“අපි මේ එකතු වුණේ, මීට අවුරුදු 200කට පෙර වතු වගාවට, මාර්ග ඉදිකිරීම, ආදී කාර්යයන් සඳහා ගෙන එනු ලැබූ දමිළ ප්‍රජාවගේ ඉතිහාසය පිළිබඳ කතා කරන්න. එම ඉතිහාසයම ඛේදවාචකයක්. ඒ වගේම එය අප රටේ සිදුවී තිබෙන ඓතිහාසික වැරැද්දක්. ජාතික ජන බලවේගයේ අපි ඒ ඓතිහාසික වැරැද්ද පිටුදකිනවා. එපමණක් නොවෙයි ජාතික ජන බලවේගයේ අපි ඔබට සපථ කරනවා එම ඓතිහාසික වැරැද්ද අපි නිවැරදි කරන බවට. අද මෙම හැටන් ප්‍රකාශයෙන් ඒ සඳහා අවශ්‍යවන මූලික මඟපෙන්වීම අපි කර තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ කඳුකර දමිළ ජනතාව ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් අවුරුදු 200ක් පිරීම නිමිත්තෙන් “මවුබිමට ජවයක්, ගෞරවනීය පුරවැසියෙක් – මලෛයිගම් 200” වැඩසටහන් මාලාවට සමගාමීව පසුගිය 15 වනදා හැටන් DKW සංස්කෘතික ශාලාවේදී පැවති “මලෛයගම් 200” ජාතික ජන බලවේගයේ හැටන් ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය පවතවමිණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ.
“අපි මේ එකතු වුණේ, මීට අවුරුදු 200කට පෙර වතු වගාවට, මාර්ග ඉදිකිරීම, ආදී කාර්යයන් සඳහා ගෙන එනු ලැබූ දමිළ ප්‍රජාවගේ ඉතිහාසය පිළිබඳ කතා කරන්න. එම ඉතිහාසයම ඛේදවාචකයක්. ඒ වගේම එය අප රටේ සිදුවී තිබෙන ඓතිහාසික වැරැද්දක්. ජාතික ජන බලවේගයේ අපි ඒ ඓතිහාසික වැරැද්ද පිටුදකිනවා. එපමණක් නොවෙයි ජාතික ජන බලවේගයේ අපි ඔබට සපථ කරනවා එම ඓතිහාසික වැරැද්ද අපි නිවැරදි කරන බවට. අද මෙම හැටන් ප්‍රකාශයෙන් ඒ සඳහා අවශ්‍යවන මූලික මඟපෙන්වීම අපි කර තිබෙනවා.
මේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා මේ හැටන් නගරය තෝරා ගත්තේ ඇයි? දමිළ ප්‍රජාව වැඩිපුරම ජීවත් වන කඳුකර ප්‍රදේශ නිසාද? නැහැ. 1964 සිරිමා- ශාස්ත්‍රී ගිවිසුමෙන් පසුව මේ ප්‍රදේශයේ ජීවත් වුණු දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් ආපසු ඉන්දියාවට පිටත් කර හරිනවා. ඒ දමිළ ජනතාව මේ හැටන් දුම්රිය ස්ථානයේ කෝච්චියට පටවලා තමයි තලෛයිමන්නාරමට පිටත් කර හැරියේ. ඒ දිනවල මේ හැටන් නගරයත්, දුම්රිය ස්ථානයත් කඳුළුවලින් තෙත් වුණා. වේදනාවෙන් අඳෝනා දුන්නා. ඒ පිළිබඳව දමිළ සාහිත්‍යවේදියෙකු වු තෙලිවත්තේ ජෝෂප්, ඔහුගේ ‘පාලායි’ පොතේ මෙහෙම කියනවා. “යළි මව්බිමට පැමිණීම’ යි ඇතැමුන් කරන ලද හැඳින්වීම ප්‍රතික්‍ෂේප කර මෙහි සිටින බහුතරයක් කියා සිටින්නාක් සේ ‘බලහත්කාරයෙන්’ කඳුකර ජනතාව පිටුවහල් කළේ යැයි මම පවසමි; ඉන්දියාවට යාම ප්‍රතික්‍ෂේප කරමින් තැන් තැන්වල සැඟවෙමින් සිටි ජනතාව පොලිසිය යොදවා අල්ලා, වාහනවල පටවා, මන්නාරමට රැගෙන විත් ඉන්දියාවට යැවූ අයුරු වෙනත් ලෙසකින් අර්ථ දැක්විය හැකිද?” ඔහු කියන පරිදි ඒ අන්කවරක්වත් නොවෙයි, බලහත්කාරයෙන් පටවා හැරීමක්. ඒ වෙනකොට අවුරුදු 150ක් විතර ගතවෙලා. පරම්පරා තුන හතරකින් අලුත් වෙලා. එහෙත් එම ජනතාවට නීතියෙන් කියනවා ‘ඔබ මෙහි පුරවැසියන් නොවේ. ඔබ යා යුතුයි ඉන්දියාවට’ කියලා. ඔවුන් ඉන්දියාවත් එක්ක නැහැ. මේ පරම්පාරව ඉන්දියාවේ ජීවත් වෙලා නැහැ. ආර්ථික වශයෙන් ඉන්දියාවට දායකත්වය සපයා නැහැ. ඉපදුනේ, මේ මහපොළොවේ. මියැදුණේ මේ මහපොළොවේ. වැළලුණේ, සාරවත් කළේ මේ මහපොළොව. මේ රටේ ආර්ථිකයට හවුල් වුණේ. හැබැයි නීතියෙන් කිවුවා, ඔබ යා යුතුයි ඉන්දියාවට කියලා. අන්න ඒ හැටන් නගරයේ සිටයි අපි අද කතාකරන්නේ.
