දූෂණය යනු අලුත් යමක් නොවේ. හිඟ සම්පත් කෙරෙහි මිනිසුන්ට බලපෑමක් ඇති සෑම තැනකම එය දක්නට ලැබේ. කිසිදු රටක්, මතවාදයක් හෝ දේශපාලන ක්‍රමයක් මෙයින් නිදහස් නැත. එය “හොඳ නායකයෙකුට” ඉතා පහසුවෙන් අතුගා දැමිය හැකි දුර්ලභ ගනයේ වැරැද්දක් නොවේ. එය දිනපතා කළමනාකරණය කළ යුතු නිරන්තරවම පවතින අවදානමකි.
මෑත දශක කිහිපය තුළ වෙනස් වූයේ ඒ සඳහා ඇති අවස්ථාවන්ය. පුද්ගලීකරණය, බැහැරින් සේවා ලබා ගැනීම (outsourcing), ලිහිල් කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලි, බදු තරඟකාරිත්වය සහ පුද්ගලික දේශපාලන අරමුදල් සැපයීම මගින් රාජ්‍ය බලය සහ පුද්ගලික මුදල් එකිනෙක හමුවන තැන් තවත් වැඩි කළේය. ඒ සමඟම, මෙම ගනුදෙනු අධීක්ෂණය කිරීමට තිබූ ආයතන දුර්වල කරනු ලැබීය. පසුව බලයට පත් වූ ආණ්ඩු මෙම පද්ධති මෙන්ම පුරුදු ද උරුම කර ගත්තේය. පුද්ගලයන් මාරු වුවද, පෙළඹවීම් එලෙසම පැවතුණි.
කිසිදු පද්ධතියක් මෙයින් නිදහස් නැත
ලෝකය පුරා මෑත සිදුවීම් පෙන්වා දෙන්නේ දූෂණය කිසිදු නිශ්චිත මතවාදයකට පමණක් සීමා නොවන බවයි.
කියුබාවේ එක් කලෙක ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල්ට ඉතා සමීපව සිටි අයෙක් වූ, හිටපු ආර්ථික කටයුතු පිළිබද ඇමති ඇලෙහන්ඩ්‍රෝ ගිල් ෆර්නැන්ඩස් (Alejandro Gil Fernández) රහසිගත නඩු විභාගයකින් පසුව 2025 දෙසැම්බර් මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරන ලදී. අල්ලස් ගැනීම, ව්‍යාජ ලේඛන සැකසීම, බලපෑම් අනිසි ලෙස භාවිතා කිරීම සහ බදු පැහැර හැරීම යන වැරදි වෙනුවෙන් දෙවන නඩුවකින් තවත් වසර විස්සක සිරදඬුවමක් ඊට එක් කෙරුණි. මෑත දශක කිහිපය තුළ කියුබාවෙන් වාර්තා වූ බරපතලම දූෂණ සිද්ධිය වූයේ එය යි.
චීනයේ, මහජන විමුක්ති හමුදාව (People’s Liberation Army) තුළ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී ව්‍යාපාරය ඉහළම මට්ටම් දක්වාම ලඟා විය. 2025 ඔක්තෝබර් මාසයේදී, දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු සහ මෙතෙක් ධුරයෙන් ඉවත් කරන ලද ඉහළම නිලධාරියා වූ, මධ්‍යම මිලිටරි කොමිසමේ උප සභාපති හේ වෙයිඩොං (He Weidong) සහ අද්මිරාල් මියාඕ හුවා (Miao Hua) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නව දෙනෙකු තනතුරුවලින් නෙරපා හරින ලදී. මෙම වැරදිවලට අතිවිශාල මුදල් සම්භාරයක් සම්බන්ධ වී තිබෙන බව නිලධාරීහු ප්‍රකාශ කළහ.
ප්‍රජාතන්ත්‍රවාදී රටවල තත්ත්වය මීට වඩා යහපත් වී නැත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සතුව දූෂණ, වංචා සහ ඇණහිට තිබෙන නඩු පැවරීම් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනයේ දූෂණ සංජානන දර්ශකයට අනුව, 2025 වසරේදී රටවල් 182ක් අතුරින් 107 වැනි ස්ථානය හිමිකර ගත් ශ්‍රී ලංකාව ලබාසිටි ලකුණු සංඛ්‍යාව 100 කින් 35කි. මෙය 2024 වසරේ ලබාගත් ලකුණු 32 සහ 121 වැනි ස්ථානයට වඩා ඉදිරියට යෑමක් වුවද, ලකුණු 50ට වඩා අඩු මට්ටමක පැවතීමෙන් තවමත් පෙන්නුම් කරන්නේ එරට රාජ්‍ය අංශයේ පවතින දූෂණය පොදුවේ පිළිගන්නා බවයි.
