ශ්රී ලංකා යුද හමුදාවේ හිටපු යුද ලේකම් වශයෙන් කටයුතු කර වර්තමානයේ විශ්රාමික නිලධාරි අංක O / 62181 මේජර් ජෙනරාල් U L J සිල්වෙස්ටර් පෙරේරා යන නිලධාරීවරයා 1990 සැප්තැම්බර් මස 03 වන දින ශ්රී ලංකා යුද හමුදාවට බැඳීමේදී ලබා දුන් 1970 ජුනි මස 06 දින ලෙස උපන් දිනය සඳහන් ඔහුගේ උප්පැන්න සහතිකය පාදකව යුද හමුදා පරිපාලන ලියවිලි දත්ත පද්ධතීන් වැටුප් ලබාදීම සහ නිලධාරී ජ්යෙෂ්ඨතා නාම ලේඛන නඩත්තු වී ඇති නමුත් ඔහු විශ්රාම ගනු ලැබූ 2025 ජූලි මස 5 වන දිනට වසර 55ක් පසු ගණනය වනුයේ 1970 ජූලි මස 06 වන දින උපන්දිනය වශයෙන් සඳහන් වන දෙවන උප්පැන්න සහතිකයක් පදනම් වීම ප්රශ්න සහගත බවත් එතුළින් මේජර් ජනරාල් සිල්වෙස්ටර් පෙරේරා යුද හමුදාවට බැඳීමේදී ව්යාජ උපන්දිනයක් සහිත ව්යාජ උප්පැන්න සහතිකයක් ලබාදී වංචනික ලෙස හමුදාවට බැඳීම [“FRAUDULENT ENLISTMENT”] තුළින් 1949 අංක 17 දරණ යුද හමුදා පනතෙහි වගන්ති 56 ය ප්රකාරව සංග්රාමික නීතිය කඩකිරීමක් මෙන්ම කූට ලේඛන සැකසීම යටතේ දණ්ඩ නීති සංග්රහයෙහි අපරාධයක් සිදු කළේද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර යුද හමුදා පනතෙහි 104 වගන්තිය ප්රකාරව සහ දණ්ඩ නිති සංග්රහ යටතේ නීතිය ක්රියාත්මක කරන ලෙසට ලෙසට රවින්ද්ර මිගමාරච්චි විසින් යුද්ධ හමුදාපතිවරයා වෙත මීට පෙර පැමිණිල්ලක් සිදුකර තිබුණි.
“බැඳියාවන් අතර ගැටුම” CONFLICT OF INTEREST
ප්රශ්නගත විශ්රාමික මේජර් ජෙනරාල්වරයා යුද්ධ හමුදාපතිවරයාගේ එකම පන්තියේ පාසල් මිතුරෙකු බැවින් මෙතෙක් පරීක්ෂණයක් නොකිරීම, “බැඳියාවන් අතර ගැටුම” CONFLICT OF INTEREST ( COI ) තත්ත්වයක් ලෙසට වැඩිදුරටත් පෙන්වා දෙමින් එවන් තත්ත්වයක් මත යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂක මණ්ඩලය ඇතුළු කොටගත් අභ්යන්තර පරිපාලන ස්ථානයන්හි නඩත්තු වන උක්ත ප්රශ්නයට අදාළ ලිපි ලේඛනයන් හා දත්ත අස්ථානගතව, විනාශව හෝ වෙනස්වීම් වලට ලක් කර සාක්ෂින් වසන් විය හැක පසුබිමක මේ සඳහා කඩිනම් මැදිහත් වන ලෙසට දන්වමින් ජනාධිපතිවරයාට සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂක ජනරාල්වලයාට රවින්ද්ර වැඩිදුරටත් පැමිණිලි සිදුකර තිබේ.
