Breaking
23 Feb 2025, Sun

ප්‍රේමදාසගේ ආණ්ඩුව ඉවර වුණේ කැසිනෝ රජා ජෝසිම්ගේ නමටය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඉවර වුණේ ප්‍රකට නළු සනත් ගුණතිලකගේ නමටය. මහින්දගේ ආණ්ඩුව ඉවර වුණේ කැසිනෝ රජා ජේම්ස් පැකර්ගේ නමටය. දැන් මෛත්‍රි – රනිල්ගේ ආණ්ඩුව ඉවර කර ගන්න යන්නේ අර්ජුන් මහේන්ද්‍රන් නමටය.

‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නමට ඉවර වෙන්නේ මෛත්‍රිගේ ආණ්ඩුව නෙවේ රනිල්ගේ ආණ්ඩුව…’

හෙළ උරුමය නම් කියන්නේ එහෙමය. උඩ බලාගෙන කෙළ ගහ ගන්නවා කියන්නේ ඕකටය.

මේ ආණ්ඩුව රනිල්ගේ පමණක් නොවේ මෛත්‍රිගේත්ය. මේ ආණ්ඩුව හෙළ උරුමයේත් ආණ්ඩුවකි. අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති කරන්න ආණ්ඩුව නියෝජනය කරන හැම පාර්ශ්වයේම මතය විමසිය යුතුව තිබුණත් රනිල් එසේ කළේ නැත. එය ඔහුගේ වරදකි. මෛත්‍රි ඔහුව මහ බැංකු අධිපති ධුරයට පත් කළේ රනිල්ගේ ඉල්ලීමට විය යුතුය. රනිල් ඔහුව මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඔහු සිංගප්පූරුවේ ප්‍රකට මූල්‍ය විශේෂඥයකු වූ නිසා විය හැකිය. ඔහු සිංගප්පූරුවේ චැනල් නිවුස් ඒෂියා නම් වූ ආසියාවේ ප්‍රකට රූපවාහිනි සේවයට ලොව මූල්‍ය ප්‍රවණතා විග්‍රහ කරන විශේෂඥයෙකි. එමෙන්ම මූල්‍ය ආයතනවලට උපදෙස් දෙන අයෙකි. ඔහුගේ පියා ජේ.ආර්.ගේ, ප්‍රේමදාසගේ, විජේතුංගගේ ආණ්ඩු කාලවල චීනයේ සහ තායිලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිය. 2002 රනිල්ගේ ආණ්ඩුවේ එ.ජා. සංවිධානයේ නිව්යෝර්ක් තානාපති විය. චාලි මහේන්ද්‍රන් රනිල්ගේ විදේශ ප්‍රතිපත්ති උපදේශකයෙකි. මේ නිසාම අර්ජුන් රනිල්ගේ සමීප මිත්‍රයෙකි. ලොව මූල්‍ය ප්‍රවණතා ගැන රනිල් උපදෙස් ගත්තේ ඔහුගෙන්ය. 2002 ආණ්ඩුවේදී රනිල් ඔහුව ආයෝජන මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කළේය. මෙවර ඔහුව මහ බැංකු අධිපති කළේ රාජපක්‍ෂලා හිස් කොට බංකොළොත් කළ මහ බැංකුව ගොඩදා ගන්න හිතාගෙන විය යුතුය. හැබැයි රාජපක්‍ෂලා නිවාඩ් අජිත් කබ්රාල්ව දමාගෙන මහ බැංකුව හිස් කළේ මහේන්ද්‍රන්ගෙත් බෑනා ඇලෝෂියස්ලා එක්ක යැයි ආණ්ඩුව ඇතුළෙන්ම චෝදනා නැගී ඇත. ඇලෝෂියස්ලා රාජපක්‍ෂලා එක්ක කබ්රාල්ගේ කරේ නැඟල ආණ්ඩුවේ බොන්ඩ්වලට ජේම්ස් බොන්ඩ්ස් පන්නයේ ගේම් ගහනකොට කටක් අරින්න කෙනෙක් හිටියේ නැත. මාමා මහ බැංකු අධිපති වුණාට පස්සේ බෑනා ගහපු මෙගා ඩීල් එක එළියට ආවේය.