වමට බර ආණ්ඩු ද බරපතළ චෝදනාවලට මුහුණ දී ඇත. කේරළයේ කරුවන්නූර් සේවා සමුපකාර බැංකුව හරහා සිදු වූ බව කියන කෝටි සිය ගණනක වංචනික ණය ලබාදීමේ සිද්ධිය හා සම්බන්ධ බලාත්මක කරන අධ්‍යක්ෂ මණ්ඩලයේ (Enforcement Directorate) නඩුව මගින්, මාක්ස්වාදී කොමියුනිස්ට් – CPI(M) පක්ෂයම විත්තිකරුවෙකු ලෙස නම් කර ඇත. මේ සඳහා නඩු විභාගයක් පවත්වන ලෙස විශේෂ උසාවියක් නියෝග කර තිබේ. පක්ෂය වරදක් සිදු වූ බව ප්‍රතික්ෂේප කළද, ඉන් සිදු වූ දේශපාලන හානිය දැනටමත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
චිලී රාජ්‍යයේ 2023 දී ආරම්භ වූ ‘කැසෝ කොන්වෙනියෝස්’ (Caso Convenios) දූෂණ වංචාවට ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්ගේ සන්ධානය හා සම්බන්ධ පදනමක් වෙත රාජ්‍ය අරමුදල් ලබා දීම ඇතුළත් වූ අතර, එය විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත ව ගොස් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ පක්ෂ නායකයන්ට සිය ධුර අහිමි කරන්නට ද හේතුකාරක විය. පිරිසිදු දේශපාලනයක් පිළිබඳ පොරොන්දු මත බලයට පත් වූ ආණ්ඩුවකට, අවසානයේදී සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙනුවෙන් පෙනී සිටීමට යි.
ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ පොරොන්දුව මත වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව බලයට පත් වූ ශ්‍රී ලංකාව සදහා මෙම ගෝලීය චිත්‍රය ඉතා වැදගත් වේ. ඔවුන්ගේ මෙතෙක් පැවැති වාර්තාව මිශ්‍ර ස්වභාවයක් උසුළයි. මහජන අරමුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත 2025 අගෝස්තු මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළුව දැඩි අවධානයට ලක්වූ ක්‍රියාමාර්ග කිහිපයක් දක්නට ලැබුණි. එහෙත් ආණ්ඩුවේ ම සාමාජිකයන් වෙත ද චෝදනා එල්ල වී තිබේ: පැරණි ටෙන්ඩරයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව පියවර ගෙන ඇත; කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුට සහ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව ලැබී ඇති පැමිණිලි පිළිබඳව 2025 අග භාගයේදී මාධ්‍ය වාර්තා පළ වී තිබුණි; එමෙන්ම කැබ් (Double-cab) වාහන විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලිය සිදු වූ ආකාරය සම්බන්ධයෙන්ද දිගින් දිගටම දැඩි විවේචන එල්ල විය.
මේ කිසිවකින් වරදකාරීත්වය ඔප්පු නොවේ. චෝදනා යනු තීන්දු කිරීම් නොවන අතර, සෑම කෙනෙකුටම නිර්දෝෂීභාවය පිළිබද පූර්ව නිගමනය සඳහා අයිතියක් තිබේ. නමුත් ප්‍රශ්නය වන්නේ ද එයමයි. ශ්‍රී ලංකාවේ මා ගත කරන කෙටි සංචාරය අතරතුර, සෑම පක්ෂයකම දේශපාලනඥයන් පිළිබඳ චෝදනා මට අසන්නට ලැබුණි — එහිදී කැපී පෙනුනේ එම චෝදනා ඇගයීම සඳහා පැහැදිලි, විශ්වසනීය ක්‍රියාවලියක් නොමැතිකමයි. චෝදනා නඩු පැවරීම් දක්වා ඉදිරියට නොයන විට හෝ ඒවා අසත්‍ය බව ඔප්පු කරනු නොලැබූ විට, ඒවා හුදෙක් ගොඩ ගැසෙමින් පවතී. සත්‍යය කුමක් වුවත්, ජනතා විශ්වාසය ගිලිහී යයි.
සටන් පාඨ නොව, ක්‍රම වේද
දැනටමත් ශ්‍රී ලංකාව සතුව නීතිරාමු පවතී. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) බලතල පුළුල් කළ අතර, වත්කම් ප්‍රකාශ කිරීම් දීර්ඝ කළේය; පෞද්ගලික අංශයේ දූෂණය ද ආවරණය කළේය; සිවිල් සමාජයේ දායකත්වයට ද ඉඩ ලබා දුන්නේය. ඉන්පසුව 2025 අප්‍රේල් මාසයේදී අපරාධවලින් උපයාගත් පලදාව පිළිබඳ පනත (Proceeds of Crime Act) සම්මත විය.
