව තවත් පවුලක සාපයකට මේ රට යටත් කිරීමට කිසිදු සූදානමක නොසිටියේය. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණි සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂ මග අනුගමනය කරමින් අද කරමින් සිටින්නේද පවුලක නඩත්තුවකි. දහම් සිරිසේන. චතුරිකා සිරිසේන පොළොන්නරුවේ බලය පතුරමින් සිටින බව පෙනී යයි. ජනාධිපති සිරිසේනට තවදුරටත් බලය පිළිබඳව සිතිය හැකි තත්ත්වයක නොමැත. එහෙත් දහම් සිරිසේන හෝ චතුරිකා සිරිසේනගේ අනාගතය නිර්මාණය කිරීමේ හැකියාව ඔහුට තිබේ. ඔහු මේ පොළොන්නරුව පදනම් කරගනිමින් කරමින් සිටින්නේ ඒ දීර්ඝ කාලීන සැලසුම විය හැකිය. ජනතාවගේ බදු මුදලින් ජනතාව ණය කාරයන් කරමින් පවුල් නඩත්තු කළ පාලකයන්ට මේ රටේ ජනතාව උරුම කරදුන් ඉරණම මෛත්‍රීටද අදාළ බව පමණක් අපි දනිමු.

එස්. කේ. ගමගේ

Top