ඉතිහාසය තුළ තිබුණු ඛේදවාචකය එපමණද? නැහැ. ඔබ දන්නවා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපිව වගේම ඉන්දියාවත් යටත්විජිතයක් කර ගත්තා. 1800-1900 යුගය කියන්නේ ඉන්දියාවේ ගොවීන්ගේ අස්වැන්න පැහැරගැනීම්, දැඩි නියඟ තත්වය හේතුකොට ගෙන විශාල සාගතයක් ඇති වූ යුගයක්. සමහර වාර්තාවල තිබෙනවා 1800-1900 යුගයේ සාගතය හේතුකොටගෙන දෙකෝටි දාහතර ලක්ෂයක් මිය ගිය බව. ඒ ඔබගේ මුතුන් මිත්තන්. එපමණක් නොවෙයි බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව තුළ වගේම අධික බදු පැනවීමකට ලක්කළා. එයින් ජනතාවට විශාල පීඩාවක් එල්ල වුණා. බදු නොගෙවීම හේතුකොටගෙන බරපතළ වදහිංසාවන්ට භාජනය වුණා. එම වදහිංසා සොයා බැලීමට මදුරාසි වදහිංසා කොමිසමක් පත්කිරීමට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට සිදුවුණා. එම වාර්තාවල මෙසේ සඳහන්වී තිබෙනවා. “ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා බදු මුදල් ගෙවන ලෙස ආදායම් පාලක නිලධාරියා දැඩි ලෙස අපට බල කළා- මෙම කාරණය මුල් කරගෙන ඔවුන් මාවත්, තවත් අපේ පිරිසකුත් අල්ලා ගෙන ගිනියම් අව්වේ සිටවා තැබුවා- අපට කොඳු නමා සිටින්නට සලස්වා ගිනියම් වූ ගල්ගෙඩි කොන්ද මත තබා ගැට ගසා, දවස පුරා ගිනියම් වූ වැලි මත සිටින්නට සැලැස්වූවා- නොකඩවා මාස තුනක් තිස්සේ මෙලෙස දස වද දුන්නා-..” ඒ ඉන්දියාවේ දුක්විඳි මුතුන්මිත්තන්.
