LNN SPY

20 ද…….? සජිත්ද……? කැබිනට්ටුව අද රැස්වෙයි…….

Sep 19, 2019 – ජනාධිපතිවරණයට දින නියම කර ඇති මේ අවස්ථාවේ දි කැබිනට් මණ්ඩලය හදිසියේ කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කොට තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් උඩ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති අතර අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දි දේශපාලන කරලිය උණුසුම් කරන තීරණ දෙකක් පිළිබඳව අවසන් නිගමනයට පැමිණීමට නියමිතය.

ඒ අනුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කොට එයට කැබිනට් අනුමැතිය ලබා ගැනීම කැබිනට් මණ්ඩලය හදිසියේ කැදවීමේ පළමු අවශ්‍යතාව වි තිබෙනවා. පසුව එම කැබ්නට් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට බහුතර කැමැත්ත ලබා ගැනීමටද තීරණය කොට ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට අගමැති වික්‍රමසිංහ ගේ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය හිමි වී ඇති අතර 20 සංශෝධනය වීමත් සමඟ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටළු බොහෝමයක් විසඳෙන බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

යම් හෙයකින් 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වුවහොත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පාර්ලිමේන්තුව ඔහුව ඉවත් කරන තුරු බලයේ රැදි සිටීමට හැකිවන අතර පවතින පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසය දක්වා ම පවත්වා ගෙන ගොස් නැවත මැතිවරණයකට යාමට හැකි වනු ඇති.

මීට අමතර ව රජයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා ගැනීම ද අද රැස්වෙන කැබිනට් රැස්වීමේ අරමුණක් වන බවයි.

නමුත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති විසින් කර ඇති යෝජනාවට සජිත් පාර්ශවයෙන් මේ වන විටත් නිසි පිළිතුරක් ලැබි නොමැති අතර මේ වන විටත් පාර්ලිමේන්තු සංකීර්ණයේ සජිත් පාර්ශවයේ මන්ත්‍රිවරුන් විසින් හදිසි රැස්වීමක් පවත්වන බවද වාර්තා වේ.

Top