Breaking
14 Mar 2026, Sat

විගණකාධිපතිට කොලේ වසා යුද හමුදාපති ගිණුම සහ සේවාවනිතා ගිණුම අවභාවිතා කළ හමුදාපති සහ බිරිඳ …! කර්නල් මීගමාරච්චිගෙන් ජනාධිපතිට පැමිණිල්ලක්…!

බිලියන ගණනින් මුදල් සංසරණය වෙමින් යුද්ධ හමුදාපතිවරයා යටතේ ඉඳුරාම ක්‍රියාත්මක වන “යුද්ධ හමුදාපති ගිණුම” සහ ඔහුගේ භාර්යාවගේ යටතේ පවතින “සේවා වනිතා ගිණුම” රජයේ විගණකාධිපතිවරයා යටතේ විගණනයකට ලක් නොවීම තුළින් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න අනාවරණය කර අක්‍රමිකතාවයක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙසට අතිගරු ජනාධිපතිවරයාට, ජනාධිපති ලේකම්තුමාට, විගණකාධිපති තුමියට, ආරක්ෂක ලේකම්තුමාට, අධ්‍යක්ෂක ජෙනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට, පොලිස්පතිතුමාට, සහ අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර්නල් රවින්ද්‍ර මීගමාරච්චි ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර ඇත. පැමිණිල්ලේ පිටපතක්ද යුද්ධ හමුදාපතිගේ දැනගැනීමට යොමු කර ඇත.

[ පැමිණිල්ල උපුටා ගැනීම]

රවින්ද්‍ර මීගමආරච්චි,
14 B , පෙරේරා මාවත,
පානදුර.
2026.03.12

අතිගරු ජනාධිපතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
විධායක ජනාධිපති ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.

අතිගරු ජනාධිපති තුමනි.
(ඔබතුමාගේ පෞද්ගලික අවධානය සඳහා)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “යුද්ධ හමුදාපති ගිණුම” සහ “සේවාවනිතා ගිණුම” විගණකාධිපතිවරයා යටතේ විගණනයකට ලක් කිරීම සහ විගණනය නොවීම තුළින් අක්‍රමිකතාවයක් සිදුව ඇත්දැයි සොයා බැලීමට විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටීම.

අතිගරු ජනාධිපතිතුමනි,

පෙර පාලන තන්ත්‍රයන් යටතේ සිදුවූ අතපසුවීම්, මග හැරීම් දූෂණ සහ අක්‍රමිකතා නිවැරදි කරමින් පුනරුද යුගයකට ඉදිරි දැක්මක් සමග යන ගමනේ වැදගත් වනුයේ අතීත වැරදි නිවැරදි කරමින් වර්තමානයේ එම වැරදි යළි නොවීමට වග බලා ගැනීම වුවද අතීත පූර්විකාව දඩ මීමා කරගනිමින් තවදුරටත් විය යුතු දේ සිදුනොවේ නම් ඒ සබැඳිව ඔබතුමා දැනුවත් කිරීම පුරවැසි වගකීමක් කොට සලකමි. රජයේ විගණකාධිපතිවරයා යටතේ විගණනයට ලක්විය යුතු ගිණුම් අතීතයේ විගණනයට ලක් නොවීමේ වැරදි පුර්වාදර්ශය වර්තමානයටද එකලෙස බලපැවැත්වෙනු ඇතැයි සිතා කටයුතු කිරීම ඔබතුමාගේ විධායකය සහ සේනාධි නායකත්වය යටතේ තවදුරටත් නිදහසට කරුණක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.

ත්‍රිවිධ හමුදාවටම සේනාධිනායක ලෙස ඔබ තුමා යටතේ පවතින යුද්ධ හමුදාවෙහි බිලියන ගණනින් මුදල් සංසරණය වෙමින් යුද්ධ හමුදාපතිවරයාගේ ඒකාධිකාරිය යටතේ ඉඳුරාම ක්‍රියාත්මක වන “යුද්ධ හමුදාපති ගිණුම” සහ ඔහුගේ භාර්යාවගේ ඒකාධිකාරිය යටතේ පවතින “සේවා වනිතා ගිණුම” රජයේ විගණකාධිපතිවරයා යටතේ විගණනයකට ලක් නොවීම තුළින් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න පරීක්ෂණයන් තුළින් අනාවරණය කර ගැනීම මෙම පැමිණිල්ලෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.