ඒ පරිසරය බලකළා ඔවුන්ට මීට වඩා හොඳ තැනක් සොයාගන්න. අනෙක් අතට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ අයගෙන් විශාල ප්‍රමාණයක් විවිධ රටවල්වලට ශ්‍රමිකයන් හැටියට ගෙනගියා. ඒ ආකාරයට ලංකාවේ මාර්ග ඉදිකිරීමටත්, කෝපි වගාව ආරම්භ කිරීමටත් විශාල ශ්‍රමිකයන් පිරිසක් ලංකාවට ගෙනාවා. දනුෂ්කොඩි වරායෙන් මේ අයව පටවලා, මන්නාරම් වරායෙන් බස්සවලා තිබුණා. සමහර වාර්තාවල සඳහන් වෙනවා, මුහුදෙදි කුණාටුවට හසුවී විශාල ප්‍රමාණයක් මුහුදෙහි මිය ගිය බව. එම මිය ගිය සිරුරු මුහුදටම විසි කළ බව. ඔවුන්ව පාගමනින් මන්නාරම, මැදවච්චිය, දඹුල්ල, මාතලේ දක්වා පයින් ගෙනාවා. අනතුරුව ගිරිදුර්ග නගිමින් මේ ප්‍රදේශයට ගෙනාවා. ඒ වන විට අඩි 3000ට වඩා කිසිදු තැනක් ලංකාවේ ජනාවාසකරණය වෙලා තිබුණේ නැහැ. මිනිස් වාසයක් තිබුණේ නැහැ. ඩයගම, හැටන්, තලවාකැලේ, රාගල මේ සියල්ලම අඩි 3000ට වඩා උඩින් පිහිටා තිබුණේ. පාරවල්, මංමාවත් තිබුණේ නැහැ. මේ ජනතාව පයින්, කැලෑ තුළින් මේ ප්‍රදේශයට ගෙනාවා. ගමන් කිරීමට බැරිවෙන තත්වයක් ඇති වෙනකොට, කුඩා කෑම ටිකයි, පොල් කටුවක වතුරයි තියලා මේ ජනතාව අරගෙන ආවා. තලෛයිමන්නාරම සිට මේ දක්වා කැලෑ තුළින් එන විට විවිධ ලෙඩ රෝග හේතුකොටගෙන එම ගමනේදී 15%ක් මිය ගිය බව. මේ මිනිසුන්ගේ සිරුරු වැතිරි තිබෙනනේ මේ කඳුකරයේ පමණක නොවෙයි; ඈත තලෛයිමන්නාරම, මැදවච්චිය, දඹුල්ල, මාතලේ දක්වා මේ මිනිසුන්ගේ සිරුරු මිහිදන් වෙලා තිබෙනවා. ඔවුන් වතු වගාවන් සඳහා යහපත් බලාපොරොත්තුවක් සහිතව ආවා. ඔවුන්ගේ ජන කවි තුළින් ඔවුන් මෙහෙම කියනවා.
“කොන්ද නමන් නැගපු කන්ද
කෝපි පැලත් සිටවු කන්ද
අයියල ඇද වැටුණු කන්ද
අන්න පේනවා”
මෙයින් කියන්නේ මොකක්ද? මේ කඳු සිසාරා මේ මිනිසුන් මියැදි තිබෙන බවයි. ඒ අසීරු වගාව තුළින් ඒ මිනිසුන් විඳි ජීවිතය කුමක්ද? ඒ ගැන ජන කවියක මෙහෙම කියනවා.
කුදු ගැහෙනා කඳු නැගලා
කෝපි ඵල නෙලනා අතරේ
එක ඵලයක් බිම වැටුණොත්
පයින් ගහයි සින්නදොරේ
ඒ වතු වගාව ඉතාමත් දුෂ්කර වුණා. ජීවිතය මොකක්ද කියලා දන්නේ නැති පිරිසක්, රස ආහාර වේලක් පිළිබඳ හැඟීමක් නැති පිරිසක්, නිවහනක් පිළිබඳ අත්දැකීමක් නැති පිරිසක්, ජීවිතයේ කිසිදු විනෝදයක් නොලබපු, සතුට, හැඟීම් සමුදායක් නැති පිරිසක් මේ කඳුකරයේ මිය ගියා. කෝපි වගාව බිඳ වැටුණාට පසුව ඔවුන් තේ වගාවට අනුවර්තනය වුණා. එතන ජීවිතය යහපත් වුණාද? එදා ජන කවියා මෙහෙම කියනවා.
“කූඩ කරේ එල්ලාගෙන අපට පුරුදු නෑ
දලු නෙළනා වැඩ කරලත් අපට පුරුදු නෑ
කංකානිට යටත් වෙලා කොහොමද ඉන්නේ අප
යවනු මැනවි අපේ බිමට සාමී සාමී”
මේ ජනතාව කිසි කෙනෙක් කැමැත්තෙන්, ආසාවෙන්, අපේක්ෂාවෙන් මේ මවුබිම තුළ ජීවත් වුණා නොවෙයි. හූල්ල හූල්ල දිනපතා වේදනාවේ ගැඹුරුම පතුළ විඳිමින් ජීවත් වුණු පිරිසක්.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අවුරුදු 125ක්, වර්තමාන පාලකයන් යටතේ අවුරුදු 75ක් මේ අවුරුදු 200ක ජීවිතය පරම්පරා හතරකට වඩා අධික සමුදායකට අත්පත්කර දී ඇති ඉරණම කුමක්ද? 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියාට පසුව දේශීය කණ්ඩායමක් පාලනය අතට ගන්නවා. 