LNN SPY

“Sign or Resign” කියා අගමැති මට තර්ජනය කළා…. ජනතා මුදල් බිලියන 2.8ක කෙලවු ආණ්ඩුවේ රථගාය ගැන හිටපු ලේකම් කට අරී…. ගනුදෙනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනියි..

Published on: Feb 8, 2020 – පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක (රුපියල් ලක්ෂ 28,000) රුපියල් බිලියන 2.8ක මුදලක් වැය කර ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ 2015 ජනවාරි 08 වැනිදා සිට පසුගිය ආණ්ඩුව කාල සීමාවේදී අමාත්‍යවරු අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 28,000ක මුදලක් වැය කර ඇති බවයි.

එහිදී කැබිනට් අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් ලක්ෂ 16,500ක්ද, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් ලක්ස 6,528.5ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5,649.9කද මුදලක්ද වැය කර තිබේ.

ඒ අනුව වැඩිම මුදලක් වැය කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.රජයට හිමිවිය යුතු බදු මුදල්ද ඉවත් කර ලක්ෂ 3,289ක් වටිනා වාහන 09ක් එලෙස ගෙන්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ 1,510ක් වටිනා වෙඩි නොවදින රථ 02ක් සහ රුපියල් ලක්ෂ 1,040ක් වටිනා BMW X5 වර්ගයේ වාහන 02ක් ඇතුළත්.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා සිය අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රුපියල් බිලියන 2.8ක් මුදලක් ජනතා මුදල් වියදම් කරමින් පසුගිය ආණ්ඩුව වාහන මිල දී ගැනීමේ ක්‍රියාවලියට තමන් තරයේම එරෙහි වු බවත් එය ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ වු ක්‍රියාවලියක්ද බවයි.

නමුත් අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ “ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව” වෙත මා කැඳවා “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම තමන්ට හට තර්ජනය කරනු ලැබු බවද ඔහු සිය නිවේදනයේ දක්වා තිබේ.

“යහපාලන” ආණ්ඩුවේ වාහන මිල දී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ හෙළිදරව්ව 

රුපියල් බිලියන 2.8ක් හෙවත් රුපියල් කෝටි 280ක වටිනාකමින් යුත් අධිසුඛෝපභෝගී වාහන 78ක් පසුගිය “යහපාලන” ආණ්ඩුවේ කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් මිල දී ගෙන ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ අතර එය මේ වන විට ඉමහත් ආන්දෝලනයකට ලක්වෙමින් තිබේ. එහෙත් එම අනාවරණයේම දිගුවක් ලෙස ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුව තිබූ එවැනිම සුවිශේෂ කරුණක් ඒ මොහොතේ ඔවුන්ට මගහැරුණු බැවින් ඒ පිළිබඳව ඔවුන්ගේ ද සමස්ත රටවැසියන්ගේ ද අවධානයට යොමු කරවීම සඳහා මෙම විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

එනම් 2016 වසර අගභාගයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට ඉහත ආකාරයේ අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ ගණුදෙනුවේ වටිනාකම ද රුපියල් බිලියන 2.43ක් හෙවත් රුපියල් කෝටි 243ක් විය. එහෙත් එම ගණුදෙනුවට අදාළ විෂයභාර අමාත්‍යංශය වූ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ආරම්භයේ සිටම මා ඊට විරුද්ධ විය. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති වුවද එම ගණුදෙනුව ආරම්භයේ සිටම මට නිරීක්ෂණය වූ අතිශය දූෂිත අරමුණ හා ක්‍රමවේදය මා දැඩිව ප්‍රතික්ෂේප කළ අතර එය ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ බැවින් එකී පදනම ඔස්සේ මා ඊට විරුද්ධ විය.

එහෙත් මාගේ එම විරෝධතාවය නොතකා කැබිනට් මණ්ඩලය එය අනුමත කළ අතර එම වාහන සපයන පෞද්ගලික සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් කිරීමේ වගකීම මා වෙත පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ තර්කය වූයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණක් ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති බැවින් විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මා ඊට වහා අත්සන් තැබිය යුතු බවයි. එහෙත් ආකාර පහකින්ම එම ගණුදෙනුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින් දිගින් දිගටම මා ඊට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි තත්වයක් තුළ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් මා වෙත එල්ල වූ බරපතල පීඩනය කොතෙක් දරාගත නොහැකි වුවද මා එම ස්ථාවරය වෙනස් කළේ නැත.

අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ “ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව” වෙත මා කැඳවා “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම මා හට තර්ජනය කරනු ලැබීය. කෙසේ වුවද එම තර්ජනයට ද මා කීකරු නොවූ අතර එවකට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලැබුණු පුළුල් ප්‍රචාරය හමුවේ “යහපාලන” ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වූ බැවින් හිටපු ජනාධිපතිවරයා විසින් එම ගණුදෙනුව යළි සමාලෝචනය කිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත් කොට එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය. එහෙත් ඒ වන විට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද, පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද ඒ සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටිම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව නැගී ආ බරපතළ මහජන විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය ක‍්‍රියත්මක කිරීමට නොහැකි වූ අතර එමගින් රුපියල් කෝටි 243ක් ඉතිරි කරගැනීමට හැකිවිය. එහෙත් ඒ සමගම මා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ කරමින් නව අමාත්‍යංශයක් නිර්මාණය කොට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම නව අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කරමින් නීති විරෝධීව මාගේ තනතුර අහිමි කරනු ලැබීය. එහිදී මගේ තනතුර අහිමි වුවද රුපියල් කෝටි 243ක් රටට ඉතිරි කරදීමට මට හැකිවිය.

මේ සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා බලයට පත් වූ සැණින් නව රජයේ ජනාධිපති ලේකම්වරයාටද එම තොරතුරු ලබා දීමට මා ක්‍රියාකළ අතර මේ කරුණ සම්බන්ධයෙන් හා පසුගිය “යහපාලන” ආණ්ඩුව සමයේ රජයට වාහන මිල දී ගැනීමේ දී භාවිතා කළ “මෙහෙයුම් කල්බදු ක්‍රමය” ආශ්‍රිතව සිදුකළ වාහන මිල දී ගැනීම් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමි.

නීතිඥ නිමල් බෝපගේ
හිටපු ලේකම්
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Top