Breaking
24 Feb 2025, Mon

19 කැලේ… ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය

Published on: Nov 25, 2017 – දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය

43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව.

46 (2) හා 46 (3) වගන්ති අනුව අගමැති හා ඇමතිවරු ඉල්ලා අස් නොවුනහොත් හෝ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති අස් නොකළහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස සිටින තාක්, යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද එතෙක් අගමැති හෝ ඇමතිවරුන් හෝ ලෙස කටයුතු කරනු ඇත. මෙහි දී වැදගත් වන්නේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද යන්නයි. 43 (3) වගන්තිය අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි බැවින් සංයුතිය වෙනස් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැති වන බැවින් 46 (2) හා 46 (3) වගන්ති ජනාධිපති 43 (3) වගන්තිය යටතේ ක්‍රියාත්මක වන විට අදාළ වන්නේ නැහැ. මේ වගන්ති සංගත නැහැ. එහෙත් 43 (3) පැහැදිලියි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආ එකක්. එහි පරස්පර සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව ක්‍රියා කර අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි. ඒ සඳහා අගමැතිගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ අදහස් වීමසීමක් අවශ්‍ය වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් අස් වී ඒමට හැකි නමුත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස රැඳී සිටීමට සිදුවෙනවා. එසේ නොකළහොත් රනිල් පළමුව වැඩ බලන ජනාධිපති වී පසුව ජනාධිපති වෙන්න පුළුවන්. එය අන්තිම භයානකයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස සිටින තාක් ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවේ සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. මෙය තරමක ප්‍රශ්නයක්. එබැවින් ජනාධිපති කළ යුත්තේ අගමැති ඉවත්කර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කර මහින්ද අගමැති ලෙස පත්කර සුදුසු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ මැතිවරණ සඳහා නොව, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන්වැනි සංශෝධනය ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම සඳහායි.

අද දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ජාතික කොඩිය හා ජාතික ගීය සම්බන්ධයෙන් වහසි බස් දොඩනවා. මේ රනිල් අගමැති ධුරයේ සිටින නිසයි. ඒ අතර මේ ඊනියා ජාතික ආණ්ඩුව මෙතෙක් ඇති වූ දුර්දාන්ත ම ආණ්ඩුවයි. මේ ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි. ඒ සඳහා 2020 තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූල ව වෙනස් කළ හැකියි. ඉහත සඳහන් වගන්ති ගැන මා කලින් ද කියා තිබෙනවා. එහෙත් කිසිවකු ඒ ගණන් ගන්නේ නැහැ. 2020 තෙක් සිටිය යුතු ය කියන්නේ එ ජා ප හිතචතුන් දෙමළ ජාතිවාදීන් කසිකබල් මාක්ස්වාදීන් ඊනියා ලිබරලුන් පඬියන් සිවල් සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදීන් බව පැහැදිලියි. අවාසනාව ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ද මේ කතාව විශ්වාස කිරීමයි.

________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-25

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ අධ්‍යයනයට පහතින් යොමුවන්න ….

19TH AMENDMENT TO THE CONSTITUTION OF SRI LANKA

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.