විශේෂාංග

මේඩ් ඉන් මැදමුලන

විශ්වාසභංගය නම් ඉවරය. හැබැයි අර්බුදය නම් ඉවර නැත. අර්බුදය ඉවර වෙන පාටක් පේන්නත් නැත. විශ්වාසභංගය ඉවර වුණාට පස්සේ ලොකු ලොකු අර්බුද ඇතිවෙමින් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේය. ඒවා විශ්වාසභංගයේ අතුරුඵලය. ඇත්තම කිව්වොත් මේ විශ්වාසභංගය හරියට වතුරේ බැහැලා ඉන්න හිප‍පොටේමස් කෙනකු වාගේය. වතුරේ බැහැලා ඉන්න හිප‍පොටේමස් කෙනකු දිහා ගොඩ ඉඳන් බැලුවාම පෙනෙන්නේ හොම්බ විතරය. හැබැයි කිලෝ ගාණක මහා සද්දන්ත සිරුර තියෙන්නේ වතුර යටය. අප්‍රේල් 04 බදාදා ලැබුණු ප්‍රතිඵලයත් හිප‍පොටේමස්ගේ හොම්බ වාගේය. ලැබෙන්න නියමිත ප්‍රතිඵල ටික හිප‍පොටේමස්ගේ වතුර යට තියෙන මහා ලොකු සිරුර වාගේය.

විශ්වාසභංගයේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳිලා ඉන්නවා කියන කාරණය දැන් කරළියට ඇවිල්ලා තිබේ. ඒ කියන්නේ විශ්වාසභංගයේදී රැකිලා තියෙන්නේ රනිල්ගේ අගමැතිකම විතරක් නොවේ. රනිල්ගේ පක්ෂ නායකකමත් රැකිලා තිබේ.

රනිල්ව නායකත්වයෙන් එළවන්න ට්‍රයි කරපු බොහෝදෙනකුගේ අපේක්ෂා භංග වන තත්ත්වයක් දැන් දැන් පෙනෙන්න තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලටත් කණකොකා හඬන තත්ත්වයක් දැන් උදාවෙමින් තිබේ. පෙනෙන්න තියෙන විදියට නම් රනිල් හදන්නේ පක්ෂයේ සභාපති හා ‍ලේකම් මාරු කරලා වැඩේ ෂේප් කරගන්නය.

මීට කලින් මේ වාගේම වැඩේ ෂේප් කරගන්න නායකත්ව මණ්ඩලයක් පත් කළේය. රනිල්ව ජාතික නායකයා කළේය. නියෝජ්‍ය නායක ධුර ඇති කළේය. උප නායක ධුර ඇති කළේය. හැබැයි බරවා කකුල එහෙමම තිබුණේය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳලා වැඩක් නැහැ කියලා කිව්වේ මේ වාගේ වැඩ ඒ දවස්වලත් සිද්ධ වෙච්ච නිසා විය යුතුය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම තනතුරු තුන හතරකට අලුත් නම් ටිකක් දාන එක නම් ඒකේ වාසියත් රාජපක්ෂලාට මිස වෙන කාටවත් නොවේ. පක්ෂ නායකකමට තට්ටු වුණොත් ඊළඟට අගමැතිකමටත් තට්ටු වෙන බව අවබෝධ කරගන්න බැරි තරම් රනිල් දේශපාලන අඳබාලයකු නොවේ.තමන්ගේ අගමැතිකමට හා නායකකමට තට්ටු කරන්න හදන අයට ගේමක් නොගහා ඉන්නට තරම් රනිල් අහිංසකයකුද නොවේ. අවසානයේදී කරළියට එන්න නියමිතව ඇත්තේ ගේ ඇතුළේ ගැටුමක් විනා අනෙකක් නොවේ.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පක්ෂ නායකත්වය දීලා පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා හැරෙන්නට යූඇන්පී එකට වෙන කරන්න දෙයක් නැත. 2020 මැච් එක දිනන්න ආසාවක් තියෙනවා නම් කරන්න ඕනෑ ඒකය. හැබැයි 2020දී තවත් රාජපක්ෂ කෙනකු බලයට එනවා දකින්න ආසයි නම් එක්සත් ජාතික පක්ෂය කරන්න ඕනෑ සභාපතිකමයි, ‍ලේකම්කමයි මාරු කරලා නියෝජ්‍ය නායක, උප නායක තනතුරු ටිකක් හදලා කැරලිකරුවන්ව සන්තර්පනය කරන එකය. වෙන්න යන්නේ ඒකද කියලා හිතෙන්නේ නායකත්වයේ වෙනසක් දැම්මම ඕනෑ නැතැයි කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය තීරණය කළා යැයි කියන කතාව ඇහෙනකොටය. ඉතින් එහෙම බලනකොට විශ්වාසභංගය දිනවලා අන්තිමේදී සිද්ධ කරවාගෙන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානවලට කණකොකා හඬවා ගන්න එකය. රනිල්ට පක්ෂව ඡන්දය දුන්න එක්සත් ජාතික පක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරුන්ගෙන් ඒකාබද්ධයේ කට්ටිය අහනවා ඇත්තේ දැන් සැපද කියලාය.