1949 අංක 17 දරණ යුද හමුදා පනතෙහි 56 වන වගන්තිය ප්රකාරව නීතිය ක්රියාත්මක කිරීමට කාලසීමාවක් (TIME BAR) බල නොපවත්වන සංග්රාමික නීති කඩ කිරීම් ත්රිත්වයක් වන කැරලි ගැසීම , පැනයාම සහ වංචනිකව බඳවා ගැනීම ඉතා පැහැදිලිව දක්වා ඇති පසුබිමක ඔහු වර්තමානයේ විශ්රාම ගෙන සිටීම නීතිය ක්රියාත්මක කිරීමට බාධාවක් නොවන බවද තවදුරටත් එහි සඳහන්ය.
පැමිණිල්ලට ක්රියාත්මක නොවීම!
රවින්ද්ර මිගමාරච්චි විසින් සිදු කරන ලද ලිඛිත පැමිණිල්ලට ක්රියාත්මක නොවීම හෝ ක්රියාත්මක වීමට ප්රමාද වීම අපරාධයක්, දූෂණයක් වරදක් හෝ සංග්රාමික නීතිය උල්ලංඝනය කිරීමක් සහ එකී ප්රකාරව පුද්ගලික දේපළ අවභාවිතයක් සහ මහජන මුදල් අවභාවිතයක් තත් ජ්යෙෂ්ඨ නිලධාරීවරයා සිදුකර ඇත්නම් එය වසන් කිරීම හෝ ඊට අනුබල දීමක් ලෙස සලකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාව වෙත පැමිල්ලක් සිදු කරන බවට එම ලිපිය තුළින් වැඩිදුරටත් ඔහු යුද්ධ හමුදාපතිවරයාට දැනුම් දී තිබූ පසුබිමක යුද්ධ හමුදාපතිවරයා විසින් කිසිදු පරීක්ෂණයක් නොකිරීම පිළිබඳව නීතිය ක්රියාත්මක කරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ජනප්රිය ගායකයෙකු, සංගීතඥයෙකු මෙන්ම සරසවි සම්මානලාභී ගී පද රචකයකු වන රවින්ද්ර මීගමාරච්චි ශ්රී සුමංගල විද්යාලයෙන් ප්රාථමික අධ්යාපනය හදාරා කොළඹ ආනන්ද විද්යාලයෙන් ද්වීතීක අධ්යාපනය අවසන්ව තාරුණ්යය අත් නොවිද 1996 වර්ෂයේ අවම වයසෙන් ශ්රී ලංකා යුද හමුදාවට එක්ව 2032 අප්රියල් මස 03 වන දින විශ්රාම නියමිතව සිටි අයෙකි. වර්තමාන හැරුණු කොට පෙර සියලු හමුදාපතිවරුන්ගේ පමණක් නොව රාජ්ය නායකයන්ගේ පෞද්ගලික පැසසුමට සහ ලිඛිත සේවය ඇගයීම්වලට ලක්වුණු රවින්ද්ර, යුද හමුදාවට මහත් සේවයක් ඉටු කලද අවසාන භාගයේ දරුණු ලෙස පළිගැනීමාලාවකට ලක්වූ නිලධාරියකි.
BACK DATED කිරිම!
