Sep 6, 2019 – අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් සහරාන්ගේ පඩි ලැයිස්තුවේ ඇතුලත්ව පඩු ලබා ගෙන ඇත්දැයි පරීක්ෂණ පවත්වන බව නිතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද (06) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ ඇප නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධනය පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරයා මේ බව සඳහන් කළා.
2016 වසරේ සිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳව වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් 2016 වසරේ සිට ප්‍රහාරය එල්ල වූ අවස්ථාව දක්වා සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිලිබඳ බුද්ධි වාර්තා 347 පොලිස්පති වරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර තිබූ බවයි.
ඉන් බුද්ධි වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ දෑස් වල අවධානය සදහා යොමු කර තිබූ බවත් තවත් බුද්ධි වාර්තා 97 ක් ආරක්ෂක ලේකම්වරයාගේ දෑස් වල අවධානය සදහා යොමු කර තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.
එතරම් විශාල බුද්ධි වාර්තා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණද ඒවා කියවීමට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර නොමැති බව පෙනී යන්නේ යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එසේ කියවා තිබුණේ නම් පාස්කු ඉරුදින වූ මහා ඛේදවාචකය වළක්වාගැනීමට හැකියාව තිබුණු බවද සඳහන් කර සිටියා.
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම අප්‍රේල් මස 4 වනදා රාජ්‍ය බුද්ධි සේවය වෙත තොරතුරු ලැබෙන බවත් එය එම අවස්ථාවේදීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු දැන සිටිය දී අප්‍රේල් මස 09 වනදා පැවති බුද්ධි අංශ සමාලෝචන රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිවක් සාකච්ඡා කර නොමැති බව චෝදනා කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බළකායට යට ඇඳුම හැර සියලුම පහසුකම් මහජන මුදලින් සපයා දෙන බැවින් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන්ට සුවිශේෂී වගකීමක් පවතින බව ද අවධාරණය කළා.
පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී මෝටර් සයිකලයක බෝම්බයක් පුපුරුවා හැරීමේ සිද්ධියක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු පොලිස්පතිවරයා වෙත සපයා දී තිබුණත් ඒ පිළිබඳව සොයා බැලීමට ද පොලිස්පතිවරයා උනන්දුවක් දක්වා නොමැති බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් සපයා දී තිබියදීත් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බවත් එසේ කටයුතු කර තිබුණේ නම් මහජන ඝාතනයක් වළක්වාගැනීමට හැකියාව තිබුණු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා බරපතළ සංවේදී බුද්ධි තොරතුරක් ලැබී තිබියදී කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මීගමුව ප්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිවාඩු අනුමත කර නිවාඩු ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබීම විමතිය දනවන කරුණක් බවද සඳහන් කර සිටියා.
පාස්කු ඉරුදින මහා ජන ඝාතනයක් සිදුකිරිම සඳහා සහරාන් හෂීම් සිදුකල කුමන්ත්‍රණයේ පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද කොටස්කරුවන් වී ඇතැයි චෝදනාකල නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඔවුන් දෙදෙනා සහරාන් හෂීම් ගේ පඩි ලැයිස්තුවේ ඇතුළත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදු කෙරෙන බවද සඳහන් කර සිටියා.
වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අසම්මත, අවිධිමත් නියෝගයක් බවට පැමිණිලි තුළ බරපතල විවේචනයක් පවතින බව සඳහන් කර සිටියා.
පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ලවී තිබූ චෝදනා සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලපෑ සාක්ෂි පිළිබඳව සවිස්තර බී වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබියදී ඒ පිළිබඳව කිසිවක් සලකා බැලීමකින් තොරව විත්තිය විසින් ඉදිරිපත් කළ වාචික කරුණු පමණක් පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනාවට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරිය කිසිදු බලයක් නොමැති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අවධාරණයට ප්‍රකාශ කර සිටියා.
මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත ඇප නියෝගය අවලංගු කරන ලෙසයි ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඒවගේම මොවුන් දෙදෙනාට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම හා ඝාතන චෝදනා යටතේ නඩු පැවැරීමට ද බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නා.
වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අප්‍රේල් මස 9 දා පැවැත්වූ බුද්ධි සමාලෝචන රැස්වීමේදී එල්ලවීමට නියමිතව තිබූ ප්‍රහාරය පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් වරයා කිසිවක් සාකච්ඡා නොකළ බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළත් එම රැස්වීමට සහභාගි වූ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බව චෝදනා කළේය.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට අප්‍රේල් මස 4 වනදා ඉන්දියාවෙන් ලැබුණ බුද්ධි තොරතුරට අමතරව වෙන ද කිසිදු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා විසින් තම සේවාදායකයා වෙත ලබාදී නොතිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
තම සේවාදායකයාට රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් හා තව්හීද් ජමාත් සංවිධානය පිළිබඳව බුද්ධි වාර්තා 97ක් ඉදිරිපත් කර තිබූ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළේ දින 150ක් පමණක් බවත් එසේ නම් සෑම පැය එකහමාරකට ම වරක් බුද්ධි වාර්තාවක් ඉදිරිපත් වී තිබිය යුතු බවත් එය ප්‍රායෝගික තර්කයක් නොවන බවද කියා සිටියා.
ත්‍රස්ත මර්දන කොට්ඨාශය භාර පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා රහස් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයක ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ තහනම් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන මෙන් 2017 වසරේ ජුනි මස 7 වනදා නීතිපතිවරයා වෙත ගොනු ඉදිරිපත් කර තිබුණත් එම කටයුතු ඉටු කිරීම සඳහා මේ දක්වා නීතිපති උපදෙස් ලැබී නොමැති බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටි අතර එසේ නම් තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පියවර ගැනීම පැහැරහැර සිටි තවත් අය සිටින බවට කරුණු අනාවරණය වන්නේ යැයි ද සඳහන් කළා
තම සේවාදායකයා ද අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් සාමාන්‍ය බලතල සහිත අමාත්‍යංශ ලේකම්වරයෙකු බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඔහුට කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයාගේ විධානයන්ට යටත්ව බවත් ඔහුට ස්වාධීනව කටයුතු කිරීම සඳහා සුවිශේෂ බලතල කිසිවක් නොමැති බවත් කියා සිටියා.
යුද හමුදාව කැඳවීම හෝ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම වැනි කටයුතු ඉටු කිරීමට තම සේවාදායකයාට බලයක් නොමැති බවත් ඒ සඳහා බලය පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණක් බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකර බවට තම සේවාදායකයාට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි කියා සිටියේ.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 19 වනදා සහ 20 වනදා යන දිනට කල් තැබීමට මහාධිකරණය තීන්දු කළේය.