මඟ හැරී ඇත්තේ මෙම නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයයි:
• ප්‍රමාණවත් සම්පත් සහිත ස්වාධීන කොමිෂන් සභාවක්
• සත්‍යාපනය කර ප්‍රසිද්ධ කරනු ලබන වත්කම් ප්‍රකාශන
• විනිවිදභාවයෙන් යුත් ටෙන්ඩර් ඇගයීම් සහිත විවෘත කොන්ත්‍රාත් ලබා දීම්
• දේශපාලන අරමුදල් සැපයීම් හෙළිදරව් කිරීම
• තොරතුරු හෙළිදරව් කරන්නන් (Whistleblowers) ආරක්ෂා කිරීම
• ප්‍රතිවිපාක (දඬුවම්) කරා මෙහෙයවන විගණන සොයාගැනීම්
• විමර්ෂණ වලලා දැමීම නවතා ලන කාල සීමා
ක්‍රියාත්මක කිරීම ද දැඩි සේ ප්‍රවේශම් සහගතව කළ යුතුය. දූෂණ විරෝධී ප්‍රයත්න ඉලක්ක කළ යුත්තේ සමස්ත ආයතන නොවේ; නිශ්චිත වැරදි ක්‍රියාවන්ය. සෑම නිලධාරියෙකු දෙසම සැකකරුවෙකු ලෙස බැලීම බිය ජනිත කරවන අතර, තීරණ ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කොට රාජ්‍ය සේවාවන් අඩපණ කර දැමිය හැකිය. ජාත්‍යන්තර අත්දැකීම්වලින් පෙනී යන්නේ, පාලනය සඳහා අවශ්‍ය කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ධාරිතාවටම හානි පමුණුවමින්, මෙවැනි මහා පරිමාණ සුද්ධ කිරීම් හේතුවෙන්, බොහෝ විට නිලධාරීන් කිසිදු ලේඛනයකට අත්සන් කිරීමට පවා බිය වන බවයි. අවධානය යොමු කළ යුත්තේ දූෂිත ගනුදෙනු සහ ඒ සඳහා ඉඩ සලසන ක්‍රම පද්ධති වෙත මිස, සෑම කෙනෙකුම වැරදිකරුවන් යැයි උපකල්පනය කිරීම කෙරෙහි නොවේ.
වඩාත්ම කනස්සල්ලට හේතුවන කාරණය වන්නේ, මෑතකදී ඉදිරිපත් කරන ලද සමහර ව්‍යවස්ථාදායක යෝජනා මීට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමයි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අනතුරු අඟවන පරිදි, 2026 ජූලි 24 දින ගැසට් පත්‍රයේ පළ කරන ලද දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, වත්කම් ප්‍රකාශන මහජන පරීක්ෂාව සඳහා භාවිත කිරීම පවා අපරාධයක් බවට පත් කරමින්, පොදුවේ ලබා ගත හැකි වත්කම් ප්‍රකාශන පුරවැසියන්ට භාවිත කළ හැකි ආකාරය සීමා කරනු ඇත. එමෙන්ම, තොරතුරු විශාල වශයෙන් වසන් කිරීමට ඉඩ සලසමින්, මෙය වත්කම් සැඟවීමට ඇති පැහැදිලි මාවතක් වන එකට ජීවත්වන පුද්ගලයන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය ද ඉවත් කර ලයි.
මේ අතර, තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනතට යෝජනා කර ඇති සංශෝධන මඟින් RTI රාමුව සහ RTI කොමිෂන් සභාවේ ස්වාධීනත්වය දුර්වල කළ හැකි බවට මාධ්‍ය සහ සිවිල් සංවිධාන අනතුරු අඟවා ඇත. මෙම වෙනස්කම් සම්මත වුවහොත්, එය ආණ්ඩුවේම දූෂණ විරෝධී වැඩපිළිවෙළ අඩපණ කර දමනවා ඇත. රහස්‍යභාවය අවසන් කිරීම සඳහා තේරී පත් වූ ආණ්ඩුවකට එය නැවත හඳුන්වා දීම කිසිසේත් දරා ගත නොහැකිය.
එලෙසම ක්‍රියාවේ යොදන අන්දම ද ඉතා වැදගත් වේ. දොර වසා දැමූ කාමර තුළ කෙටුම්පත් කර, නිමි භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන නීති, දූෂණයට එරෙහිවම නොව, දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් සකස් කර ඇති බවට සැකයක් මතු කරයි. විපක්ෂ දේශපාලන පක්ෂ, වෘත්තීය ආයතන සහ සිවිල් සමාජය සමඟ එක්ව ගොඩනඟන ප්‍රතිසංස්කරණ මන්දගාමී වුවද, ආණ්ඩු වෙනස් වූවද ඒවා නොනැසී පවතී. එහි සැබෑ පැවැත්ම තීරණය වන්නේ එයිනි.
අපතේ හැරිය නොහැකි මොහොතක්
ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවේ නායකයෝ දැන් ක්‍රියාත්මක විය යුතුය — සංකේතාත්මකව නොව ව්‍යූහාත්මක ලෙස ක්‍රියාත්මක විය යුතුය. දූෂණ විරෝධය හුදෙක් ප්‍රචාරක සටන් පාඨයකට හෝ සදාචාරාත්මක උත්තරීතර භාවයේ ලාංඡනයකට පමණක් සීමා කළ නොහැකිය. මෙම මොහොත අපතේ හැරියහොත්, ඉතිහාසය ඉතා දැඩි විනිශ්චයකට එළැඹෙනු ඇතිවා පමණක් නොව, එම විනිශ්චය පාලනය කළවුන් මත පමණක් නොව, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූවන් මත ද පැටවෙනවා ඇත.
ලයනල් බෝපගේ
2026 අගෝස්තු 7