2025 ජූනි මස 19 වන දින කර්නල් රවින්ද්ර මිගමාරච්චි තොප්පිගල ප්රදේශයේ රාජකාරී සිදු කරමින් සිටින අතරතුර ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට පසු දිනයකට බලපැවැත්වෙන අයුරින් [ BACK DATED] ඔහුව 2025 ජූනි මස 03 වන දින ඔහුව විශ්රාම ගන්වා ඇති බව එවක යුද්ධ ලේකම් වශයෙන් කටයුතු කළ ප්රශ්නගත මේජර් ජෙනරාල් සිල්වෙස්ට පෙරේරා නිල වශයෙන් දැනුම් දී ඇති අතර, යුද හමුදා ක්රමවේදයන් අනපනත් උල්ලංඝනය කරමින් සිදුකර ඇති මෙම අනීතික ක්රියාව වර්තමාන ජනාධිපතිවරයාද නොමග යවමින් සිදු කරන ලද ක්රියාවක් බවටද සැක පහළව ඇත. මෙම විශ්රාම යැවීම වැරදි ක්රියා පටිපාටියක් යටතේ සිදුකර ඇති බැවින් අදටත් එම නිලධාරියා හට විශ්රාම යැවීමෙන් අනතුරුව යුද හමුදාවෙන් අවසාන නිෂ්කාශන ලබා ගැනීමේ නෛතික ක්රමවේදයක් කිසිදු මූලාශ්රයක සඳහන්ව නොමැත. විශ්රාම ගැන්වීමක් සිදුකරනුයේ නිෂ්කාශන ලබා ගැනීමෙන් අනතුරුව මිස විශ්රාම ගැන්වීමෙන් පසුව නොවන බවත් එකී නිෂ්කාශන පදනම්ව විශ්රාම වැටුප ලබා ගන්නා තෙක් පිළිවෙත බරපතල ලෙස මෙම අනීතික ක්රියාදාමය හේතු කොට උල්ලංඝනය වී ඇති බව මෙන්ම මෙය බරපතළ තත්ත්වයක් බවට නීතිවේදීහු පවසති.
යුක්තිය උදෙසා ඔහු විසින් ගරු ශ්රේෂ්ඨාධිකරණයෙහි ගොනුකර ඇති මානව අයිතිවාසිකම් නඩුවෙහි බරපතල වග උත්තරකරුවකු ලෙස විශ්රාමික මේජර් ජනරාල් සිල්වෙස්ට පෙරේරා නම් කර තිබෙන පසුබිමක මේජර් ජෙනරාල් සිල්වෙස්ටර් පෙරේරාට විරුද්ධව රවින්ද්ර මිගමාරච්ච විසින් සිදුකර ඇති බරපතළ පැමිණිල්ල දෛවයේ සරදමකි.
කෙසේ වෙතත් විශ්රාමික මේජර් ජෙනරාල් සිල්වෙස්ට පෙරේරා 1949 අංක 17 දරන යුද හමුදා පනතෙහි 104 වගන්තියට අනුව “වංචනික බඳවා ගැනීම” [“Fraudulent enlistment”] යටතේ වරදකරු වුවහොත් ඔහුගේ මේජර් ජෙනරාල් නිලය සහ විශ්රාම වැටුප අහිමි වන අතර වසර තුනකට නොඅඩු බරපතළ සිර දඬුවම් නියම වනු ඇත. තවද ඔහු වෙත මෙතෙක් ලබා දී ඇති සියලුම මුදල් ආපසු අය කර ගැනීමේ නෛතික ප්රතිපාදනද නීතියේ රාමුව තුළ පවතී. එසේම කූටලේඛන සැකසීම සබඳීම දණ්ඩ නිති සංග්රහය යටතේද බරපතළ දඬුවම් හිමිවන අපරාධයකි.
කෙසේ වෙතත් ත්රිවිධ හමුදාවටම සේනාධි නායකවරයා ලෙස මෙම පැමිණිල්ල පිළිබඳව ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත්වීම ත්රිවිධ හමුදාවටම පුරවාදර්ශයක් සපයනු ඇත.
(උපුටා ගැනීම)
රවින්ද්ර මීගමආරච්චි,
14 B
පානදුර.
2026.02.16
අතිගරු ජනාධිපතිතුමා,
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ,
විධායක ජනාධිපති ත්රිවිධ හමුදාවල සේනාධිනායකය,
ජනාධිපති කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.
අතිගරු ජනාධිපති තුමනි.
(ඔබතුමාගේ පෞද්ගලික අවධානය සඳහා)
වංචනික බඳවා ගැනීම (FRAUDULENT ENLISTMENT) O / 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා (විශ්රාමික) පිළිබඳව විමර්ෂණයක් ඉල්ලා සිටීම සහ ඒ සබැඳිව මා විසින් සිදුකළ පැමිණිල්ලට යුද්ධ හමුදාපතිවරයා ක්රියාත්මක නොවීම.
