විශේෂාංග

නරියා හුවෙන් හඳුනා ගන්න- හයිබ්‍රිඩ් ගේම්ස්

පවුල් පාලනයෙන් තොර රටකි. අතමිට සරු සමාජයකි. වී කිලෝවක සහතික මිල රුපියල් 50කි. අමු තේ දළු කිලෝව රුපියල් 80කි. රබර් ෆීට් කිලෝවේ සහතික මිල 300කි. නීතිය රකින පොලිසියකි. ගැති නොවූ විදේශ පිළිවෙතකි. රටපුරා සීඝ්‍ර සංවර්ධනයකි. සභාග ආණ්ඩුව දුන් මෙවැනි පොරොන්දු රැසක් දැන් බොඳවී ගිය සිහිනයන්ය. පැරැන්නෝ මේවාට කිවේ නරියා හුවෙන් හඳුනාගත හැකි බවකි.

ඉකුත්දා පැවති එච්.එන්.ඩී.ඒ. සිසු විරෝධතාවය අවිහිංසාවාදීය. සාමකාමීය. එහි ගල්මුල් තිබුනේ නැත. එය මර්ධනය කළේ කෲර ලෙසිනි. පොලිසියේ අවම බලය හරි ෂෝක්ය. ඒවා වෙනුවෙන් කියන කථා කිතුල් ගසට නැග්ග එකා කීවාක් වැනි පිළිතුරක්ය. පත්කල යුත්තේ කමිටු නොව කොමිෂන්ය. කමිටු වාර්තා විරෝධය සංසිදුවා ගැනීමේ උපක්‍රමයකි. සන්ධාන ආණ්ඩුව කාලයේ කටුනායක පොලිස් පහරදීමෙන් පසු පොලිස්පතිවරයා ඉල්ලා අස්විය. ආචාර්ය බාහුගේ අලුත්ම තියරිය අනුව පොලිසිය සිසුන්ට පහර දුන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමටය. රතුපස්වල වෙඩි තැබීම් වලින් පසු කොමිසමක් ප්‍රසිද්ධියේ සාක්ෂි විභාග කළේය.

ජනගහනයෙන් සියයට 42ක් දවසේ ආදායම රුපියල් 280ක් උපයන ජනතාවක් සිටින රටේ මාළඹේ පෞද්ගලික සරසවියේ වෛද්‍ය සිසුවෙක් මසකට වැය කරන මුදල ලක්ෂ 2කි. සමස්ථ පාඨමාලාවේ ලියාපදිංචි ගාස්තුව පමණක් ලක්ෂ 120කි. ඉකුත් අඟහරුවාදාද පෞද්ගලික වෙද විදුහලට එරෙහිවි සරසවි සිසූහු දහස් සංඛ්‍යාවක් කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය. ලෙනින් කීවාක් මෙන් තරුණ පිරිස දේශප්‍රේමී විය යුතුය. දේශයට, ජනතාවට ආදරය කල යුතුය. ජීවිතයේ මූලිකම කරුණ රටට ආදරය කිරීම බව තේරුම් ගත යුතුය.