‘රනිල් මහේන්ද්‍රන්ව පත් කළේ බෑනාගේ ජේම්ස් බොන්ඩ් චරිතය නොදැනද…?’ ප්‍රශ්නය තියෙන්නේ එතැනය. රනිල් නාගෙන ඉන්නේ එතැනය.

හැබැයි ඇවන්ට්ගාඩ් වගේම මේ බොන්ඩ් ප්‍රශ්නයත් ආණ්ඩුව බෙදා විනාශ කරලා මිනිස්සුන්ට උපන් ගෙයි ආණ්ඩුව තිත්ත කරන්න ගහන ගේමකි. ඇවන්ට්ගාර්ඩ්කාරයා ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙතුන් දෙනකු අල්ලාගෙන ඔවුන් ලවා චරිත සහතික නිකුත් කරවාගෙන තමන්ට පක්‍ෂ ඔවුන් සහ විපක්‍ෂ ඇමැතිවරුන්, ජ.වි.පෙ., හෙළ උරුමය කොටවයි. මහේන්ද්‍රන්ගේ බෑනා රනිල්වයි, ජ.වි.පෙ.යි, හෙළ උරුමයයි හප්පවා දැන් මෛත්‍රි සහ රනිල් හප්පන තැනට ජේම්ස් බොන්ඩ් චරිතය රඟපායි.

රාජිත පළමු කැබිනට් මණ්ඩලයේදීම මහේන්ද්‍රන්ගේ පත්වීමට විරුද්ධ විය. ඒ සම්බන්ධයෙන් රනිල් සහ රාජිත අතර වචන හුවමාරුවක්ද ඇති විය. චම්පික කියන්නේ මහේන්ද්‍රන්ගේ පත්වීම ගැන තමන්ට ප්‍රශ්න තිබුණ බවය. නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ඩී සිල්වා කියන්නේ මේ ගැන පරීක්‍ෂණයක් කළ යුතු බවය.

‘ආණ්ඩුව බඩ ගාන්නත් කලින් හොරකම් කරන්න පටන් අරගෙනද…?’
‘මේක මහ කැඳ හැළියක්…’

මිනිස්සු කියන්නේ එහෙමය. ඇත්තටම මේ හොරකම එළියට ආවේ විපක්‍ෂයෙන් නොව ආණ්ඩුව ඇතුළෙන්මය. හැබැයි මේ ගැන එළියේ කතා කරලා වීරයන් වෙන්න යන්නේ නැතිව ඇතුළෙන්ම හොරකම අල්ලලා දඬුවම් දුන්නා නම් යහපාලනයට ඡන්දය දුන් ලක්‍ෂ 62ට කරන ගෞරවයකි. මොකද මේ බොන්ඩ් කතාව නිසා පාරේ බැහැල යන්න බැරි වෙලා ඉන්නේ යහපාලනයට ඡන්දය දුන් ලක්‍ෂ 62ක ජනතාවටය.