යොමුව :
(අ) O/62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා (විශ්රාමික) යුද හමුදාවට බැඳීමේදී ලබා දුන් උපන්දිනය 06.06.1970 ලෙස සඳහන් උප්පැන්න සහතිකය.
(ආ) යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලය විසින් නඩත්තු කරන ලද O/62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා (විශ්රාමික) නිලධාරීවරයාගේ සම්පූර්ණ සේවා කාලයේ වැටුප් ලෙජරය.
(ඇ) 2025.06.05 දිනට වයස වසර 55 සම්පූර්ණ වීමෙන් අනතුරුව O / 62181 මේජර් ජෙනරාල්
U L J S පෙරේරා (විශ්රාමික) නිලධාරීවරයා විශ්රාම යෑම සබැඳිව නිලධාරී වැටුප් අංශය – යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂක මණ්ඩලය විසින් නිකුත් කර ඇති පෙර දැනුම් දීමේ ලිපිය.
(ඈ) O / 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා (විශ්රාමික) 2025 වසරේ යුද්ධ ලේකම් තනතුර දරමින් විශ්රාම ගැනීමට පෙර යුද හමුදාවට ලබාදුන් උපන්දිනය 06.07.1970 ලෙස සඳහන් උප්පැන්න සහතිකය.
(ඉ) 1993 සිට 2025 දක්වා යුද හමුදා නිලධාරි ජෙෂ්ඨතා නාමලේඛනය.
(ඊ) 1949 අංක 17 දරණ යුද හමුදා පනත 56 වන වගන්තිය.
(උ) 1949 අංක 17 දරණ යුද හමුදා පනත 104 වන වගන්තිය.
(ඌ) අතිගරු ජනාධිපතිතුමාට පිටපත් සහිතව යුද්ධ හමුදාපති වෙත 2026.02.03 දින සිදු කරන පැමිණිල්ලෙහි ලිපිය.
(එ) අධ්යක්ෂ ජෙනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2026.02.16 දින පැමිණිල්ල.
අතිගරු ජනාධිපතිතුමනි, විශ්රාමික O / 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා නිලධාරීවරයා 1990. 11 .03 දින පාඨමාලා අංක 08 යටතේ එවක කොතලාවල ආරක්ෂක විද්යා පීඨයට කැඩට් නිලධාරීවරයෙකු වශයෙන් ඇතුළත්ව 14.11.1992 දෙවන ලුතිනන් වරයකු වශයෙන් අධිකාරියට පත්ව ඇත. තත් ජ්යෙෂ්ඨ නිලධාරීවරයා පසුකාලීනව හිටපු ජනාධිපති ගරු රනිල් වික්රමසිංහ මහතාගේ සමීපතයෙකු ලෙස ජනාධිපති කාර්යාලයේද වර්තමාන යුද්ධ හමුදාපති වරයාගේ එක පන්තියේ පාසල් මිතුරෙකු ලෙස යුද හමුදා මූලස්ථායේද යුද ලේකම් වැනි මරුමස්ථාන තනතුරු දරමින් එම තනතුරුහි බලය අවභාවිතා කර යුද හමුදාවට බැඳීමේදී ඔහු විසින් ලබාදුන් ව්යාජ උප්පැන්න සහතිකය වෙනත් උප්පැන්න සහතිකයකින් ප්රතිස්ථාපනය කර වංචනිකව හමුදාවට බැඳීම යන වරද යටපත් කර වර්තමානයේ විශ්රාම ගෙන ඇත. මා විසින් ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුවද යුද්ධ හමුදාපතිවරයා මේ සබැඳිව ක්රියාත්මක නොවන පසුබිමක ත්රිවිධ හමුදාවටම සේනාධි නායකවරයා ලෙස නීතිය ක්රියාත්මක කරනුවස් ඔබතුමාගේ පුද්ගලික අවධානයට මෙම පැමිණිල්ල කාරුණිකව යොමු කරමි.
