Breaking
5 Feb 2025, Wed

මානුෂික මෙහෙයුම්වල දී සිදුවිණි යැයි කියන ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය දෙමළ ජාතිවාදීන්ට, ඔවුන් පිටුපස සිටින බටහිරයන්ට හා ඉන්දීයයන්ට, මෙරට පඬියන්ට (රාජ්‍ය නොවන මෙන් ම රාජ්‍ය ආයතනවල ද  සේවය කරන), කසිකබල් ඇතැම් මාක්ස්වාදීන්ට හා කතෝලික හා ඇතැම් ක්‍රිස්තියානි පල්ලිවලට ය. 

මෙයින් අදහස් කරන්නේ මෙරට සියළු කතෝලිකයන්ට හා ක්‍රිස්තියානින්ට එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය බවවත් කිසිදු බෞද්ධයකුට පරීක්‍ෂණයක් අනවශ්‍ය බවවත්  නො වේ.

ඒ ඒ අය බොහොමයක් තීරණ ගන්නේ තමන්ගේ යටත්විජිතවාදී ගැති හෝ යටත්විජිතවාදයට විරුද්ධ මනස අනුව ය. අපේ තීරණවල පසුබිමෙහි බොහෝ විට ඇත්තේ මේ මනසෙහි ස්වභාවය ය. ඒ අතර බලලෝභී අවස්ථාවාදී වෛරී ජාතික හෙළ උරුමය වැනි සංවිධාන බලයට ඒම පමණක් නිර්ණායකය කර ගනිමින් තීරණ ගනියි. 

මෛත්‍රිපාල සිරිසේන පදනම් ආයතනයේ රෝ ඔත්තු සේවයේ නියෝජිතයන්ගේ සෙවන ලබමින් ශ්‍රී ල නි ප සංවිධායකවරුන් අමතා කරන ලද අතට අත දීමේ පදනම් දේශනය පිළිබඳ දක්වන ප්‍රතිචාර ද තීරණය වන්නේ ඒ මනස අනුව ය. මේස් (අත්වැසුම්) ගැලෙවුවත් නැතත් ඉංගිරිසි රැජිනන්ගේ හා අගමැතිවරුන්ගේ අත්වල ඇත්තේ අපේ මුතුන් මිත්තන්ගේ ලේ ය. රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර අනුව ඇතැම් විට ඔවුන්ට අතට අත දීමට සිදුවෙයි. එහෙත් ඒ ගැන උදම් අනන්නෝත් ඒ උදම් ඇනීම අගයන්නෝත් යටත්විජිතවාදී ගැති මනසක් ඇති නිවටයෝ වෙති. 

මහින්ද රාජපක්‍ෂ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයකට එකඟ වූ බැවින් තමන්ට එසේ කිරීමට සිදුවිණිය වැනි අදහසක් දීමට ඕනෑම ගොනකුට යුද්ධ කිරීමට හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඉදිරිපත් වෙයි. මහින්ද රාජපක්‍ෂ එකඟ වූ බැවින් වරාය නගරය තැනවීමට කිරිඇල්ලගේ ප්‍රධානියා වූ රනිල් කටයුතු කරන්නේ ද? මෛත්‍රිපාලට පසුව එයට එකඟ වීමට සිදුවනු ඇත. එහෙත් අද ඔවුන් ක්‍රියාකරන්නේ මහින්ද ගත් තීරණයට විරුද්ධව ය. ඒ සෑම අවස්ථාවක දී ම බලපාන්නේ මහින්ද එකඟ වී ද නැද්ද යන්න නොව රනිල්ලා කිරිඇල්ලලා යටත්විජිතවාදී ගැත්තන් ද නැද්ද යන්න ය. 

මහින්ද රාජපක්‍ෂ එක් අවස්ථාවක ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ වන්නට ඇත. එහෙත් ජාතික බලවේගවල ඉල්ලීම හමුවේ ඔහු ඒ අදහස වෙනස් කරගත්තේ ය. එහෙත් එ ජා ප හෝ මෛත්‍රිපාල හෝ ජාතික බලවේගවලට කන් නො දෙයි. ඔවුන් කන් දෙන්නේ මෙහි මුල සඳහන් කෙරුණු විජාතික බලවේගවලට ය, ඔත්තු කරුවනට ය. රනිල් හා මහින්ද අතර ඇති වෙනස එයයි. රනිල් විජාතික බලවේගවල අවශ්‍යතා අනුව කටයුතු කරයි. මහින්ද ජාතික බලවේගවලට කන් දෙයි.

ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයට මුල පෑදුවේ සරත් ෆොන්සේකා ය. ඔහු කොටින්ට විරුද්ධව දක්‍ෂ ලෙස හමුදාව මෙයෙවී ය. ඔහුට එසේ කිරීමට ලැබුණේ මහින්දගේ දේශපාලන නායකත්වයත් ගෝඨාභයගේ මග පෙන්වීමත් හේතුවෙනි. එහෙත් සරත් ෆොනාසේකා සුදු කොඩි කතාවකින් තමා දොවාගත් කිරි කළයට ගොම දෝතක් ම මුසු කළේ ය. ඔහු ඇමරිකාවට සේවය කරන්නකු බවට පත්විය. ඔහුට ෆීල්ඩ් මාෂල් තනතුරක් ප්‍රදානය කළ යුතු නො වේ. ඔහුට එවැනි තනතුරක් දීමට අවශ්‍ය හමුදා ඛණ්ඩාංක ලංකා හමුදාවට ඇත් ද යන්න ද ප්‍රශ්නයකි. එහෙත් අද ඔහුට ෆීල්ඩ් මාෂල් තනතුර ප්‍රදානය කරන්නේ සුදු කොඩි කතාවට හා බටහිරයන්ගේ අවශ්‍යතාවට ය. 

ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා නොව අතුරුදහන් වූවන් සෙවීම සඳහා පරණගම කොමිසම මහින්ද රාජපක්‍ෂ විසින් පත්කෙරිණි. එයට උපදෙස් ගැනීම සඳහා ඩෙස්මන්ඩ් ද සිල්වා නම් නීතිඥයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල නීතිඥ මණ්ඩලයක් පත් කෙරිණි. එහි වාර්තාවක් දැන් නිකුත් වී ඇත. ඒ අනුව කොටි සංවිධානය දෙමළ ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගෙන ඇත. එහි දී යම් අයකු මිය ගියේ නම් එයට වගකිව යුත්තේ කොටින් මිස හමුදාව නො වේ. රායප්පු ජෝසෆ්ලා මිය ගිය අය ගැන කෑගසන නමුත් විධිමත් සාක්‍ෂි හා තොරතුරු ඉදිරිපත් නොකරන්නේ එබැවිනි. අභ්‍යන්තර පරීක්‍ෂණයක් කළ යුත්තේ කුමක් දැනගැනීමට ද? රායප්පු ජෝසෆ්ලාට  ඩෙස්මන්ඩ් ද සිල්වා නීතිඥ වාර්තාව අධ්‍යයනය කිරීමට කියමු.

නලින් ද සිල්වා

2015 මාර්තු 20

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.