Breaking
22 Feb 2025, Sat

මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රධාන කරුණක් වූයේ දින සියයේ වැඩ පිළිවෙළ ය. එ සඳහා දින වකවානු සහිත ව දින පොතක් ඉදිරිපත් කෙරිණි. අහවල් දින අහවල් කරුණ ඉටු කරන්නේ යැයි කියැවිණි. එහෙත් ඒ එසේ ඉටු නො විණි. වැඩ පිලිවෙළක් ඉදිරිපත් කර ඡන්දය ලබා ගැනීම එකකි. ඒ ඉටු කිරීම තවත් එකකි.

දින සියය වැඩ පිළිවෙළ ඉටු කිරීමට නොහැකි බව ඡන්දදායකයන් නොදැන සිටින්නට ඇත. ඒ කෙසේ වෙතත් එක් කරුණක් නම් ඉතා වේගයෙන් ඉටු කෙරිණි. ඒ අනෙකක් නොව රනිල් වික්‍රමසිංහ අගමැති කම ගැට කැපීම ය (පික් පොකට් ගැසීමය). ජනාධිපති දිවුරුම් දී විනාඩි කිහිපයකින් පික් පොකට් ගැසීම සිදු විය. 

 දින සියයේ වැඩ සටහනට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රියෙල් 23 වැනි දි ය. ඒ දින සියය පසු වී දින කිහිපයක් පසු වී ය. එයට හේතුව මෙම පාර්ලිමේන්තුවට අවුරුදු පහ පිරීම දින සියයට පසුව සිදු වීම නිසා ය. එවිට නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහතික විය. දැන් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබිය නොහැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දින සියයේ වැඩ පිළිවෙළට අනුව නොව කිසිම අයුරකින් අප්‍රියෙල් 23 හෝ එයට පෙර හෝ සිදු නොවන බැවින් ය.

රනිල් වික්‍රමසිංහ දිගින් දිගට ම කියා සිටියේ අප්‍රියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. එහෙත් ඔහු අමතක කළ කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට බලයක් නැති බව ය. ඒ බලය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේනට ය. මෛත්‍රිපාල ජනාධිපති වුවත් ඔහුට එ ජා පක්‍ෂයේ සිරකරුවකු වීමට සිදු විය.  එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති වීම නිසා ඔහුට යම් ශක්තියක් ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත හැකි විය. ඒ සඳහා ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට මන්ත්‍රීවරුන්ට යමක් ලබා දිය යුතු විය. එමෙන් ම මෛත්‍රිපාලට ද තම බලතල අගමැතිට ලබා දී නාමික ජනාධිපති කෙනකු වීමේ අවශ්‍යතාවක් නො වී ය. ඒ අතර ඒ සියල්ලට ම වඩා වැදගත් ප්‍රශ්නයක් ශ්‍රී ල නි ප නිවට නායකයන්ට විය. ඒ මහින්ද රාජපක්‍ෂ විධායක බලතල ඇතිව හෝ නැතිව හෝ අගමැති වීම වැළැක්වීම ය. එය බටහිර රටවල මෙන් ම ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි.

අප්‍රියෙල් 23 පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියහොත් පාරට බහින බව කබීර් හෂීම් කියයි. ඔහු පාරට නොබසින බව අමුතුවෙන් කිව යුතු නො වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය යැයි ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. මේ පිටුපස ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් කිහිප දෙනකුට ඇමතිකම ලබා දීම පමණක් නො වේ. මහින්ද අගමැති වීම වැළැක්වීම ද එහි වෙයි. 

දැන් ක්‍රියාත්මක වන සැලැස්මට බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ ද සහාය ලැබෙයි. ඇත්තට ම සැලැස්ම චීන විරෝධී ඉන්දියාවේ් ය. ඒ වෙනුවෙන් වැඩියෙන් ම පෙනී සිටින්නේ රාජිත හා චම්පික ය. රනිල්ට හෝ ජ වි පෙරමුණට හෝ ඒ සැලැස්මට විරුද්ධ විය නො හැකි ය. ජ වි පෙරමුණේ කාර්ය භාරය නිම වී ඇත. සැලැස්මට අනුව  ජාතික ආණ්ඩුවක් පිහිටුවා විධායක ජනාධිපති ධුරයේ බලතල රාශියක් අගමැතිට ලැබෙන සේ ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය කෙරෙනු ඇත. ඒ අතර මහින්දට විරුද්ධව කළ හැකි තව තවත් දේ කරනු ඇත. ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණ ආරම්භ කෙරෙනු ඇත. හැකි නම් මහින්දට දඬුවම් කෙරෙනු ඇත.   සියල්ල  අවසන් කරන විට අවුරුද්දක පමණ කාලයක් ගත වනු ඇත. 

අද රාජිත හා චම්පික කියා සිටින්නේ දින සියයට වඩා වැදගත් වන්නේ එහි කියා ඇති කරුණු ඉටු කිරීම බව ය. ඒ සඳහා දින තුන්සීයයක් වුවත් වැය කිරීමට ඔවුන් සූදානම් ය. මේ සියල්ල කෙරෙන්නේ එක ම එක අරමුණක් ඉටු කර ගැනීමට ය. ඒ මහින්ද දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් කිරීමට ය. 

නලින් ද සිල්වා
2015 මාර්තු 06

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.