තත් ජ්යෙෂ්ඨ නිලධාරිවරයා යුද හමුදාවට බඳවා ගැනීමේදී ඔහු විසින් නෛතිකව ඉදිරිපත් කර ඇති යොමුව අංක (අ) දරන උප්පැන්න සහතිකයෙහි ඔහුගේ උපන් දිනය වශයෙන් 1970 .06.06 දිනය සටහන්ව පැවතීම තුළින් යුද හමුදා අභ්යන්තර පරිපාලන ලියවිලි, පරිගණක දත්ත, යොමුව (ආ) දරන වැටුප් හා දීමනා ලෙජරයන්හි උපන් දිනය 1970.06.06 ලෙසම පවත්වාගෙන ගොස් ඇත. එමෙන්ම යොමුව (ඉ) දරන යුද හමුදා නිලධාරී නිලධාරී ජේෂ්ඨතා නාම ලේඛනයෙහිද දශක දෙකකට ආසන්න කාලයක් එය එසේ පවත්වාගෙන ගොස් ඇත.
එකී මූලාශ්ර ප්රකාරව 2025.06.05 දිනට වයස වසර 55 සම්පූර්ණ වීමෙන් අනතුරුව තත් ජ්යෙෂ්ඨ නිලධාරීවරයාගේ විශ්රාම ගැන්වීම සබැඳිව යොමුව (ඇ) දරන හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයෙහි නිලධාරී වැටුප් අංශ විසින් පෙර දැනුම් දීමේ ලිපිය මගින් 2025.06.05 දිනට මාස තුනකට පෙර දැනුම් දී ඇත. තත්වය එසේ තිබියදී මෙම ජේෂ්ඨ නිලධාරීවරයා 2025 .07.05 දින ශ්රී ලංකා යුද හමුදාවෙන් විශ්රාම ගැනීම ඔහු විසින් යුද හමුදාවට බැඳීමේදී නීතියානුකූලව ලබාදුන් උපන්දිනය 1970.06.06 ලෙස සඳහන් උප්පැන්න සහතිකය පදනම්ව සිදුනොවූ විශ්රාම ගැනීමක් බැවින් යුද හමුදාවට බැඳීමේදී ලබාදුන් එකී උප්පැන්න සහතිකය ව්යාජ උප්පැන්න සහතිකයක් බවට සනාථ වන බව කාරුණිකව පෙන්වා දෙමි
O / 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා (විශ්රාමික) නිලධාරීවරයා එවක යුද හමුදා මූලස්ථානයේ මරුමස්ථාන තනතුරක් වන යුද ලේකම් තනතුර දරමින් එහි බලය අවභාවිතාවට ලක් කරමින් යුද හමුදාවට ඇතුළත් වීමේදී ඔහු විසින් ලබා දුන් උප්පත්තිය 1970 .06.06 ලෙස සඳහන් යොමුගත (අ)දරණ උප්පැන්න සහතිකය ප්රතිෂ්ථාපනය කර විශ්රාම ගනු ලැබූ 2025.07.05 දිනට සාපේක්ෂව 06.07.1970 ලෙස උප්පත්තිය සඳහන් යොමුව (ඈ) දරන උප්පැන්න සහතිකය (දෙවන උප්පැන්න සහතිකය) විශ්රාම යෑමට මත්තෙන් යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂක මණ්ඩලයේ සහ අනෙකුත් පරිපාලන ලියවිලි සහ දත්ත පද්ධතියට ඇතුලත් කර තිබීම තුළින් 05.07.2025 දිනය විශ්රාම ගත් දිනයට පාදකව ඇති බව ප්රත්යක්ෂ වන අතර යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂ මණ්ඩලයේ උක්ත නිලධාරීවරයාගේ විශා්රම යෑමේ ලියවීලි සහ ජ්යෙෂ්ඨතා නාම ලේඛනයද උපන් දිනය එලෙසින් සංශෝධනයව ඇත.