එළියේ වීරයන් වෙන්න කෑ ගහන අය තේරුම් ගන්න ඕනෑ මේකය. උෟරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට මඟුල් කීවා සේ ආණ්ඩුව ඇතුළේ ජේම්ස් බොන්ඩ්ලා හොරා පොලිස් කරද්දී මහින්ද පළාත් පාලන මන්ත්‍රිවරුන් හමු වෙමින් මහ ඡන්දයට තරග කරන්න පාවඩ එළා ගනිමින් සිටී. රනිල් සහ යූ.ඇන්.පී.යත් මහින්දට ඔක්සිජන් ගහමින් ශ්‍රී .ල.නි.ප.ය දෙකඩ කර බහුතරය ගන්න හීන මවයි. චම්පිකලා රනිල්ගේ ආණ්ඩුව වට්ටවා ශ්‍රී .ල.නි.ප.යට ආණ්ඩුවක් හදා දී ශ්‍රී .ල.නි.ප. පාක්‍ෂිකයන් අතර වීරයන් වී ඡන්දෙ දිනන්න හීන මවයි. චම්පිකලා රාජිතලා මහ ඡන්දයෙන් යූ.ඇන්.පී. ආණ්ඩුවක් බලයට පත් වුණොත් තමන්ට ඇමැතිකම් නැති වේ යැයි බයය. ඒ බිය සාධාරණය. ඔවුන් ආණ්ඩුවෙන් එළියට ඇවිත් බිඳින්න බැහැ කිව්ව රාජපක්‍ෂලාගේ ලෙන් දොර බිඳලා කළේ මරාගෙන මැරෙන සටනකි. එලෙස සටන් කරලා මාස දෙක තුනක් ඇමැතිකම් කරලා යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හදලා දීලා ගෙදර යන්න ඔවුන් ලෑස්ති නැත. මෛත්‍රිගේ විධායක බලය අහෝසි කළොත් මෛත්‍රිටත් තමන්ව බලාකියා ගන්න බැරි වෙන බව ඔවුන් දනී. යූ.ඇන්.පී.යෙන් තරග කරන්න ඔවුන් කැමැති නැත. මෛත්‍රිගේ නායකත්වය යටතේ ශ්‍රී ල.නි.ප.යෙන් තරග කරන්න ඔවුන් හිත හදාගෙන තිබේ. ඒත් මහින්දව පරාජය කොට ශ්‍රී ල.නි.ප.ය විපක්‍ෂයට යැව්වේ තමන් කියා ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයන් තමන්ට ඡන්දය නොදෙයි යන බියක්ද ඔවුන් තුළ තිබේ. ඒ බිය නැති කරන්න ඔවුන් හදන්නේ මෛත්‍රිව ශක්තිමත් කරලා ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හදන්නටය.

චම්පිකලා රාජිතලා රනිල්ට මුලින් යෝජනා කළේ හංසයාගෙන් මහ මැතිවරණයට තරග කරමු කියාය. රනිල් සහ එ.ජා.ප.ය එයට කැමැති වූයේ නැත. හංසයාගෙන් ඉල්ලුවා නම් චම්පිකලා සහ රාජිතලා ගොඩය.

ඒත් රනිල් හිතන්නේ මහින්ද මහින්දාගමනය පටන් ගෙන ශ්‍රී ල.නි.ප.ය දෙකඩ කරන්න ගණන් හදන තත්ත්වයක් තුළ චම්පිකලා රාජිතලා නැතිව යූ.ඇන්.පී.යට බහුතර බලයක් ගන්න පුළුවන් කියාය. චම්පිකලා රාජිතලා මුලින්ම රනිල් එක්ක ප්‍රශ්නය හදා ගත්තේ හංසයාගෙන් ඉල්ලන්න බැහැ යැයි රනිල් ගත් තීරණය නිසා නොව, රනිල් ශ්‍රී ල.නි.ප.ය දෙකඩ කරන්න රාජපක්‍ෂලා හුරතල් කරනවාය කියන සැකය නිසාය. චම්පිකලා රාජිතලා හිතන්නේ අද රාජපක්‍ෂලාගේ ආරක්‍ෂාව භාරව ඉන්නේ රනිල් යැයි කියාය. රනිල් පත් කරපු පොලිස් ඇමැති ජෝන්ද ඒ කතාවට පෝර දමමින් සිටී. ඔහු මහින්ද ජනාධිපති කාලයේ විදේශ සංචාර යද්දී රැගෙන ගිය අයෙකි. ඔහු විපක්‍ෂයේ සිටියදී රාජපක්‍ෂලාට එරෙහිව වචනයක්වත් කියා නැත. අද ඔහු හරහා රාජපක්‍ෂලා හොරු හංගනවා යැයි චම්පිකලා රාජිතලා සිතති. ඒ වගේම ඇවන්ට්ගාඩ් පාවෙන අවි නැව සහ රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ වැරැදි වහන්න රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිවරුන් සහතික දෙන්න පෝලිමේ එන විට චම්පිකලාගේ සහ රාජිතලාගේ සැකය වැඩි වෙයි. ඉස්සර ජ.වි.පෙ. රාජපක්‍ෂලාගේ හොරකම් හංගනවා යැයි ඔවුන්ගේ ලංකා පත්තරයෙන් චෝදනා කළේ මෛත්‍රිපාලටය. දැන් ජ.වි.පෙ.ත් රනිල්ට සහ එ.ජා.ප.යට චෝදනා කරන්න පටන් ගත්තේ එ.ජා.ප. ඇමැතිවරුන් තමන්ට ආණ්ඩුව හදලා දුන්න ජ.වි.පෙ. අමතක කරමින් ඇවන්ට්ගාඩ්කාරයට කඩේ යන්න පටන් ගත් විටදීය. රනිල්ද රාජපක්‍ෂවරුන්ගේ ඔටුන්න හිමි කුමරා නාමල්ව පාර්ලිමේන්තුව අමතන්න ආ මෝඩිට හඳුන්වා දෙමින් පැරැණි තුවාලයට ලුණු දෙහි දමයි.

දැන් මෛත්‍රිගේ හිතෙත් කහටක් ඇති වුණත් පුදුමයක් නොවේ. ඔහුට ඕනෑ හොඳරාජපක්‍ෂලා තියලා නරක රාජපක්‍ෂලා දේශපාලනයෙන් අතුගාලා දමන්නටය. ඔහු ඒකට කොස්ස අතට ගන්න විට රනිල් මෝඩි ළඟ නාමල්ව හුරතල් කරයි. දැන් චම්පිකලා සහ රාජිතලා මහ බැංකු අධිපතිගේ බැඳුම්කර ප්‍රශ්නය කරකවල රනිල්ගේ ඔළුවටම දමල ගසයි.
මේ ගහගැනිල්ලෙන් ඉවර වන්නේ යහපාලනයය. මේ විදිහට ගියොත් යහපාලනය මිනිස්සුන්ට වහ පාලනය වෙන දවස වැඩි අෑතක නැත. අර්ජුන් මහේන්ද්‍රන් නම දැන් මිනිස්සුන්ට පැකර් ගාණට තිත්ත වේගෙන එමින් තිබේ. එක්කෝ රනිල්ලා, චම්පිකලා, රාජිතලා එකතු වෙලා අර්ජුන්ව ගෙදර යවන්න ඕනෑය. නැත්නම් ආණ්ඩුව වහ කදුරු වගේ ජනතාවට තිත්ත කරවන ඇවන්ට්ගාර්ඩ්ලා ඇලෝෂියස්ලාට දඬුවම් දිය යුතුය.

“007 ජේම්ස් බොන්ඩ්” කියන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයක ඒජන්තවරයකු වටා ගොතන ලද චිත්‍රපට පෙළකි. මහින්ද රාජපක්‍ෂත් මේ දවස්වල ඇවන්ට්ගාඩ්ලාව ඇලෝෂියස්ලාව හරහා ජේම්ස් බොන්ඩ්ලාට අන්දවමින් සිටී. මේ ජේම්ස් බොන්ඩ්ලාගේ රාජකාරිය මහින්දට මැදමුලනේ ඉඳලා කොටුවේ ජනාධිපති මන්දිරයෙන් මතුවන උමං පාරක් පෑදීමය. ජේම්ස් බොන්ඩ්ලා මේ දවස්වල කරන්නෙ බොන්ඩ් ප්‍රශ්නය හරහා යහපාලනයේ යහපාලකයන් ලවාම උමං පාර හදන්න පස් කප්පවන එකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු (මව්බිම)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.