ඔබ දුර කාලය තුළ වර්තමාන යුද්ධ හමුදාපතිවරයා පත් වීමෙන් අනතුරුව 2024.12.31 සිට මේ දක්වා විගණකාධිපතිවරයා යටතේ උක්ත ගිණුම් විගණනයට ලක් නොවීම සහ රජයේ විගණකාධිපතිවරයා හට ප්‍රශ්නගත ගිණුම් වලට ප්‍රවේශය අහුරුවා ලීම යන බරපතල ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම කාලෝචිත මෙන්ම ඥානාන්විතයයි සිතමි. වරද නිවැරදි කර කඩිනමි විගණනකට ලක් කිරීම නෛතික මෙන්ම සදාචාරාත්මක බව වැඩිදුරටත් පෙන්වා දීමට කැමැත්තෙමි.

උක්ත ගිණුම් සඳහා මූල්‍ය මූලාශ්‍රයන් ඉඳුරාම ජනතා බදු මුදලින් වැටුප් ලබන යුද්ධ හමුදා සාමාජිකයන් දහස් ගණනින් වෘත්තියෙන් පරිබාහිර මුදල් ඉපයීමේ ව්‍යාපෘතීන් [ජන අවන්හල්, වෙළඳසැල්, රූපලාවණ්‍යාගාර, වගාබිම්, යෝගට් නිෂ්පාදනාගාර, මුද්‍රණාල, මහා පරිමාණ බේකරි, මැහුම්හල් ,පැළතවන් , නිවාඩු නිකේතනයන් සහ තවත් විවිධ ව්‍යාපෘතීන්] සඳහා යෙදවීම තුළින් ඔහුනගේ දාඩිය මහන්සියෙන්, ශ්‍රම දායකත්වයෙන් මෙන්ම වැටුපෙන් අඩුවන සත අඩුකිරීම් [CENTS DEDUCT¸ONS] ආදි රාජ්‍ය මුදල් වලින් සහ වෙනත් මුලාශ්‍ර බැර මත පෝෂණය වීම සේම රජයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ගෙන් ගිණුම් කරන නඩත්තුවීම තුළින් අනිවාර්යයෙන්ම විගණනයන් සිදුකළ යුත්තේ රජයේ විගණකාධිපතිවරයා යටතේය. මෙහි තවත් එක් පැතිකඩක් වනුයේ යුද හමුදා සාමාජිකයින් යොදවා සිදු කරනු ලබන උක්ත ව්‍යාපෘතින් සඳහා ජලය, විදුලිය, ඉන්ධනය සහ ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් සඳහා රාජ්‍ය මුදල් භාවිතා කිරීමය.

ජනතා බදු මුදලින් වැටුප් ලබන යුද හමුදා සාමාජිකයින් යෙදවීමෙන් සහ අනේක විධ මාර්ගයන්ගෙන් ගිණුම් වලට බැරවූ මුදල් ප්‍රමාණයන් පිළිබඳව මහා භාණ්ඩාගාරය හෝ වගකිවයුත්තන් දැනුවත් නොකිරීම සහ ඉන් ප්‍රතිශතයක් හෝ මහා භාණ්ඩාගාරයට නොගෙවීම තුළින් මෙම ඒකාධිකාරී තත්ත්වය ව්‍යාකූලත්වයට පත්ව ඇත.

රාජ්‍යයක ගිණුම්කරණ, විගණන සහ මූල්‍ය ප්‍රතිපත්තීන් වලට අනුගතව, අනුරූපීව සහ යටත්ව එකී රාජ්‍ය තුළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සන්නද්ධ සේවාවන්හි මූල්‍ය සහ විගණන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක විය යුතු පසුබිමක යුද හමුදාවට පමණක් ආවේණික ගිණුම්කරණ සහ විගණන ප්‍රතිපත්තීන් යුද්ධ හමුදාපති වරයාගේ එකාධිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වීම අනීතික මෙන්ම අස්වාභාවිකය.