යුද ලේකම් තනතුරට පෙර ඔහු ජනාධිපති කාර්යාලයෙහි හිටපු ජනාධිපති ගරු රනිල් වික්රමසිංහ මහතාට ඉතා සමීපව ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ පුද්ගලයකු වන අතර එකී බලය අවභාවිතා කරමින් එම කාලවකවානුවන්හි අභ්යන්තර දත්ත පද්ධතියෙන් වෙත තොරතුරු යාවත්කාලීන කිරීම් සිදු වන්නට ඇතැයි අපේක්ෂා කරමි. යොමුව අංක (ඈ) දරන එකී දෙවන උප්පැන්න සහතිකය පදනම්ව අදටත් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්රාමික O / 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා නිලධාරීවරයා හට විශ්රාම වැටුප ලබා දෙනු ලබයි.
අතිගරු ජනාධිපතිතුමනි, උක්ත කරුණු සියල්ල සලකා බැලීමේදී තත් ජ්යෙෂ්ඨ නිලධාරීවරයා යුද හමුදාවට බැඳීමේදී ලබාදුන් උප්පැන්න සහතිකයෙහි සඳහන් උපන්දිනය ව්යාජ මෙන්ම ව්යාජ උපන්දිනයක් සටහන් තබා ඇති උප්පැන්න සහතිකයද ව්යාජ බවත් මගේ දැනීම මත මා හට හැඟී යන කරුණකි. ඒ තුළින් ගම්ය වනුයේ මෙය වංචනික බදවා ගැනීමක් බවය. යොමුව (ඊ) යටතේ සඳහන් 1949 අංක 17 දරණ යුද හමුදා පනතෙහි 56 වන වගන්තියට අනුකූලව සංග්රාමික නීතිය යටතේ කාල සීමාවක් බල නොපවත්වනසේ දඬුවම් ලබා දිය හැකි වරදවල් තුනකි. ඉන් එකක් ලෙස “වංචනික බඳවා ගැනීම” සඳහන්ව තිබීම තුළින් O / 62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා නිලධාරීවරයා දැනටමත් විශ්රාමිකව සිටීම නීතිය ක්රියාත්මක කිරීමට බාධාවක් නොවන බව පෙන්වාදීමට කැමැත්තෙමි.
කරුණු එසේ හෙයින් මේ සබැඳිව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්රී ලාංකීය පුරවැසියෙකු ලෙස මා විසින් ඔබතුමාටද පිටපත් සහිතව යුද්ධ හමුදාපති වෙත යොමුව (ඌ) දරන ලිපියෙන් ඉල්ලා සිටි මුත් ඔහු විසින් මේ වනතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගත් බවට හෝ පියවර ගන්නා බවට පැමිණිලිකරු වශයෙන් මා වෙත වාචිකව හෝ ලිඛිතව දැනුම් දී නොමැත. එවන් පසුබිමක යුද හමුදා නීතිය යටතට ගැනෙන බරපතල වරදවල් ත්රිත්වයෙන් එකක් වෙන “වංචනිකව හමුදාවට බැඳීම” සබැඳිව ක්රියා නොකිරීම හෝ ක්රියාත්මක වීමට ප්රමාද වීම. අපරාධයක්, දූෂණයක් වරදක් හෝ සංග්රාමික නීතිය උල්ලංඝනය කිරීමක් සහ එකී ප්රකාරව පුද්ගලික දේපළ අවභාවිතයක් සහ මහජන මුදල් අවභාවිතයක් තත් ජ්යෙෂ්ඨ නිලධාරීවරයා සිදුකර ඇත්නම් එය වසන් කිරීම හෝ ඊට අනුබල දීමක් ලෙස යුද්ධ හමුදාපතිවරයාද වැරදිකරුවෙකු වන බව කාරුණිකව පෙන්වා දෙමි.