1949 පුරවැසි පනත ගේනවා. පුරවැසි පනතෙන් නියෝග දෙනවා පුරවැසිභාවය ලබා ගන්න නම්, 1949 නොවැම්බර් මාසයේ 15දාට කලින් ඉපදී තියෙන්න ඕනෑ. පරම්පරා දෙකක් මෙහි ජීවත් වුණු බවට ලිඛිත සාක්ෂි තිබෙන්න ඕනෑ. උප්පැන්නයක් නැති, ඇඩ්‍රස් එකක් නැති, ලේඛනයක නමක් නැති පුරවැසියන් පරම්පරා දෙකක් තමන් මෙහි ජීවත් වුණු බවට දෙන සහතිකය මොකක්ද? හත් ලක්ෂයකට පුරවැසිභාවයක් නැහැ. මෙ රටේ ජීවත් වෙනවා, ආර්ථිකයට හවුල් වෙනවා, මේ රටේ මියැදෙනවා, හැබැයි රටේ පුරවැසියන් නොවෙයි. ඉතා කුඩා ප්‍රමාණයකට පමණක් පුරවැසිභාවය දුන්නා. ව්‍යාපාරවලින් ධනය එක්රැස් කරගත්ත, වතුවලින් ධනය එක්රැස් කර ගත්ත, වගාබිම් විශාල ප්‍රමාණයක් අයිතිව තිබුණු ඉතා කුඩා කණ්ඩායමකට පුරවැසිභාවය ලැබුණත් ලක්ෂ හතකට අධික පහළ පංතියේ මිනිසුන්ට පුරවැසිභාවය ලැබුණේ නැහැ. පාලක කණ්ඩායම් නැවත නැවත ඔවුන් විසින්ම පුරවැසිභාවය අහෝසි කරලා, නැවත නැවත ඡන්දයේදී “අපි පුරවැසිභාවය දෙන්නම්” කියලා දේශපාලන පොරොන්දු ඡන්ද ලබාගැනීම සඳහා වෙන්දේසි කළා. ජනතාවක් ලෙස මේ ජනතාව 2003දි පුරවැසිභාවය සම්පූර්ණ කරනවා. 1949 සිට අවුරුදු 54ක් තුළ පරම්පරාවකට වැඩි පිරිසක් පුරවැසිභාවය අහිමි වෙලා මේ රටේ මිය ගියා. සම්පූර්ණ පුරවැසිභාවය ලැබී මේ වන විට වසර 20ක් ගතවී තිබෙනවා. ඔවුන්ට නිල කඩදාසිවලින් පුරවැසිභාවය ලැබුණත්, ලංකාවේ පුරවැසියාට සමානව අයිතිවාසිකම් ඔවුනට හිමිවෙලා නැහැ.
මේ කඳුකර දමිළ ජනතාවට අවශ්‍ය වෙන්නේ ගෞරවය සහිත මහා මිනිස් ප්‍රජාවක් බවට වර්ධනය වීමයි. ජාතික ජන බලවේගය ලෙස අපි ඔබ දෙස බලන්නේ අනුකම්පාවක් යදින ජනතාවක් ලෙස නොවෙයි. ඔබට අවශ්‍ය මේ රටේ ගෞරවණිය පුරුවැසියෙක් හැටියට මේ රට තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා ඔබට යුක්තිසහගත අයිතියක් තිබෙනවා.
ලෝකය ක්‍රම ක්‍රමයෙන් එකට එකතු වෙමින් ආවා. තාක්ෂණය විසින්, වෙළඳපොළ විසින්, සන්නිවේදනය විසින්, ප්‍රවාහනය විසින් ලෝකයේ ඒකාබද්ධතාවයන් ගොඩනැගෙමින් ආවා. ලෝකයේ ඕනෑම රටක් රඳා පවතින්නේ, ඒ රට මොනතරම් ප්‍රමාණයකින් ලෝක වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්න සමත්ද නැද්ද කියන සාධකය මත. පසුගිය වසරේ තෙල්, ගෑස්, විදුලිය, නැති වුණා. ජන ජීවිතයම අකර්මණ්‍ය වුණා. රටම කඩා වැටුණා. එයට ප්‍රධානම හේතුව කුමක්ද? අපට අවශ්‍ය විදෙස් මුදල් ඩොලර් ප්‍රමාණය ලංකාවේ සංචිතවල නොමැති විමයි. වර්තමාන ලෝකයේ සෑම රටකටම බල කරනවා ලෝක වෙළඳපොළේ සාධාරණ පංගුවක් අත්පත් කර ගත යුතු බව. දශක ගණනාවක් ලෝක වෙළඳපොළේ අපේ ලොකුම පංගුව මොකක්ද? සේවා දායකත්වය. අදත් වසරකට ඩොලර් කෝටි 130ක් උපයන්නේ සේවා සැපයීමෙන්. කොළඹ ගියවිට ලොකු ගොඩනැගිලි අපි දකිනවා. ඒවාට බොහෝ භාණ්ඩ ආනයනය කර තිබෙනවා. ඔබ මෙහෙන් එහෙට යවා උපයන ඩොලර්වලින් රට සංවර්ධනය කර තිබෙනවා. ඔබ මෙහේ තේ වවලා උපයන ඩොලර්වලින් පාලම් හදා තිබෙනවා, දුම්රිය පෙට්ටි ගෙනැවිත් තිබෙනවා. ඒ කියන්නේ දුම්රියේද, බස් රියේද, ලොකු ජීප් රථයේද, ලොකු ගොඩනැගිල්ලේද, මහා පාලම් ඇතුලේද ඔබගේ ශ්‍රමය සැඟවී තිබෙනවා. ඒ වෙනුවෙන් සාධාරණ වටිනාකමක් දිය යුතු නැද්ද?
අපේ රටේ පසුගිය දශක ගණනාවක් යම්කිසි ඉදිරියකට යාමට හේතු වුණා නම්, එහි ප්‍රධානම වන්නේ ඔබ වගුරන ශ්‍රමයයි. ආර්ථිකය වෙනස් වුණා. ලෝකය වෙනස් වුණා. දීර්ඝ කාලයක් ඔබ රටේ සංවර්ධනයට දායක වුණා. නමුත් ඔබට සිදුවී ඇත්තේ කුමක්ද? අවුරුදු 150ක් පරණ ලයින් කාමරයේ ඔබ අදත් තාමත් ජීවත් වෙනවා. මෙය යුක්තිසහගතද? අවුරුදු 150කට වඩා පැරණි ගෙයක් කියන්නේ කුමක්ද? ප්‍රදීප් සහෝදරයා ජීවත් වෙන ගමේ කහවත්තේ තමයි ලංකාවේ ලොකුම ලයින් පේලිය තිබෙන්නේ. ඒවා අවුරුදු 150ක පැරණි බව ඔහු කීවා. ඔබට මිනිස් ප්‍රජාවක් ලෙස සලකන, ඒ ගෞරවය ලැබෙන නව පාලනයක් අපට අවශ්‍ය නැද්ද? අපි අවුරුදු 200කට පසුව හෝ මෙම පරිවර්තනය කළ යුතුයි.
ඔබගේ දුක වේදනාව අතේ නැලවෙන දරුවාට, කුසේ දඟලන දරුවාට හිමි නොවෙන රටක් අපි නිර්මාණය කරමු. 1823 සිට මේ ගෙනෙන ලද ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ දෙකහමාරක් මැලේරියා වසංගතයෙන්, සර්පයන් දෂ්ට කිරීම, කොළරා වසංගතය, ඒ වගේම දරු ප්‍රසූතියේදි මියැදී තිබෙනවා. වේදනාවෙන් මිරිකී සිටින ජනතාවකට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, සමාජ ගරුත්වයක් අහිමි ජනතාවකට, හොඳ ජීවිතයක් සහ ගරුත්වයක් සහිත ජීවිතයක් ලබාදිය යුතුයි. ජනතාවගෙන් 63%කට මෙ රටෙන් කිසිදු බිම් අඟලක් හිමි නැහැ. ඉන්න නිවහනක් නැහැ. වත්තත් සමග ගැටගහපු නිවසක් තිබෙනවා. රැකියාවෙන් ඉවත් වෙනවා නම්, වෙනත් රැකියාවක් තෝරා ගන්නේ නම්, ලයින් කාමරය දමා යා යුතුයි. ඔහු නිදහස් පුරවැසියෙක් නොවෙයි.
ඔබ, හොඳ නිවහනක් අපේක්ෂාවෙන් කොයිතරම් කාලයක් ආණ්ඩු හැදුවාද? මම රොසිටා ෆාම් එකේ එන්.එල්.ඩී.බී. වෙළඳසලට ගොඩවුණා. එතනදි දමිළ සහෝදරයෙක් “අපි ෆාම් එකේ වැඩකරනවා. වැඩ කරන කාලෙට අපිට පොඩි කාමරයක් දී තිබෙනවා. රස්සාව අහිමි වුණොත්, විශ්‍රාම යන්න වුණොත් කාමරෙන් දරුවොයි, බිරිඳයි එක්ක මම කොහාටද යන්නේ?” කියලා අහනවා. මේ නිවාසයක්, ඉඩමක්, නිවසක් නැති කඳුකර ජනතාවට අපි ඉතා පැහැදිලි පොරොන්දුවක් සහ සහතිකයක් දෙනවා. ඔබට ඉඩමක්, නිවහනක් තහවුරු කරන පාලනය ජාතික ජන බලවේගයේ පාලනයයි.
ඔබට ආදායම් මාර්ගයක් තිබෙනවාද? දිනකට රුපියල් 1000ක වැටුපක් ලබාගැනීමට දින කීයක් වැඩ වර්ජන කරන්න සිදුවුණාද? පාරට බහින්න, පෙළපාළි යන්න සිදුවුණාද?. රුපියල් 1000 සටන පටන් ගන්නකොට පාන් ගෙඩිය රුපියල් 40යි. රුපියල් 1000දීමට තීරණය කරන කොට පාන් ගෙඩිය රුපියල් 160යි. අද ප්‍රමාණවත්ද? පුරවැසියෙකුට තමන් යෙදෙන රැකියාවෙන් තමන්ගේ ආහර ටික සපයා ගැනීමට නොහැකි නම්, බෙහෙත් ටිකක් ගන්න බැරි නම්, දරුවන්ට උගන්වන්න බැරි නම්, ඇඳුමක් ගන්න බැරි නම්, ඒවා රැකියාද? ඒ නිසා වතු කොම්පැනිකරුවන්ගෙන් ‘ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ’ තමයි කම්කරුවාට රුපියල් 1000දෙන්න එකඟ වෙන්නේ. රුපියල් 1000ක් දෙන්න බැරි කර්මාන්තයක් කුමටද? කර්මාන්තයේ ප්‍රශ්නයක් නොවෙයි තිබෙන්නේ. ඔවුන් ඉල්ලන්නේ, මේ වත්තේ ජීවත් වෙන ජනතාව ලබාදෙන ආදායමෙන් එක්රැස්කරගෙන, මිරිකාගෙන ඉන්න ධනයෙන් අත් අතරින් බේරා වැටෙන බිංදුවක් පමණයි. ඔබට ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සාධාරණ ආදායම් මාර්ගයක් සහිත ආර්ථිකයක් හදා දෙන බවට අපි සහතික වෙනවා.
අදත් වත්තේ වැඩ කරන ජනතාවට එළියට එන්න අවස්ථාවක් තිබෙන්නේ අධ්‍යාපනයෙන් පමණයි. පෝල්රාජ් සහෝදරිය පෙන්වා දුන්නා, නිදහස් අධ්‍යාපන පනතින් නිදහස් අධ්‍යාපනය ලැබුණාට, ඔබ මේ රටේ ජිවත් වුණාට පුරවැසියන් නොවීම හේතුකොට ගෙන, එහි සාධාරණ ප්‍රතිඵල නොලැබුණු බව. අදත් එහෙමයි. රත්නපුර දිස්ත්‍රික්කයේ විද්‍යා සහ ගණිත අංශයෙන් උසස් පෙළ දෙමළ භාෂාවෙන් හැදෑරීම සඳහා එක පාසලක් වත් නැහැ. මේ මධ්‍ය කඳුකරයේ යම් ප්‍රමාණයකට තිබුණත් පහළට යනකොට ඇත්තේම නැහැ. අධ්‍යාපනයෙන් පිටමං කරන ලද දරුපරම්පරාවක් මෙහි ඉන්නේ.
මේ කඳුකර ජනයාගේ ජීවන තත්වය වෙනස් කරනවා නම්, පොතක් කියවන, කවියක් රස විඳින, තමිල්නාඩු චිත්‍රපටයෙන් මිදිලා ලංකා සිනමාවක් ගැන කල්පනා කරන නව පරම්පරාවක් අපි හදන්න ඕනෙ කියා අපි විශ්වාස කරනවා. ඒ නව පරම්පරාව නිර්මාණය කර ගත හැකි වන්නේ කඳුකර ජනතාවගේ දුවා දරුවන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවිෂ්ට වීමට සාධාරණ අයිතිය තහවුරු කිරීමෙන් පමණයි. එය විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ වගේම අපෙ රටේ පොදුවේ ගතහොත් කාන්තාව බරපතළ ලෙස පීඩාවට පත්වී තිබෙනවා. නමුත් එතනදී මේ කඳුකරයේ ජීවත් වන කාන්තාව අතිශයම පීඩාවට පත්වූ කාන්තාවන් බව අපට පේනවා. කෙසඟ සිරුරු, පැළුණු හිසකෙස් සහිත කොණ්ඩය, වියළුණු සමක් සහිත ගත, විශාල පීඩාවට සහ අසහනයට පත්වුණු දියණියන් මෙහි ජීවත් වෙනවා. ඇය ජීවිතය මොකක්ද යන්නවත් තේරුම් ගෙන නැහැ. වත්තේ ඉපදෙනවා. වත්තේ කඹුරනවා. වත්තෙම මියැදෙනවා. වත්තෙන් එහා ලෝකයක් ගැනවත්, සමාජයක් ගැනවත්, ජීවිතයක් ගැනවත් අත්දැකීමක් නැතිව මියැදෙනවා. ඇයට සාධාරණ සහ යුක්තිසහගත ජීවිතයක් ලබාදිය යුතුයි.
ඔබෙන් මම අහන්නේ, ඔබට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් විතරක්මද? ඔබට සමාජීය පිළිගැනීමක් තිබෙනවාද? එහෙම පිළිගැනීමක් නැහැ. කොළඹ නිවසක වැඩකරන්න කෙනෙක් නැති වුණොත්, හැටන්වලින්, තලවාකැලෙන් තරුණියක් හොයනවා. කොළඹ නගරය ඇතුළු විශාල නගරවල හෝටල්වල පිඟන් හෝදන්නේ වත්තෙන් යන තරුණ තරුණියෝ. ඒ අය දෙස බලන්නේ තමන් හා සමානයෙකු ලෙස නොවෙයි. ඊට පහළින් අඩු වරප්‍රසාද ජන ප්‍රජාවක් දෙස බලන ආකාරයෙන්. ගෙවල්වල උයන්න, අතුගාන්න, බබාගෙ කක්ක පිහදාන්න, හෝටලේ පිඟන් සෝදන්න, වැසිකිළි පද්ධති සෝදන්න, ඒවට තමයි යොදා ගන්නේ. ඒවා රැකියා තමයි. එහෙම නැති ලෝකයක් පවතින්නේ නැහැ. නමුත් ඒවා පහළ ගණයට පත්කොට, එහි උරුමකරුවා බවට කඳුකර ජනතාව පත්කර තිබීමයි මෙතන තිබෙන ප්‍රශ්නය. ඔබට හොඳ සාධාරණ ජීවිතයක් ලැබිය යුතුයි. ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, සමාජ ගරුත්වයක් සහිත, සමාජ පිළිගැනීමක් සහිත ජීවිතයක් තිබිය යුතුයි.
දීර්ඝ කාලයක් මේ පළාත්වල තිබෙන්නේ ඡන්ද නොවෙයි. ඡන්ද බැංකු. මහින්ද රාජපක්ෂට වතුකරයේ ඡන්ද නැහැ. නමුත් තොණ්ඩමන්ගේ ඡන්ද බැංකුවක් තිබෙනවා. ඇමතිකම් කීයද? ආණ්ඩුකාර ධුර දෙනවාද? ඡන්ද බැංකුව උගස් තියනවා. පුරවැසියාගේ තනි තනි ඡන්දයට තිබෙන බලය ඡන්ද බැංකුවක තැන්පත්කරගෙන ඒ සේප්පුවේ යතුර තොණ්ඩමන්ගේ, දිගම්බරම්ගේ අතේ තියාගෙන එහෙට, මෙහෙට සේප්පුව අරිනවා. මෙතෙක් ගොඩනැගුණු ආණ්ඩුවලට තනි තනි පුද්ගලයන් එක්ක කේවල් කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. තනි තනි ඡන්ද ලබාගැනීමට වෙහෙසක් දැරිය යුතු නැහැ. ඡන්ද සියල්ලම බැංකුවේ සේප්පුවේ තියෙනවා. සේප්පුවේ දොර ඇරලා තොණ්ඩමන්ලා ඒවා එහෙට මෙහෙට බෙදනවා. කේවල් කිරීමේ බලය තිබුණේ ඡන්ද හිමියාගේ අතේ නොවෙයි; ඡන්ද බැංගුව හිමිකාරයාගේ අතෙයි. ආණ්ඩුව ඩීල් කරන්නේ, කේවල් කරන්නේ, ආණ්ඩු ගනුදෙනු විසඳන්නේ, ප්‍රශ්න විසඳන්නේ සේප්පු අයිතිකාරයා එක්ක. සේප්පුව අයිතිකාරයාගේ ප්‍රශ්න විසඳලා තිබෙනවා. ඔබගේ දරුවාට වත්තේ පාසලක් නැතිවුණාට සේප්පුව අයිතිකාරයාගෙ දරුවා එංගලන්තයේ ඉඳන් ඇවිත් තමයි ආයෙත් සේප්පුවේ යතුර බාරගත්තේ. තාත්තා මියගියාට පසුව සේප්පුවේ යතුර පුතාට ලැබුණා. එක්කෙනෙක් මදි නිසා ඉන්දියාවේ සිටි කෙනෙකුත් යතුර බාරදෙන්න ගෙනාවා. එයා දැන් නැගෙනහිර ආණ්ඩුකාරයා. මේ පාලකයන් ප්‍රශ්න විසඳා තිබෙන්නේ කාගේද? වත්තේ වැඩ කරන පුරවැසියාගේ නොවෙයි. ඡන්දදායකයාගේ නොවෙයි. ඔවුන් ප්‍රශ්න විසඳා තිබෙන්නේ සේප්පු අයිතිකාරයාගේයි. ජාතික ජන බලවේගයේ අපි හදන්නේ ඔබගේ ඡන්ද එකතු කරපු ඡන්ද බැංකුවක් නොවෙයි. සෑම පුරවැසියාටම තමන්ගේ ඡන්දයේ අයිතිය ස්වාධීනව කටයුතු කළ හැකි මනෝභාවයක් සහිත නව මහජන කතිකාවතක් අපි ඇති කරනවා.
රටේ පාලකයන්ව දකුණේ ජනතාව පාරට බැහැලා පළවා හැරියා. දකුණේ පාලකයන් ජනතාවට බයයි. ජනතාව හමුවට එන්නේ නැහැ. ජනතාවගෙන් මඟ හරින්න උත්තර සොයනවා. පළාත් පාලන ඡන්ද කල්දමනවා. තවත් ඡන්ද කල්දාන්න සැලසුම් කරනවා. ඒගොල්ලෝ කතා කරනවා, කොළඹ, දකුණ, උතුරු මැද අප්සෙට් තමයි. එහෙත් නුවරඑළිය නම් තොණ්ඩමන් ඉන්නවානේ. දිගම්බරම් ඉන්නවානේ. වැඩේ බේරලා දෙයි. පාලකයන් ඔවුන්ගේ ජනතා විරෝධී පාලනය, විනාශකාරී පාලනය, ඉදිරියටම ගෙනියන්න මේ කඳුකර ජනතාවගේ සහාය ලැබෙයි කියා. ඒක සත්‍යයක් අතීතයට. ඒක වර්තමානයේ අසත්‍යයක් බවට පත්කළ යුතුයි. ඡන්ද සේප්පු අයිතිකාරයන්ගේ දේශපාලනයක් වෙනුවට පොදු ජනතාවගේ දේශපාලනයක් කඳුකර ජනතාව තුළ යළි ගොඩනැගිය යුතුව තිබෙනවා.
විශාල තරුණ ප්‍රජාවක් අද ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් තිබෙනවා. මේ නුවරඑළියේ ප්‍රධාන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කිවුවා “වත්තේ වැඩකරන අය නම් තාමත් තලෛයිවර්ට යටයි. වත්තෙන් එළියට ඇවිත් තිබෙන තරුණ ප්‍රජාව ඔගොල්ලන් එක්කයි, එන්.පී.පී. එක එක්කයි ඉන්නේ” කිවුවා. අපි විශ්වාස කරනවා වත්තේ වියගසෙන් මිදුණු පරවැසියා අද නිදහස්ව කල්පනා කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ නිසා කඳුකර ජනතාව තුළින් තව තරුණ නායකයින්, ඔවුන්ගේ අපේක්ෂාවන් වර්ධනය වෙමින් තිබෙනවා. පාරම්පරිකව පීඩාවට පත්කරන ලද පාලක කණ්ඩායම් වෙනුවට පොදු ජනතාවගේ වුවමනාවන් එක්ක ගැටගැහුණු නව තරුණ පරම්පරාවක් මේ කඳුකර ජනතාව තුළින් ඉදිරියට එමින් තිබෙනවා. තව තවත් ඉදිරියට ආ යුතුව තිබෙනවා. අවුරුදු 200ක් මුළුල්ලේ සිදුවී තිබෙන ඓතිහාසික වැරැද්ද වෙනස් කිරීමේ අභිලාෂයක් සහ අපේක්ෂාවක් අපට තිබෙනවා. ඒක අපේ සුන්දර සිහිනයක් විය යුතු නැහැ. ඒක කළ හැක්කේ ඉතිහාසයේ සිදුවුණු වැරැද්ද නිවැරදි කිරීමට කඳුකර ජනතාවත් තීන්දුවක් ගත්තොත් විතරයි. අපි හැමදෙනාටම එක්ව ඒ සුන්දර සිහිනය දකින්න හැකි නම්, මේ අන්ධකාර රාතිය කෙටි කළ හැකියි. අපි ඔබෙන් ඉල්ලනවා. මේ අන්ධකාර රාත්‍රිය කෙටි කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියා ආරාධනා කරනවා.”
එහිදී අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල් රාජ්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය විජේකුමාර්, ආචාර්ය පෙරුමාල් පී සිවප්‍රකාශම් යන අයද අදහස් දැක්වූහ.