ප්‍රතිසංවිධාන යට ගිහිල්ලා යූඇන්පී එක අගාධයට යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වය දෙකඩ කරලා රාජපක්ෂලා අලුතෙන් ගේමක් ගහලා තිබේ. විශ්වාසභංගයට සහාය දුන්න රනිල් විරෝධී පිල හා විශ්වාසභංගයට සහාය නොදී පැනලා ගිය රනිල්වාදී පිල ලෙස දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිල් දෙකකට බෙදිලා ගහගන්නට පටන් අරන් තිබේ. ඒ අස්සේ මහින්ද තවත් බෝම්බයක් අතහරිමින් කිව්වේ විශ්වාසභංගයට සහාය දුන් අයට තමන් සමග එකතු වෙන්න කියලාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රනිල්ට විරුද්ධව ඡන්දය දුන් 16 දෙනා සහ රනිල්ට විරුද්ධව ඡන්දය නොදුන් 26 දෙනා දැන් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නේ නයින් සහ මුගටින් වාගේය. විශ්වාසභංග යෝජනාව හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉරි තළා ගිහින් තියෙන්නේ රාජපක්ෂලාගේ ගොඩ වැඩි කරමින් සිරිසේනගේ ගොඩෙන් 16ක් වැට උඩට නග්ගමින්ය.

ඇත්තම කිව්වොත් සිද්ධවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රාජපක්ෂලාගේ බලය තවදුරටත් ශක්තිමත් වීමය. ඒ නිසා මේ විශ්වාසභංගයේ සැබෑ ජයග්‍රාහකයා රාජපක්ෂ කඳවුර ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය බවට වීරවංශ දක්වන අදහස ‍ලේසියෙන් බැහැර කරන්න බැරිය. මේ තත්ත්වය නිසා 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පි‍ලේ වැඩි පිරිසක් ‍පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙන්න ඉදිරිපත් වෙන බවට සැකයක් නැත. සුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙනු ඇත. මහා මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව නිසා ජනාධිපතිවරණය කැඳවූ විගස කාට කාටත් තමන් හිටගත්තේ කා එක්කද කියලා තීරණය කරන්න සිද්ධ වෙනවා ඇත. එතැනදී දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, විජිතමුණි සොයිසා, මහින්ද අමරවීර ප්‍රමුඛ පිරිසට ‍පොහොට්ටුවේ අපේක්ෂකයාට විරුද්ධ පිලට සහයෝගය දෙන්නට සිදුවෙනවා ඇත. වර්තමානයේදී දුමින්ද දිසානායකලා, මහින්ද අමරවීරලා, විජිතමුණි සොයිසලා දක්වන අදහස්වලින් ඔවුන්ගේ ඊළඟ නවාතැන පිටකෝට්ටේ පිහිටි බව පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන්ය.

මෛත්‍රීපාලගේ නායකත්වයෙන් පහුුගිය ඡන්දයේදී එක මතයක ඉඳන් එකට වැඩ කළ කණ්ඩායම දෙකට බෙදලා පළුවක් තමන්ගේ පැත්තට නම්මවා ගන්න ඒකාබද්ධය ගහපු ගේම නිසා අද යහපාලන දීගය අවසන් වන තැනට ඇවිල්ලා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාලගේ බලය භාගයකින් අඩුවෙලා තිබේ. 2020 ජනාධිපතිවරණයට ඉල්ලන අදහස අත්හැර ගන්න මෛත්‍රීපාලට සිද්ධවෙලා තිබේ. ඒ වාගේම මෛත්‍රීපාලට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබෙන බව සීයට සීයක්ම සනාථ වෙලා තිබේ. යළි ‍පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම යන කාරණය සිහිනයක්ම වෙලා තිබේ. 2020දී යූඇන්පී-සිරිසේන දීගයකට තිබූ ඉඩ නැත්තටම නැතිවෙලා තිබේ. කෙළින්ම කිව්වොත් ලාංකීය පක්ෂ දේශපාලනයේ බෙදුම් ඉර හරියටම සටහන් වෙලා තිබේ.

2020දී සටන තියෙන්නේ යූඇන්පී සහ යූඇන්පී විරෝධී පිල අතර බව දැන් සක් සුදක් සේ පැහැදිලි වෙලා තිබේ. 2015දී සටන තිබුණේ මහින්ද හා මහින්ද විරෝධී පිල අතරය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද විරෝධය යට යමින් රනිල් විරෝධය හා යූඇන්පී විරෝධය වේගයෙන් උඩට එමින් තිබේ. රාජපක්ෂලාට ඕනෑවෙලා තිබුණේත් ඒ බෙදුම් රේඛාව හරියට ඇඳගන්නය. ඒකට ‍පොඩි බාධාවක් වෙලා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පිලය. හැබැයි මේ විශ්වාසභංගය හරහා මෛත්‍රීගේ 16ක් ගලවලා ඩාලි පාරට බෝම්බයක් ගහන්න මහින්දට පුළුවන් වෙලා තිබේ. ඉතින් එහෙම බලනකොට අප්‍රේල් 04 සැබෑ ජයග්‍රාහකයා වෙන කවුරුත් නොව මහින්දය. බලන් ගියාම මහින්ද සිරිකොතටයි, ඩාලි පාරටයි එක පාර ගහලා තියෙන්නේ ‍ලේසි පහසු බෝම්බයක් නොවේ. ඒ වාගේ බෝම්බ හැමෝටම ගහන්නත් බැරිය. ඒකට හේතුව ඒ බෝම්බ මේඩ් ඉන් මැදමුලන වීමය.

සදුන් ජීවන්ත

Top