උක්ත ජ්යෙෂ්ඨ නිලධාරීවරයා සහ යුද්ධ හමුදාපතිවරයා එක විද්යාලයේ එකම පන්තියේ පාසල් මිතුරන් බැවිනි පරීක්ෂණයක් නොකිරීම, ”බැඳියාවන් අතර ගැටුම” CONFLICT OF INTEREST ( COI ) තත්ත්වයක් ලෙසට වැඩිදුරටත් පෙන්වාදීමට කැමැත්තෙමි. මෙම තත්ත්වය මත යුද හමුදා වැටුප් හා ලේඛන අධ්යක්ෂක මණ්ඩලය ඇතුළු කොටගත් අභ්යන්තර පරිපාලන ස්ථානයන්හි නඩත්තු වන උක්ත ප්රශ්නයට අදාළ ලිපි ලේඛනයන් හා දත්ත අස්ථානගතව, විනාශව හෝ වෙනස්වීම් වලට ලක් කර සාක්ෂින් වසන් විය හැක පසුබිමක මේ සඳහා කඩිනම් මැදිහත්වීමක් අත්යවශ්ය බව කරුණිකව පෙන්වා දෙමි. තවද යොමුව (එ) මගින් අධ්යක්ෂ ජෙනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිල්ලද මේ සමග ඉදිරිපත් කරමි.
අතිගරු ජනාධිපතිතුමනි, ත්රිවිධ හමුදාවටම සේනාධි නායකවරයා වශයෙන් ඔබතුමා යටතේ පාලනය වන යුද හමුදා සාමාජිකයින් සහ අනෙකුත් සහෝදර හමුදාවන්හි සාමාජිකයින් බොහොමයක් මේ වන විටද මෙම ප්රශ්නකාරී තත්ත්වය දැන මේ සඳහා ගනු ලබන නෛතික පියවර සබැඳිව විමසිල්ලෙන් සිටින අවධියක මේ සඳහා නීතිය ක්රියාත්මක නොවීම හෝ ක්රියාත්මක වීම ප්රමාද වීම ත්රිවිධ හමුදාවට සහ මහජනතාවට වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් බව කාරුණිකව පෙන්වා දීමට කැමැත්තෙමි. තවදුරටත් මේ සබැඳිව ක්රියාත්මක නොවන යුද්ධ හමුදාපතිගේ ක්රියා කලාපය හමුවේ සේනාධි නායකවරයා වශයෙන් කාරුණිකව මීට මැදිහත්ව යුද හමුදා පනතට අනුකූලව පරීක්ෂණය තුළින් ඉහත ජ්යෙෂ්ඨ නිලධාරීවරයා වරදක් සිදු කර ඇති බව අනාවරණය වන්නේ නම් යොමුව (උ ) යටතේ සඳහන් 1949 අංක 17 දරණ යුද හමුදා පනතෙහි අංක 104 වගන්තියට අනුකූලව විශ්රාමික O/62181 මේජර් ජෙනරාල් U L J S පෙරේරා නිලධාරීවරයා හට සහ මෙය වසන් කිරීමට යම් අයෙකු උත්සහා දරා ඇත්නම් ඊට වගකීව යුතු ඔවුනගේ තරාතිරම නොබලා නීතිය ක්රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරනුයේ, මෙතෙක් ආ ගමන තුළ ඔබතුමා සමස්ත දේශයට සහ ජාත්යන්තරයට ලබාදුන් ධනාත්මක පූර්වාදර්ශය සිහිපත් කරමිණි.
ස්තුතියි
මෙයට
විශ්වාසී
රවින්ද්ර මිගමාරච්චි
පිටපත්
ගරු ජනාධිපති ලේකම්තුමා.
ගරු ආරක්ෂක ලේකම්තුමා.
යුද්ධ හමුදාපතිතුමා
අධ්යක්ෂ ජෙනරාල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව.
පොලිස්පති ශ්රී ලංකා පොලිසිය.
අධ්යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.
ජනමාධ්ය සහ සමාජ මාධ්ය.
(උපුටා ගැනීම අවසන්)