විගණකාධිපතිවරයාට උක්ත ප්‍රශ්නගත ගිණුම් විගණනය කිරීමට ප්‍රවිෂ්ටයක් ලබා නොදෙමින් යුද්ධ හමුදාපතිවරයා විසින් තම එකාධිකාරි අධිකාරි බලය අවභාවිතා කරමින් වෘත්තිය ඝනකාධිකාරීවරයකු නොවන ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු සභාපතිත්වය දරන මණ්ඩලයක් මගින් නාමිකව විගණනයකට මෙම ගිණුම් ලක් කිරීම ප්‍රශ්න සහගතය. තවද මෙම අනීතික ක්‍රියාදාමය තුළින් “බැඳියාවන් අතර ගැටුම [CONFL¸CT OF ¸NTEREST] තත්ත්වයක් නිර්මාණය වීම රාජ්‍ය මූල්‍ය රෙගුලාසි සහ ගිණුම්කරණ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් ලෙස සලකමි.

රාජ්‍ය ගිණුම් නොවන [NON-PUBL¸C FUNDS (NPF)] යුද්ධ හමුදාපති ගිණුම සහ සේවාවනිතා ගිණුම යුද හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා පවත්වාගෙන යෑම පිළිබඳව ගැටළුවක් නොමැති වූවද ඒකාධිකාරීත්වයන් යටතේ ක්‍රියාත්මක උක්ත ගිණුම් වර්තමාන යුද්ධ හමුදාපතිගේ දුර කාලය තුළ විගණකාධිපතිවරයාගේ විගණනයකට ලක් නොවූ පසුබිමක යුද්ධ හමුදාපති ගිණුම සහ සේවා වනිතා ගිණුම් විගණකාධිපතිවරයා යටතේ වහා විගණනයට ලක් කිරීමට සමගාමීව විගනනයකට ලක් නොවීමේ උක්ත ප්‍රශ්නගත තත්වයන් යටතේ අක්‍රමිකතාවයක් සිදුව ඇද්ද යන බව වැඩිදුරටත් සොයා බැලීම සඳහා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටත යටතේ අල්ලස්සොත් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ මූල්‍ය අපරාධ කොට්ඨාශය යටතේ පරීක්ෂණයන් සිදු කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

විගණනයෙන් සහ එකී පරීක්ෂණයන්ගෙන් ගැටලු සහගත තත්ත්වයක් මතු වුවහොත් 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිලිබද පනත [PROCEEDS OF CR¸ME ACT] ප්‍රකාරව අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය, පොලිස් දෙපාර්තමේන්තුව, සහ නීතිපති දෙපාර්තමේන්තු නෛතික ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීම සහ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශයන් යටතේ අපරාධකරුවන් වැඩිදුර පරීක්ෂණයට ලක් කරමින් ආපසු අය කර ගැනීමට නෛතික කටයුතු සිදුකර දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අතිගරු ජනාධිපති තුමනි,
ඉහත කරුණු සියල්ල සලකා බලා ත්‍රිවිධ හමුදාවට සහ පොදු මහජනතාවට ආදර්ශමත් වෙමින් රජයේ විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යක්ෂ ජෙනරාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ පොලිස්පතිතුමා හට විගණනයන් සහ පරීක්ෂණයන් කිසිදු බලපෑමකින් තොරව සිදු කරගෙන යන ලෙසට උපදෙස් ලබා දෙමින් ත්‍රිවිධ හාමුදාවටම සේනාධි නායක ලෙස එම පරික්ෂණයන් ඔබ තුමාගේ අධික්ෂණය යටතේ සිදුකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

රවින්ද්‍ර මීගමආරච්චි

ගරු ජනාධිපති ලේකම් තුමා – ඔබතුමාගේ කාරුණික අවධානයට

විගණකාධිපති – ඔබතුමියගේ කාරුණික අවධානයට සහ ඉදිරි කටයුතු සඳහා

ගරු ආරක්ෂක ලේකම් තුමා – ඔබතුමාගේ කාරුණික අවධානයට සහ ඉදිරි කටයුතු සඳහා

යුද්ධ හමුදාපති – දැනගැනීමට

පොලිස්පති තුමා – ඔබතුමාගේ කාරුණික අවධානයට සහ ඉදිරි කටයුතු සඳහා

අධ්‍යෂ ජනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
– ඔබතුමාගේ කාරුණික අවධානයට සහ ඉදිරි කටයුතු සඳහා

අධ්‍යක්ෂ තුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
– ඔබතුමාගේ කාරුණික අවධානයට සහ ඉදිරි කටයුතු සඳහා.

[උපුටා ගැනීම අවසන්]

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *