LNN SPY

බරපතල වංචා පිළිබඳ කොමිෂන් වාර්තාව ආණ්ඩුවේ අතේ රෝලක්ද? … මහින්දගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට නිර්දේශයක් නෑ

2017.01.29 දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා සහ හෝමාගම සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන් සහභාගි විය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බරපතල වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ලෙස ප්‍රසිද්ධ කර ඇත්තේ සැබෑ වාර්තාව නොවන බවට මෙන්ම මෙය දේශපාලන උවමනාවෙන් යලි සකසන ලද වාර්තාවක් බවට අපට සාධාරණ සැකයක් තිබෙනවා.   ඇයි අපි එහෙම කියන්නේ?  මේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගෙන් හතරදෙනෙකුම පලපුරුදු විනිසුරුවරුන්.  විනිසුරුවරුන් නිගමනයකට එළැඹෙන ක්‍රම වේදයක් අපි නඩු තීන්දු වල දැක තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම නඩු තීන්දුවක මෙන්ම බැඳුම්කර වාර්තාවේත් තමන්ගේ නිගමනයට එළැඹීමට හේතු දක්වනවා.  එහි දී නිගමනයට අදාළ සාක්ෂි උපුටා දැක්වීම සිදුකෙරෙනවා . උදාහරණයක් වශයෙන් බැඳුම්කර වාර්තාවේ සිය නිගමනයන්ට එළැඹෙන විට ඒ සදහා පාදක කරගත්ත කාරනා මොනවද කියන එක අදාල තැන්වලින් උපුටා දක්වමින් තමයි ඒ නිගමන වලට එළැඹෙන්නේ.   නමුත් මේ විමර්ශන 34න් එකක්වත් අදාළ නිගමනයට එළැඹීමට බල පෑ හේතු දක්වා නෑ. අපි දන්නවා උගත් නඩුකාර වරුන් කවදාකවත් සාක්ෂි නොමැතිව නිගමනයන් වලට නිර්දේශවලට නියෝග වලට එළඹෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි අපි සාධාරණ සැකයක් ඇතිකරගන්නේ  මේ තිබෙන්නේ විනිසුරු වරුන් අත්සන් කර බාරදුන් වාර්තාව නොවෙයි ජනාධිපති ලේකම් කාර්යාලයේදී යලි සකසන ලද වාර්තාවක් කියලා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තියේ කියනවා යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්දයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකල යුත්තේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිධූරය දැරූ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් විකාශනය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමට නිලධාරීන්ට අනුබල දුන්නා කියන දූෂණ චෝදනාව සහ දූෂණයට අනුබල දුන්නා කියන චෝදනාව යටතේ නඩු පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉඩක් නෑ. 35 (1) වගන්තියෙන් ඒ අවස්ථාව අහුරා තිබෙනවා. නවයපන්තියේ සමාජඅධ්‍යනය විෂය ඉගෙන ගත් දරුවන් පවා මේ ජනාධිපති මුක්තිය කියන එක දන්නවා. නවය පන්තියේ සිසුන් දන්න දේ මේ උගත් විනිසුරුතුමන්ලා නොදන්නවා කියලා කාටවත් හිතන්නට බෑ. ඒ නිසා මේක මේ උගත් විනිසුරුවන් විසින් සැකසූ වාර්ථාව නොවෙයි දේශපාලන වුවමනාවක් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකසන ලද වාර්තාවක් කියන සැකය එන්නේ ඒ නිසයි.

පසුගිය ජනාධිපති වරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ පළ කල දැන්වීම් වලට මුදල් අයකර ගැනීමට කටයුතු නොකලායැයි කියලා නිලාධාරීන් තුන්දෙනෙකුට සහ ඒ දූෂණයට අනුබල දුන්නායැයි කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ටත් නඩු දාන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. මෙහිදී අනුබල දීම කියන වරද සිදුවෙන්න නම් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ස්වාධීන රූපවාහිනියේ කාට හරි කතා කරලා මගෙන් එන දැන්වීම් වලට සල්ලි ගන්න එපා යැයි කියන්න ඕනෑ. කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු වලින් එවැනි නියෝගයක්, ඉල්ලීමක් පිළිබද කිසිම හෙළි දරවක්වක් නැහැ. එහෙමනම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට දූෂණයට අනුබල දීම යටතේ නඩු පැවරිය යුතුයි කියා කොමිසම නිගමනය කරන්නේ කොහොමද?