හල්දුම්මුල්ල මීරියබැද්දේ නායයෑමට වසරකි. තවමත් විපතට පත් 75දෙනාට එක නිවසක් හෝ ඉදිකරදී නැතැයි එම පරිසර අනාථයින් ගෙන් විරෝධයකි. විරෝධය නිසා නතර කරනවායැයි කියූ උමා ඔය ව්‍යාපෘතියද අන්ගරා ගඟ මෙන් ගලා බසී. ඉන් විපතට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනයාට දුන් මැතිවරණ පොරොන්දු වාෂ්ප වී ගොසිනි. උමා ඔය ව්‍යාපෘතියෙන් නතර නොවී 2032 වන විට නිම කිරීම සදහා මධ්‍යම කඳුකරය සහ ඒ අවට ප්‍රදේශවල කුඩා විදුලි බලාගාර 108ක් ඉදිකරමින් සිටි. හල්දුම්මුල්ල ප්‍රදේශයේ කාමර 2,000ක හෝටලයක් සහ ගොල්ෆ් පිටියක් ඉදිකිරීම වෙනුවෙන් මාර්ග ඉදිකරමින් තිබෙන බවට පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ චෝදනාවකි. දැදරුඔයේ ජල දූෂණය ගැන අධ්‍යයනයක් කිරීමට ගිය පරිසරවේදීන් තිදෙනෙකු අවසානයේ කොබෙයිගනේ පොලිසියේ අනීතික ක්‍රියාවන්හි වින්දිතයන් බවටද පත්විය. ඒ ‘යහපාලන’ ආණ්ඩුවේ පරිසරයට ඇති ආලයේ තරමය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දැන් ‘කෙමිකල් බණක්’ කියන්නේ පොහොර සහනාධාරයට තිත තබන්නටද? එය ආණ්ඩුවට හොද ඩෑෂ් පහරකි. රජය පොහොර සහනාධාරය සඳහා වසරකට රුපියල් දශලක්ෂ 40,000ක් වැය කළේය. වසර 2015 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පොහොර මිල වෙනස්වූවද පොහොර සහනාධාරය වෙනස් කළේ නැත. සන්ධාන ආණ්ඩුව වසර 9ක් වගා කන්න 18ක් සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන 557කින් පොහොර සහනාධාරය අඛණ්ඩව සැපයීය. වී ගොවියන් සඳහා පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 358,599කි. යූරියා මිටියක් රුපියල් 3,415කි. රජය එහෙත් දුන්නේ රුපියල් 350ටය. රජයේ සහනාධාරය සියයට 90කි. සෙසු බෝග සඳහා සහනාධාරය සියයට 70කි. වත්මන් ආණ්ඩුව පොහොර වෙනුවට දැන් දෙන්නට යෝජනා කරන්නේ නිශ්චිත මුදලකි. පොහොර මිල ලෝක වෙ‍ළෙඳ පොළේ නිරතුරුව වැඩිවන බැවින් රජයට එය ලාභයකි. එදා 1978 හාල් පොත ජනතාව‍ගෙන් උදුරා ගත්තාක් මෙන් පොහොර සහනාධාරයද ඉදිරියේදී ගොවියාට කණකොකා හඬවනු ඇත.

හම්බන්තොට බඳගිරියේදී වතුර ඉල්ලූ ජනයාට ප්‍රහාරයකි. රතුපස්වලදී නැගූ හඬ වියැකී ගොසිනි. කිව්වේ එහෙමය. කෙරුවේ මෙහෙමය. රට යළි ජේ.ආර්. ප්‍රේමදාස යුගයකට මාරුවෙමින් පවතීදැයි සැකයකි. කැළය මාරුවී ඇත. එහෙත් කොටියාගේ පුල්ලි එලෙසමය. ඒකාබද්ධ විපක්ෂයද සහ වමේ කොටස්ද මේවාට එරෙහිව හඬ නඟනු ඇසේ. ඔරිජිනල් විපක්ෂයේ ක්‍රියාමාර්ග වෙනස් විය යුතුය. නමුත් සෙමෙන් ඇරඹිය යුතුය. වැදගත් වන්නේ වේගය නොව දිසාවය.

එදා කීවේ ආර්ථික සංවර්ධන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ දිවි නැගුමේ මුදල් අපහරනය කර ඇති බවය. එවැනි කෝටි 300ක මුදලක් ජනාධිපතිවරණය වෙනුවෙන් අවභාවිත කර නැති බව දිවිනැගුම බාර සමාජ සවිබල ගැන්වීමේ ඇමති එස්.බී. දිසානායක පාර්ලිමේන්තුවේදී නොවැම්බර් 3වැනිදා කීවේය. එය තවත් දේශපාලන පලිගැනීමක් බව දැන් පැහැදිලිය. දැන් ඇවන්ගාඩ් අර්බුදයද නීත්‍යානුකූල බව කියන්නේ පොලිසිය භාර ආණ්ඩුවේ ඇමතිතුමාය. ඔහු පවසන පරිදි එය 2002 මිලේනියම් සිටි පාවාදීම වැනි සිදුවීමට සමානය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ස්වාධීන රූපවාහිනියේ මැතිවරණ දැන්වීම් වලින් රුපියල් දශලක්ෂ 101ක් ගෙවීම පැහැර හැර ඇති බවට කර තිබූ චෝදනාව දැන් කොමිසම ඉදිරියේ රුපියල් දශලක්ෂ 4කට බැස ඇත. පළමු වටයෙන්ම කොල අලි පැටවුන් මෙන්ම රතු අලි පැටවුන්ද හාන්සිය.

ඉදිරි වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3,138කි. රජයට හිමිවන ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 1,789කි. මේ දෙක අතර පරතරය රුපියල් බිලියන 1,349කි. ආණ්ඩුව අද මුහුණ දී ඇති අභියෝගය මෙම පරතරය පියවා ගැනීමය. ඉදිරියේදී බදු අනුපාතය ඉහළ දැමිය යුතුය. විශාල වශයෙන් ණය ගැනීමට සිදුවනු ඇත. පාඩු ලබන ලංගම, ජලසම්පාදන මණ්ඩලය, ප්‍රෙට්ටෝලියම්, දුම්රිය සේවා වැනි ආයතන නඩත්තු කර පවත්වාගෙන යා යුතුය. නැතිනම් ඒවා කලින් කලාක් මෙන් ප්‍රතිව්‍යූහගත කරනවා කියා පෞද්ගලීකරණය කිරීමය. එජාපය රාජ්‍ය බලය පවතින වකවානුවන්හිදී විකුණා දැමූ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 43කි. ඉන් 37 නැවත පවරාගෙන ජනසතු කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකි විය. පෞද්ගලීකරණය යනු වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ වැඩකි.

ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 126ක් රජයේ විවිධ අමාත්‍යාංශ වලට බෙදා දුන් බවද එමගින් කෝටි 10ක් ඉතිරිකරගත් බවද රජය ඉකුත්දා නිවේදනය කර තිබිණි. ඉකුත් ජනවාරි මස රජය ප්‍රකාශ කල පරිදි ජනාධිපති කාර්යාලයේ තිබූ වාහන සංඛ්‍යාව 752කි. ඉන් භාර නොදී තිබුණේ 57කි. ඒ අනුව තවමත් වාහන 569ක් ජනාධිපති කාර්යාලය සතුය. මහින්ද රාජපක්ෂ කාලයේ මෙන් නොව වත්මන් ජනාධිපති යටතේ බොහෝ විෂයන් අඩුකර ඇතත් එයට සාපේක්ෂව ඇති වාහන ප්‍රමාණය අඩුකර නොමැති බව පෙනේ. උගුරට හොරා බෙහෙත් බීම කියන්නේ මේවාටය.

කොළඹ බොහෝ සිවිල් සංවිධානද පෙනි සිටින්නේ බල දේශපාලනයේ හොදම මුරකරුවා ලෙසිනි. සිවිල් සංවිධාන ඇතැම් නායකයින් බස් සංගම්වල, හෙද සංගම්වල නියෝජිතයන්ය. සාධාරණ සමාජයක් වෙනුවෙන් රොටි පුච්චන්නට ගොස් අවසානයේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ නැවතුනේ සිංගප්පූරු රෝහලකය. රෝහණ විජේවීර, ජයවර්ධන ආණ්ඩුව මගින් නිදහස් කර බලාපොරොත්තු වූ දේ සිදුකරගන්නට වසර 37ක් ගතවිය. දැන් නැගෙන්නේ ඒ විසල් ඝන්ටාර නාදයයි.

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දැන් රිමාන්ඩ් බන්ධනාගාරයේය. ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම අත්හැර ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය. ආගමන විගමන පනතට අනුව ඒ සඳහා නීති ප්‍රතිපාදන විසදීමේ බලය ඇත්තේ විධායකටය. ලෝකයට මානව හිමිකම් ගැන කථා කරන ආණ්ඩුව කුමාර් ගුණරත්නම් ප්‍රශ්ණයේදී අනුගමනය කරන්නේ ලෝකට පරකාසේ ගෙදරට මරගා‍තේ වැනි දෙ‍බිඩි පිළිවෙතකි. මුදලට උපාධි විකිණීමට එරෙහිව උසස් තාක්ෂණ පාඨමාලාවන්හි වටිනාකම බලාත්මක කිරීම, ජල ගැටළුව, පරිසර අනාථයින් නගන උද්ඝෝෂණයන්ට දේශපාලන නායකත්වය දෙනු ලබන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වේ. කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනිම සිදුවන්නේ දේශපාලන හැසිරීමේදී ආණ්ඩුවට එය බාධාවක්වූ නිසා බවට චෝදනාවකි.

බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රියද ‘යහපාලනය’ තව ඔපවත් කරනු පෙනේ. ඒ කඩුවෙල නගර සභාවේ බලය නිෂේධවූ පසු එහි අධීක්ෂණ මන්ත්‍රි ලෙසින් මංජුල බුද්ධදාස පත්කිරීමෙනි. තාත්තාගේ හිලව්වට පුතා පත්කිරීම කෙසේ වෙතත් මෙය කුමන නීතියට යටත්දැයි පැහැදිලි කල යුතුය. සදාචාරයටද නොගැලපෙන්නකි. ‍ගොන් කොටි කෝලම කියන්නේ මේවාටය. විදුලි සංදේශ නියාමක ‍කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් එම්.සී. සුහයිල්ට තනතුර අතහැර යන්නට සිදුවූයේ නිසි අනුමැතියකින් තොරව මහජන මුදල් රුපියල් දශ ලක්ෂ 80ක් වැය කර රූපවාහිනි චිත්‍රපටියක් කිරීමෙනි. ‘යහපාලනය’ විනිවිද භාවයකින් යුතු නිසා ඔහු ඉවත්කල බව කියවිණි. සති කිහිපයකට පසු විදුලි සංදේශ ‍කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා ජාතික ඒකාබද්ධ සහ ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයා වශයෙන් පත්විම කපන්න බැරි අත ඉඹිනවා වාගේ වැඩක්ය.

‘යහපාලන’ ආණ්ඩුවට දැන් මාස 10කි. රටපුරා අසාධාරණයන්ට එරෙහිව උද්‍ඝෝෂණයන්ය. එදා කියූ පරිදි රටකට ඕනේ අපමණ අගයකි. එහෙත් දැන් උදාවෙමින් පවතින්නේ ගුටිකන යුගයකි. එක් සතියක භූගත බංකර් සොයා ගනී. වරෙක දිනකට මත්පැන් වලින් 50ක් සහ දුම්පානයෙන් 70ක් බැගින් වසරකට මිනිස් මරණ 63,050ක් සිදුවන බව කියන අතර එය වාර්ෂිකව බදු ලෙස රජයට ලැබෙන රුපියල් බිලියන 80ට හිලව් කරනු ලබයි. නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේවාටය. වෙනස සැපද? නැත. පිළිතුරට ගැලපෙන්නේ ඩොක්ට ෂිවාගෝ පහත උපුටනය වේ. පණිවිඩකරු කියනුයේ” සීයේ අපි නිකලස් සාර් රජුව බලයෙන් පහ කළා” යනුවෙනි. සීයා අසන්නේ ” කවුද පුතේ අලුත් සාර්?” කියාය.

ධර්මන් වික‍්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

Top