ත්‍රිවිධ හමුදාවටම වැරදි පූර්වාදර්ශයක්.

නිරෝගිමත් හමුදාවක් ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සූදානම් කර තැබීම සඳහා පොදු මහජනතාවගේ බදු මුදල් වැයකර රජය විසින් සෙබළ සෙබළියන් හට හිමි ගන්වා තිබූ ආහාර ද්‍රව්‍ය රැසක් ඔහුනට නොදී සාදයක් සඳහා එක්රැස්කර තබා ගනු ලැබූ 1 ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චි දින 14 කාලයක් යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ පසුවී පසුගිය පළවෙනි දින නිදහස ලැබුවේ විමර්ශනය අවසානයේ ඔහු වැරදිකරුවූ පසුබිමෙක හමුදා නීතියට අනුකූලව චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුවය.

සෙබලුන් හට හිමි ගන්වනු ලබන ආහාරවලින් කුකුල් මස් කිලෝ එකක් සොරකම් කළ නිලධාරීන් තනතුරුවලින් පහ කර ගෙදර යවපු අතීතයකට හිමිකම් කියන යුද හමුදාවට වැරදි පූර්වාදර්ශයක් දෙමින් කුකුල් මස් කිලෝ 35 ක් මාළු කිලෝ 25ක් බාස්මතී සහල් මිටි දෙකක් සම්බා සහල් මිටියක් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් සොරකම් කළ මෙන්න ඊට සෘජුව අනුබල දුන් මෙම දූෂිත අණදෙන නිලධාරිවරයා යුධ හමුදාපතිගේ අත්තනෝමතික නියෝගයෙන් ඉකුත් 16 වන දින නැවතත් අණදෙන නිලධාරි තනතුරට පත් කිරීම සෙබළ සෙබළියන්ගේ දැඩි කනස්සල්ලට පාත්‍රවී තිබේ.

යුද හමුදාපති පෞද්ගලික කාර්ය මන්ඩලයේ මීට පෙර සේවය කළ මෙම නිලධාරීවරයා යුද හමුදාපති සමග ඇති කිට්ටු සම්බන්ධතාවය මත චෝදනා ලබා සිටියදීත් නැවතත් අණදෙන නිළධාරී ලෙස පත් කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

මෙවන් දූෂිත නිලධාරීවරුන් හට කිසිම හිරිකිතයකින් තොරව තව තවත් දූෂණවල යෙදීමට ඉඩහසර සලස්වා තනතුරු තානාන්තර ලබාදෙන වත්මන් යුධ හමුදාපතිගේ අංක තහඩුව පිළිබඳව අපට ඇත්තේ පැහැදිලි සැකයකි. විමර්ශනාත්මක මාධ්‍ය කරණයේයෙදී හමුදාපති පිළිබඳවද සොයා බලා පාඨකයන් දැනුවත් කිරීමට කාලය එළඹී ඇත.

Top