විදුලි බල මණ්ඩලයත් ස්වාධීන රූපවාහිනිය වගේම 100%ක් රාජ්‍ය ආයතනයක්.  කවුරු හරි විදුලි බිලක් නොගෙවා සිටියොත් විදුලිය විසන්ධි කර ඒ මුදල අය කර ගන්න සිවිල් නඩු පවරනවා මිස දූෂණ චෝදනා නගන්නේ නෑ. ස්වාධීන රූපවාහිනිය කියන්නෙත් එහෙම ආයතනයක්. අනික් අතට මෙම දැන්වීම් ඉදිරිපත් කරලා තිබෙන්නේ ප්‍රචාරක ආයතනයකින් මිස මහින්ද රාජපක්ෂ මැතිතුමන් නෙවෙයි. එම නිසා මුදල් අය කර ගත යුත්තේ අදාළ ප්‍රචාරක ආයතනයෙන් මිස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් නෙමෙයි .  මහින්ද රජපක්ෂ මැතිතුමන්ගෙන් හෝ එම දැන්වීම් දැමීමට බාරදුන් අයගෙන් මුදල් අයකර ගැනීම එම ආයතනයේ කාර්යභාරයක්. නමුත් ප්‍රචාරක ආයතනය සම්බන්ධ කර නොගෙන මහින්ද රාජපක්ෂ මහතාව චූදිතයෙක් කර ගැනීම දේශපාලන අරමුණකින් කල දෙයක් විනා උගත් විනිසුරුවරුන් විසින් කළ දෙයක් විදිහට මම නම් දකින් නැහැ.

ජනපති මහින්දගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට නිර්දේශයක් නෑ

බරපතල වංචා කොමිෂන් වාර්තාවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති බවට අගමැතිතුමා මේ දවස්වල වේදිකාවක් ගානේ කියා ගෙන යනවා. මම එතුමන්ට අභියෝග කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට නිර්දේශ කර  ඇති පිටුවේ අංකය කියන්න. මීට කලිනුත් අගමැතිතුමන් බොරුවක් කිව්වා. එතුමන් කිව්වා රාජපක්ෂ යුගයේ දී බිලියන 4,000ක වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර වාර්තාවේ තිබෙන බවට . මම පිටු 946 ම කියෙව්වත් කිසිම පිටුවක එවැනි නිර්දේශයක් නැහැ.  එසේනම් එය තිබෙන පිටුව කියන්න කියලා මම ජනාධිපිතතුමන්ට සහ අගමැතිතුමන්ට  අභියෝග කලාට පසුව දැන් ඒ කතාව වේදිකාවේ කියන්නේ නැහැ.  දැන් මේ අළුත් කතාව කියනවා. ජනාධිපතිතුමන්නම් කමක් නෑ කියමු.  නීතිඥයෙකු වුණු අගමැතිතුමා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කරන්න බැරි බව නොදැන සිටීම කනගාටුවට කරුණක්.  ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ හැක්කේ විශේෂ ජනාධිපති කොමිසමකට.  මේක කරුණු සොයා වාර්තා කරන විමර්ශන ජනාධිපති කොමිසමක්.

ඒ නිසා රටේ දෙවැනි පුරවැසියා ජාතියට විහිළු සපයන්නෙකු බවට පත්වුනොත් ජාතිය විහිළුවක් බවට පත්වෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමනි ඔබතුමන් කියන්න පෙරා සිතා බලන්න යැයි අපි කියනවා. අර පස්දුන් රට ගැන කියපු සිද්ධීය, තොප්පිගල විශාල කැළයක් යැයි කියපු සිද්ධියට පස්සේ දිගු කලක් ඔබ තුමන් කට වරද්දා නොගෙන සිටියත් නැවතත් ඔබ තුමන්ගේ නරක කාලය උදාවෙලාදැයි අපට සිතෙනවා.

Top